Home / ජනමතය / ජනප්‍රිය පාසල් නිසා ජන අප්‍රිය වන අධ්‍යාපන ක්‍රමය

ජනප්‍රිය පාසල් නිසා ජන අප්‍රිය වන අධ්‍යාපන ක්‍රමය

දරුවන් පාසලට ඇතුලත් කිරීම සම්බන්ධව වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අධ්‍යාපන ඇමතිවරයා අතරඇවිලුන සටන තවමත් අවසන්ව නැත. කෙසේ වුවද මේ ගැන කතා කිරීමේදී වෙෙද්‍යවරුන් අතින් සියලුදෙනාටම සිතා  බැලිය යුතු කතාවක් කියැවුනි. ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ ප්‍රගතිය තුල දැන් ශ්‍රීලංකාව ලෝකයේ රටවල් අතර සෑහෙන ඉහල මට්ටමකට පැමින තිබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයමගින් පිලිගෙන අැති බවට ලද සහතිකයයි. නමුත් නිදහස ලබා වසර 68ක ට පසු වුවද එවන් ප්‍රගතියක්පෙන්වා ඇත්තේ කුමන ක්ෂේත්‍රයකද කියා පෙන්වන ලෙස ඔවුන් අභියෝග කලහ. දැන් මේ ප්‍රශ්නය පැනනැගී ඇත්තේ අධ්‍යාපනය සම්බන්ධව බැවින් ඒ ගැන විමසා බැලීම වටී.

මා පාසල් යන වියේදී අප පෙනී සිටියේ 7 වසර ශිෂ්‍යත්වයටයි. නමුත් එකල කෙතරම් ඉහල ලකුණු ගත්තත්තමන් පදිංචි දිස්ත්‍රික්කයෙන් පිට පාසලකට ඇතුලත් වීමේ අවස්ථාව සිසුන්ට නොලැබුනි. නමුත්දිස්ත්‍රික්කය තුල ප්‍රධාන පාසල්වලට ඇතුලත් වීමට දුර බැහැර ප්‍රදේශවල  සිසුන්ට ඉඩකඩ ලැබින. එසේඇතුලත්වන සිසුන්ට බොහෝ විට නේවාසිකාගාර පහසුකම්ද, ආදායම අනුව ශිෂ්‍යත්ව ආධාර මුදලක්දලැබුනේය. වර්තමානයේ මෙන් කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීමක් නොවීය. සමහර මව්පියෝ යම්නොවැලැක්විය හැකි හේතු මත තම දරුවන් වෙනත් ප්‍රධාන දිස්ත්‍රික්ක කරා ගෙන ගිය මුත් අද මෙන්තරගයක් නොවීය. යම් අවස්ථාවල අප කුඩා දරු දැරියන් එක් රැස්වූ කිසි විටෙක තම තමන් යන පාසලකිසිවකුට වැදගත් නොවූ අතර අප මව්පියන්ටද ‘මගේ දරුවා යන්නේ අහවල් පාසලට‘යි කියන්නට කිසිවිටෙක මතක් වූවාද කියාවත් නොදනිමු. දැන් සමාජය හා අධ්‍යාපනයේ වටිනාකම මනින මිම්ම මොන තරම්වෙනස් වී ඇතිද?

පලමුව අප රටේ පාසල් පද්ධතිය පිලිබඳ විමසා බැලිය යුතුය. 

ලෝක බැංකුවේ සහය ඇතිව අප රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණක්‍රියාවලිය යටතේ පාසල් වර්ගීකරණයට ලක් කර තිබේ. ඒ් යටතේ 1 AB වර්ගය, 1 C වර්ගය, 2 වන වර්ගයහා 3 වන වර්ගයේ පාසල් යනුවෙන් පාසල් වර්ගීකරණය වෙයි. 1 AB වර්ගය පලමු වසරේ සිට විද්‍යා සහවිද්‍යා නොවන විෂය ධාරාවන්ගෙන් උසස් පෙල  පන්ති පැවැත්වෙන පාසල්ය. එනම් ජාතික පාසල්ය. පලමුවසරේ සිට  විද්‍යා නොවන විෂය ධාරාවන්ගෙන් පමනක් උසස් පෙල පන්ති පැවැත්වෙන පාසල් 1 C වර්ගයටඅයත්වේ. මේවාද ජාතික පාසල් ගනයට අයත් වුවත් සමහර අවස්ථාවල දිස්ත්‍රික්කයේ පවතින පාසල්වලතත්වය අනුව ජාතික පාසල් ගනයට නොවැටෙන අවස්ථා ද ඇත. 

