අත්කම් අළෙවි පොළ සහ ප්‍රදර්ශනය ගාල්ලේදී මහ ඉහළින්ම

0

ලාංකීය මෝස්තර නිර්මාණ කේෂේත්‍රයට නව පෙරවදනක් එක් කරමින් ශ්‍රී ලංකා, ඉන්දිය යුරෝප් අත්යන්ත්‍ර මෝස්තර නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය සහ අළෙවි පොළ ඉකුත් සිකුරාදා(10) ගාලු පුරහලේදී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද, දකුණු පලාත් මහ ඇමති ශාන් විජේලාල් ද සිල්වා සහ ගාල්ල දිසා ලේකම් රවින්ද්‍ර කාරියවසම් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත්විණි.

මෙම ප්‍රදර්ශනය සහ අළෙවිපොල සදහා ඉන්දීය සාරි, කබායන්, කුර්තා ඇතුළු ඉතා ඉහළ වටිනාකමක් ඇති අත්කම් රෙදිපිලි නිර්මාණ ඇතුළත්වූ අතර එය දේශීය සම්ප්‍රදායන්ට අනුකූලව ලොව ඉහළම වාණිජ මට්ටමෙන් තරගකල හැකි අයුරින් වෙළෙදපොළ සදහා නිෂ්පාදනයකර තිබීම විශේෂත්වයකි.ශ්‍රී ලංකීය ඉන්දියානු සාරි මෝස්තර අත්කම් රෙදිපිළි මගින් නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවට හදුන්වාදීම ආර්ථික සංවර්ධන අමත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ ලිය අබිමන සංවිධානයේ සභාපති නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ මෙහෙයවීමෙන් සිදුකර ඇති අතර එහි උපදේශකත්වය දරනු ලැබුවේ ඉන්දීය මෝස්තර නිර්මාණ පිළිබද ප්‍රවීණ උපදේශිකා ඉෂාරා හරිස්චන්ද්‍ර මහත්මිය විසිනි.

අත්කම් රෙදිපිළි මගින් මෝස්තර නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉකුත් මාර්තු මස ගම්පහ මොරගොඩ ලිය අබිමන මෝස්තර මධ්‍යස්ථානයේදී ආරම්භවූ අතර මාස පහක එම පාඨමාලාව යටතේ කාන්තාවන් 48 දෙනෙකු පුහුණු කරන ලදී. මේ සදහා දහසකට ආසන්න පිරිසක් ඉල්ලුම්කල අතර පුහුණුව සදහා එක් අයෙකු වෙනුවෙන් ආයෝජනය කල මුදල රුපියල් ලක්ෂයක පමණ වේ. එම පාඨමාලාව සමත්වූ අයගෙන් 38 දෙනෙකු දැනටමත් සිය නිවාසයන්හි අත්කම් රෙදිපිළි මෝස්තර නිර්මාණ ස්වයංරැකියා වශයෙන් කරගෙන යන අතර මාසිකව එක් අයෙකු ලබන ආදායම රුපියල් 35,000කට ආසන්නය. අදාළ නිර්මාණ ලක්සල ඇතුළු රජයේ ආයතන සහ පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන වෙතද යොමුකර තිබේ.

ගාල්ල පුරහලේදී පැවැත්වූ ප්‍රදර්ශනය සහ අළෙවි පොළ සදහා ජාත්‍යන්තර මට්ටමෙන් තරඟකල හැකි නව නිර්මාණ රැසක් එක්කර තිබිණි. දේශීය සම්ප්‍රදායන්ට ගැලපෙන මෙවැනි අත්කම් නිෂ්පාදන චීනය සහ ඉන්දීය ඇතුළු රටවල් කිහිපයකම බෙහෙවින් ප්‍රචලිතය. ශ්‍රී ලංකාවේ රැකියා විරහිත කාන්තාවන් සදහා ඉහළම ආදායමක් ගෙන දෙන නව ප්‍රවේශයක් ලෙස හදුන්වාදී තිබේ. ඉන්දියාවේ රුපියල් 80,000ක් පමණ වටිනා මංගල සාරියක් මේ යටතේ ශ්‍රී ලංකාවේදී රුපියල් 30,000ක වැනි මුදලකට මිල කර තිබිණි. මෙම අත්කම් පුහුණු වැඩසටහනේ දෙවන පාඨමාලාව පෙබරවාරි මස ආරම්භ වන අතර ඒ සදහා සහභාගිවීමට කැමති අයට අදාල විමසීම් 077-9363636 ඇමතිමෙන් ලබාගත හැකිය.

01.. 02.. 03. 04. 05. 06.