පත්තර ලොවට නව මානයක් එක්කල චින්තන ජයසේන නිසලයි

0

ලාංකීය පුවත්පත් කලාවට නව මානයක් ඇතිකරමින් අළුත් පත්තර නැඹුරුවක් ඇති කල උපහාස රුසියෙකුවූ දෙටු ප්‍රවීණ පුවත්පත් කලාවේදී චින්තන ජයසේන 2016 අගෝස්තු 2වැනිදා සිය ජීවන මගින් සමුගත්තේය. මොරටුවේදී 1948 ඔක්තෝබර් 16වැනිදා උපන් චින්තන මියයන විට 68 හැවිරිදිය. ඔහුගේ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී අගෝස්තු 4වැනිදා පස්වරු 3ට සිදුකෙරේ.

චින්තන ජයසේන යනු ලංකාවේ වැඩිම දේශපාලන සහ සිනමා පත්‍ර රැසක සිටි කර්තෘවරයෙකි. කලක් අදීන සිනමා විචාරකයෙකි. අද, හෙට, ඉරිදා පුවත්පත්ද සිත්තර ඇතුළු අලුත් චිත්‍රකථා පත්තර කිහිපයක්ම ඔහු හදුන්වා දුන්නේය. ඔහු විසින් 1973දී කොලම නමින් තීරු පුවත්පතක් හදුන්වා දෙමින් තීරු පුවත්පත් කලාවට නව ආරම්භයක් ලබාදුන්නේය. එය එකල විදි නාට්‍ය, කවි කොල වාගේම ජනප්‍රිය විකල්ප මාධ්‍යයක් විය. දශක 4ක් පමණ කලා සහ දේශපාලන ලෝකයේ විවිධ හැලහැප්පීම් වලට මුහුණ දෙමින් සහෘදයන් අතර ඉහළම මනාපය දිනා ගත්තෙකි. හාස්‍යජනක කථා කීමේ රුසියෙකි. එම කථා නිර්මාණශීලි මෙන්ම විනෝද සාගරයකි.

පුවත්පත් කලාවේදියෙකු ලෙස ඔහු ප්‍රචලිත වූයේ 1973දී ‘කොලම’ මගිනි. අනුර බණ්ඩාරනායකගේ අනුග්‍රහයෙන් ඔහුගේ දේශපාලන දිවියට සවියක්වීමට ඇරඹූ අද සහ හෙට පුවත්පත්වල කතුවරයා වූයේද චින්තන ජයසේනය. එහි වරෙක චින්තන විසින් විජය කුමාරතුංගගේ රඟපෑමක් සරුවත් කඩයක් ලෙසද හදුන්වනු ලැබීය. චින්තනගේ සිනමා විචාර සඳහා ජයවිලාල් විලේගොඩ ගෙන් ආභාෂයක් ලබා ඇතැයි ඇතමුන් කීවද ජයවිලාල් පවා චින්තන තරම් සරල බසක් භාවිතා කළේ නැත.

හැරිස් හුළුගල්ල සමඟ චින්තන එක්වන්නේ 1975දී පමණය. චින්තන කර්තෘවූ එදා ‘ඉරිදා’ පුවත්පත පසුකලෙක පුවත්පත් ලෝකයේ දැවැන්තයන් බිහිකල තිඹිරිගෙයක් බවටද පත්විය. ලක්බිම සමාරම්භක කර්තෘ කිත්සිරි නිමල්ශාන්ත, ඉරිදා දිවයින කර්තෘ අනුර සොලමන්ස්, දිවයින කර්තෘ ජයන්ත චන්ද්‍රසිරි ඒ අතරින් කිහිප දෙනෙකි. ඔහු යළිත් ‘කොලම’ තීරු ලිපිය 1992 කොල්ලුපිටියේ ලකී ප්ලාසා ගොඩනැගිල්ලේ යළි සාර්ථකව වසර 2ක් පමණ කරගෙන ගියේය. එහි අදිසි අර්ථපතියා වූයේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසය. පසු කලෙක ආචාර්ය සරත් අමුණුගම එහි භාරකරු විය. කොලමේ සේවය කළේ චින්තනත්, ඔහුගේ මලයාවූ කිත්සිරි මෙවන් සහ ‘කොලම’ පත්‍රයෙන් පත්‍ර ලොවට බිහිවූ වර්තමානයේ මව්බිම විශේෂාංග කර්තෘ තිස්ස කොරතොටත්ය. චින්තන ආරම්භ කල සිත්තර පුවත්පතෙන් එසේ අතිශයින් ජනප්‍රිය වූ චිත්‍ර ශිල්පීන් රැසකි. කැමිලස් පෙරේරාගේ ගජමෑන්, දොන් සේතං, ලපයා, සිමෝනා වැනි චරිතද, සරත් මධූගේ ඉතිං ඊට පස්සේ, ලිලරත්නගේ ස්පාටකස්, සරත් කවිරත්නගේ හිතට වහල් වෙමි වැනි බොහෝ චරිත පාඨකයින් ඇද බැද ගත්තේ සිත්තර තුළිනි. ලේක්හවුසියේ ‘සතුට’ චිත්‍රකථා පත්‍රය පරදවා ‘සිත්තර’ අළෙවිය පිටපත් ලක්ෂ 2 පැන්නේය. එම පත්‍රයේ ලොක්කාවූ හැරිස් හුළුගල්ලද ඔහුට හොදට සැලකුවේය.