2 වන වර්ගයේ පාසල් යනු 1 -11 වසර දක්වා පන්ති පැවැත්වෙන ඒවායි. 3 වන වර්ගයට ගැනෙන්නේ 1-8වසර දක්වා හෝ 1-5 වසර දක්වා පන්ති පැවැත්වෙන පාසල්ය. කෙසේ වුවද ජාතික පාසල් ගනයට වැටෙන, 1 වසර සිට විද්‍යා සහ විද්‍යා නොවන පුලුල් විෂය පරාසයක උසස් පෙල දක්වා පන්ති පැවැත්වෙන පාසල් අපරටේ ඇත්තේ 5% ක් පමනි. ඉතින් අප රටේ පාසල් විය අරඹන වයසට පැමිනෙන බොහෝ දරුවන්ගේමව්පියන්ගේ අභිලාෂය වනුයේ තම දරුවා මේ 5% න් එක පාසලකට ඇතුලත් කිරීමටය. නමුත් අප රටේපාසල්වලින් 76% ක් අයත් වන්නේ 2 වන හෝ 3 වන ගනයේ පාසල් වලටයි. 

නිවැරදි අධ්‍යාපන ප්‍රතිපත්තියක්ද, හසල දැනුමක් සහ අවංක කැපවීමක් ඇති ඇමතිවරයෙක් සිටිනවා නම්මේ පාසල් පිලිබඳ ප්‍රශ්නය මතු නොවනු ඇත. මන්ද මේ වර්ගීකරණය, පාසල් සංවර්ධනය කිරීමේ පහසුවසඳහා මිස පාසල් අතර වෙනසක් ඇති කිරීමට නොවේ. 

රටේ අධ්‍යාපන තත්වය දියුණු කිරීමේදී එය විවිධ අවකාශයන් තුල සිදුවිය යුතුය. ප්‍රධානවම එම පාසලනිවැරදිව වර්ගීකරණය විය යුතුය. ඊ ලඟට  ඒ පාසල් කාණ්ඩවල පරිපාලනය, මූූල්‍ය පහසුකම්, ගුරුවරුන්තෝරා ගැනීම සහ ඉගැන්වීම් ක්‍රම, පාඨමාලා සැකසීම සහ තොරතුරු පද්ධතිය යාවත්කාලීන වීම ප්‍රශස්ථමට්ටමක පවත්වා ගැනීම ඉතා වැදගත්ය. මේ නිවැරදි වර්ගීකරණය තුල පාසල්වල තත්වය ඉහල නැංවීමසඳහා පාසල අයත් වර්ගයට අනුව සම්පත් සැපයීම විය යුතුයි. ඒ සඳහා නිවැරදි වැඩපිලිවෙලක් සෑමපාසලකටම අත්‍යවශ්‍ය වේ. වරක් රූපවාහිනී වැඩ සටහනකදී සෑම් විජේසිංහ මහතා කරුණු ගෙන හැරදක්වමින් පැවසූ පරිදි අප රටේ පර්යේෂණ හා සංවර්ධනය වෙනුවෙන් වෙන්වන පිරිවැය ප්‍රතිශතයක්වශයෙන් පවතිනුයේ ඉතියෝපියාව හා සුඩානයටත් පහල මට්ටමකය. එසේ බලන කල අධ්‍යාපනක්ෂේත්‍රයේ මෙවන් තත්වයක් පවත්වා ගැනීම පිලිබඳ අපේක්ෂාවක්වත් ඉතිරිව නැත.

ඒ වෙනුවට අද සිදුවී තිබෙන්නේ තිබෙන සම්පත් හා දක්ෂතා දක්වන ප්‍රමානය පදනම් කරගෙන එමපාසලේම තත්වය ඉහල දැමීමට කටයුතු කිරීමයි. ඒ තුල  අධ්‍යාපන ක්ෂේත්‍රය තුල විශාල පාසල්ප්‍රමානයක් ඉතා දරුණු ලෙස කොන් වී යාම සිදුවේ. නාගරික – ග්‍රාමීය ලෙස, පිහිටීම, දිස්ත්‍රික්ක අනුවමෙම විෂමතාවන් පැතිරී ඇත. 

ඉහත කී පරිදි වර්ගීකරණය කල පාසල්වල පරිපාලනය මධ්‍යම රජය යටතේ හෝ පලාත් සභා යටතේපවත්වාගෙන යාම දැනට සිදුවේ. ඒ ඒ පරිපාලන ව්‍යූහයන්ට අනුව වෙන් කරන මුදල් ප්‍රමානයත්,ප්‍රතිපත්තිමය තීරණ ගන්නා පුද්ගලයන්ගේ පරිණත බව හා දක්ෂ බව වැනි ස්වභාවයත්, මේ පාසල්වලදියුණුවට විශාල බලපෑමක් ඇති කරයි.

ජාතික පාසල් ලෙස නම් කර තිබුනද, එම වර්ගයට තිබිය යුතු උපමානයන් (Criteria) තිබෙන්නේ ඉන් 35%ට පමනි. එනම් කොළඹ සහ වෙනත් පහසුකම් සපිරි දිස්ත්‍රික්කවල ඇති ජාතික පාසල්වලට, වෙනත් දුරබැහැර ප්‍රදේශවල ඇති ජාතික පාසල් කෙසේවත් සම කල නොහැක. නමුත් අධ්‍යාපනය සම්බන්ධව නිවැරදිප්‍රතිපත්තියක් වෙයි නම් මෙය සිදු නොවනු ඇත. 

පාසලක් නියමිත ප්‍රමිතියකින් පවත්වාගෙන යාම සඳහා කටයුතු කිරීමේදී එම පාසලේ පිහිටීම, යටිතලපහසුකම් එනම් ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම්, දුරකථන පහසුකම්, ඉඩ පහසුකම්, මේස පුටු වැනිභාණ්ඩ ආදිය පිලිබඳව සැලකිලිමත්වීම අවශ්‍ය වේ. ඒ සමගම වසරකට ඇතුලත් වන සිසුන් ප්‍රමානය, පාසලසඳහා ඇති ඉල්ලුම සහ පාසල හැර යන සංඛ්‍යාව පිලිබඳ විශේෂ අවධානයක් යොමු කල යුතුය. දැනටකෙරෙන්නේ නම් පාසල සඳහා ඉල්ලුමක් නැති සේ පෙනෙයි නම් පාසල වසා දැමීමට අර ඇඳීමයි. 

ඊට අමතරව විදුහල්පති සහ ගුරු මණ්ඩලය ප්‍රමාණවත්ද, ඒ ඒ පාසල අයත් වන වර්ගයට අනුව ඔවුන් තමසුදුසුකම් සපුරා ඇත්ද යන්නත්, ඉංග්‍රීසි භාෂාව, විෂය බාහිර ක්‍රියාකාරකම් වෙනුුවෙන් ඒ සම්බන්ධවප්‍රවීනත්වය ලද ගුරුවරුන් ලබා දීමත් සිදුවිය යුතුමය. ගුරුවරුන්ට කලින් කලට නිසි පුහුණුව ලබා දීමත්වැදගත් ඉලක්කයකි. 

මේ කරුණු කාරණා සම්බන්ධ අවධානය යොමු කරමින් මධ්‍යම රජය හා පලාත් සභා යටතේ පවත්නා පාසල්වැඩි දියුණු කරමින් පවත්වාගෙන යාම අඛණ්ඩව සිදු වෙයි නම් දොස්තරවරුන්ට පමනක් නොව කිසිමදෙමව්පියෙකුට තම දරුවන් පාසලකට ඇතුලත් කර ගැනීම ජීවිතය හා මරණය සම්බන්ධ කරුණක් සේනොහැඟෙනු ඇත. අධ්‍යාපනය තුලින් අපේක්ෂා කරන සමාජ සම්මත ඉලක්කයන් වෙනුවට, තම සහජකුසලතා සහ දක්ෂකම් දරුවන්ටම තක්සේරු කර වටහාගත හැකි අධ්‍යාපන ක්‍රමයක්ද සහිතවසංවර්ධනය වන පාසල් පද්ධතියක් තුලින් මිස මේ පාසල් ප්‍රශ්නය විසඳීම නම් අසීරුය. 