චින්තන ලියුම්කරුට හදුනාගැනීමට හැකිවූයේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී මලල්ගොඩ බන්දුතිලක හරහා 1984දී පමණ බන්දුගේ කාසල් වීදියේ නිවසේ උඩුමහලේදීය. වසර ගණනාවක් එනම් 1994 පමණ වන වන තෙක් බන්දුගේ නිවස සහ කාසල් වීදියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා ශාලාව නිරතුරුව අප හමුවන තැනක් විය. ඩී.බී පෙරමුණේතිලකයන් බොහෝ විට එහි බර කරට ගත්තේය. එකල පෙරමුණේ ලංකා පුවත් ආයතනය නමින් කොටුවේ ප්‍රවෘත්ති ඒජන්සියක් කරගෙන ගියේය. නිරතුරුව එතැනට ආගිය අය අතර දයාසේන ගුණසිංහ, බී.ඒ. සිරිවර්ධන, ජයසීල ද සිල්වා, වජිර පැල්පිට, නිව්ටන් ගුණරත්න, අජිත් සමරනායක, බෙනට් රූපසිංහ, නිමල් හොරණ, මෙන්ම චින්තන ඇතුළු කලාකරුවන් රැසක් විය. ජනාධිපතිවරණය පැවති 1989 දෙසැම්බර් සිරිමා බණ්ඩාරනායකගේ ජය පතා බැහැලා වැඩකල චින්තන රටපුරා කලබල පැවති එම දිනයන්හි නැවතුනේ වැල්ලවත්තේ ඔමිගා ඉන් හෝටලයේය. එකල එයද අප අතර ජනප්‍රිය යන එන තැනක් විය.

වික්ටර් රත්නායකගේ ප්‍රථම ඒක පුද්ගල සංගීත ප්‍රසංගයට ‘ස’ යනුවෙන් නම දැම්මේද චින්තනය. ‘ස’ ප්‍රසංගය මුල් වරට පැවතියේ 1973 ජුලි මස 20වැනිදාය. ශ්‍රී ලංකාවට පවුල් සැලසුම් ක්‍රමය හදුන්වාදීමේ ප්‍රචාරක ව්‍යාපෘතිය භාරව තිබුණේ පසු කලෙක ජනමාධ්‍ය විෂයද අයත් කැබිනට් රාජ්‍ය ඇමතිවරයාවූ ආනන්ද තිස්ස අල්විස්ගේ ඩි අල්විස් දැන්වීම් ආයතනයටය. පුරුෂයින් සඳහා ශ්‍රී ලංකාවට හදුන්වාදෙන උපත් පාලන කොන්ඩමයට දේශීය නමක් තේරීමේදී අවසානයේ ජයගත්තේ චින්තන යෝජනා කල ‘ප්‍රීති’ය. වරක් චින්තන රජයේ ප්‍රධාන ඉංජිනේරුවරයෙකුට දෙටු ප්‍රවීණ නාට්‍ය ශිල්පී ආර්. ආර්. සමරකෝන් හදුන්වා දුන්නේ මෙසේලු. ‘දන්නවානේ මෙයා තමයි කැලණි පාලම හැදුවේ’. කිසි දිනෙක ආර්. ආර්. සමරකොන් දැක නැති ඉංජිනේරුවා කැලණි පාලමට සම්බන්ධ අයගේ නම් වැලක් කියාගෙන එය ප්‍රතික්ෂේප කළේය. පසුව ඔහුද චින්තනගේ සිනා සාගරයට එක්විය. චින්තනගේ මෙවැනි කථා සාගරයක් ඇතුළත් පිටු 128කින් සමන්විත ‘චින්තන කථා’ නම් ග්‍රන්ථයක්ද 2005දී දොරට වැඩීය. ‘මල් සතක් සේ හිරු නැගෙන්නා’ සහ 4 වාට්ටුව ඔහු ලියූ කවි සහ කෙටි කථා ඇතුළත් තවත් පොත් දෙකකි.

අනූව දශකයේ ආරම්භයේ වසර දෙක තුනක්ද චින්තනත් ලියුම්කරුත් සමීපව ඇසුරු කළේය. දඹුල්ලේද වරක් දෙවරක් ගියේය. චින්තනගේ නැගණිය සමඟ සමාජ සංවර්ධන ක්ෂේත්‍රයේදී වසර කිහිපයක්ම කටයුතු කළේය. මොරටුවේ නිවසේදී හෙදි පාලිකාවක්වූ බිරිඳ සහ දියණියද හමුවූ අවස්ථා කිහිපයකි. අවසන් වරට චින්තන ජයසේන මට මුණ ගැසුණේ 2015 ඔක්තෝබර් 9වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. ඒ ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ සභාපති මුදිත කාරියකරවනගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ ජේෂ්ඨතම මාධ්‍යවේදී 10 දෙනෙකුට සම්මාන ප්‍රධානෝත්සවයේදීය. කලින් වසරේ එහි ප්‍රධාන ලේකම් වූයේ මාය. ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයට 60 වසරක් පිරීම නිමිත්තෙන් චින්තන ජනසේන ඇතුළු දෙටු ප්‍රවීණ පත්‍රකලාවේදීන් 10 දෙනාට උපහාර පිදුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සුරතිනි. උත්සවය අවසානයේ තේපැන් සංග්‍රහයේදී චින්තන සමඟ කථා බහේදී මා ඇසුවේ ජීවිතයේ නොමියන මතකය කුමක්ද යන්නය. මා පත්‍ර ලෝකයේ සිටියේ ‘ප්‍රීති’ යෙනි. ඔහු අතිශය රසවත් වදනකින්ම මට දමා ගැසුවේය.

ධර්මන් වික්‍රමරත්න