අවාසනාවකට නිදහසින් පසු බලයට පත් වූ කිසිදු රජයක් මේ පිලිබඳව විධිමත් සැලැස්මක් සහිත වැඩපිලිවෙලක් කරගෙන යාමට අවධානයක් යොමු නොකල නිසාම දැන් මුලු අධ්‍යාපන ක්ෂේත්‍රයම අවුල්ජාලයකි. 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය ඉතාම තරගකාරී වීමත්, වැඩි පහසුකම් සහිත ජනප්‍රිය පාසල්වලකඩඉම් ලකුණු ඉතා ඉහල දැමීමත් තුල මේ පාසල් අතර පවතින පරතරය වඩාත් වැඩි වන අතර මෙමඅකටයුත්තේ වන්දිය ගෙවන්නට සිදුව ඇත්තේද දරුවන්ටමය.

රජයේ අසංවිධිත භාවයටම ගැලපෙන සේ ඉහල යයි සම්මත පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් සැදී තවත්නාඩගමක් නටති. ඔවුන් විසින් රජයෙන් කල යුතු වගකීම් තම කර පිට පටවාගෙන තම පාසලේ ප්‍රතිරූපයපුම්බා ලීමට තවත් තරගයක යෙදෙති. පිහිණුම් තටාක සැදීම, ටෙනිස් පිටි සැදීම ආදී දේ සඳහා පවතිනුයේනිම නොවන තරගයකි. ඇති හැකි ආදි සිසුන් මේ කර්තව්‍යට කර ගසන විට මොන තරම් බැරි අමාරුකම්තිබුනත් අනිත් ආදි සිසුන්ද මේ ප්‍රවාහයට ඔහේ ඇදී එති. ලංකාව තුල පමනක් නොව පිටරටවල සිටින අයදමේ ආදි සිසු සංගම් පිහිටුවීමේ නිරත වී ඇත. දුර බැහැර ගමක, මධ්‍ය මහා විද්‍යාලයක ආදි සිසු සංගම්පිටරටක හෝ මෙරට පිහිටුවා තිබෙනු ඔබ දැක තිබෙනවාද? ඉන් කියැවෙන්නේ එවැනි පාසල්වල ඉගෙනගත්අය පිටරටවල නැතැයි කියාද? නැත. තමා ඉගෙනගත් පාසල ගැන කටක් ඇර කියන්නට ඔවුන්ට ඇතිශක්තිිය මේ සරුව පිත්තල සමාජය තුල වියැකී ගොසිනි. අනික මගේ අත්දැකීම නම් දියුණු අධ්‍යාපනක්‍රමයක් ඇති රටවල උදවිය ප්‍රජාවක් ලෙස යම් විශේෂ අවස්ථාවල සුහදව හමුවනවා මිස මෙසේ පාසල්පදනම් කරගත් සාද පවත්වන්නේ නැත. 

 මේ ප්‍රශ්න තුල තැලී පොඩි වනුයේද අපේම දරු පරපුරය. උදේ 6.30 ට අවදි වී නිවෙස අසල පාසලට නිවීසැනසිල්ලේ ගොස්, සවස 1.30 ට පාසල ඇරුන පසු ගෙදර ඇවිත් නිදහසේ පාඩම්වල ගෙදර වැඩ කරගෙන,කෙලි සෙල්ලම් කර රූපවාහිනිය නරඹා ගත කල හැකි නිදහස් දිවිය ළමුන්ගෙන් උදුරාගෙන ඇත්තේ මේඅධ්‍යාපන ක්‍රමය විසිනි. ඒ වෙනුවට ඔවුන්ට ගෙවන්නට සිදු වී ඇති ජීවිතය අමුතුවෙන් විස්තර කල යුතුනොවේ.

මේ වසර මුලදී මතුවූ පාසල් නිල ඇඳුම් වවුචර ප්‍රශ්ණය ගැන පාර්ලිමේන්තු ලොබියේදී කතාකලඅගමැතිවරයා පවසා තිබුනේ ” මේ ප්‍රශ්න කිසි දෙයක් නැහැනේ රෝයල්, ආනන්ද, නාලන්ද වගේඉස්කෝලවල. ඔය ඈත පලාත්වල විදුහල්පතිල තමා මේව අනාගෙන දඟලන්නෙ. ටික දවසක් ගියාමමිනිස්සුන්ට ඕව පුරුදු වේවි” කියාය. මෙය වාර්තා කර තිබුනේ සති අන්ත පුවත්පතක දේශපාලන සතියවිශේෂාංගයේය! මේ වවුචර ප්‍රශ්නය සම්බන්ධව ඒ දිනවල රූපවාහිනී පුවත් තුලින් ඔබ දුටු දේ මතකයේඇති නම් මේ කියමනෙහි ඇති ස්වභාවය ගැන සිතීම ඔබටම භාර කරමි. පාන් ගණන් නම් කේක් කාපල්ලාකීවා වැනිය. 

මෙසේ පටු විදියට හිතන අගමැති කෙනෙකුත්, ප්‍රශ්නවල වැරදි කෙළවර අල්ලාගෙන තම සම්පූර්ණ කාලයඒ සඳහා යොදවන අධ්‍යාපන ඇමති කෙනෙකුත්, අධ්‍යාපනයට වෙන්කල පිරිවැය සම්බන්ධව ‘කොලේ වහලාගහන‘ මුදල් ඇමති කෙනෙකුත් සමග මේ ප්‍රශ්න විසඳේවි යැයි සිතීම අසීරු කාර්යයකි. 

තව දෙයක් කිවයුතුය. එනම් අපොස සාමාන්‍ය පෙල අසමත් අයටත් උසස් පෙල විභාගයට ලියන්නටඅවස්ථාව සැලසෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නගන බව අධ්‍යාපන ඇමති පවසයි. ඒකත් හොඳයි. එවිටසයිටම් එකට ඇතුලත් වන අය සාධාරණීකරනය කරන්නට හැකි වනු ඇත. සමහරවිට සාමාන්‍ය පෙලනොතබාම සිටීම වඩාත් හොඳ යයි අධ්‍යාපන ඇමතිටම පසුව සිතෙන්නටත් පුලුවන.

2015 දී විශ්ව විද්‍යාල ප්‍රවේශයට පෙනී සිටි ලක්ෂ 3 ක් පමන වූ සිසුන්ගෙන් 1/6 ක් පමන විශ්ව විද්‍යාලවලටඇතුලත් වීමට සුදුසුකම් ලැබූවද අවස්ථාව ලැබෙන්නේ 27,630 ක පමන පිරිසකට පමනි. හරි අධ්‍යාපනක්‍රමයක් තුල මේ ලක්ෂ 3 ට ම අවස්ථා තිබිය යුතුය. ඒ වගකීම තිබෙන්නේ උසස් අධ්‍යාපන ඇමති අතේය.ඒ ලක්ෂ 3 ට පමනක් නොව අද පාසලට ඇතුලු වන සෑම දරුවෙකුටම තම ජීවිතය අනුනට හෝ තමාටමබරක් නොවී, තම කුසලතාවන් ඔප නංවාගෙන රැකියා වෙළඳපලට පිවිසිය හැකි අන්දමේ වෘත්තීයඅධ්‍යාපනය මාර්ගයක් විවෘත වීම අත්‍යවශ්‍යය. ඊට අවශ්‍ය වන්නේ අද වල පල්ලට වැටී ඇති තාක්ෂණිකවිද්‍යාල පද්ධතිය පණ ගැන්වීමයි. එම ඩිප්ලෝමා පාඨමාලාවන්ට නිසි පිලිගැනීම ලැබෙන අන්දමේ වැඩපිිලිවෙලක් සැකසේ නම් අධ්‍යාපන ඇමතිවරයාට නව අත්හදාබැලීම් වලට ගොස් තවත් අවුල් ජාලයක් සදනුවෙනුවට වැඩකට ඇති යමක් කල හැකි වනු ඇත.

රටේ ජනතාවටත් දරු පරපුරටත් ඇත්තටම සේවය කරන්නට ඕනෑනම්, අධ්‍යාපන ඇමති, උසස් අධ්‍යාපනඇමති, වෘත්තීය පුහුණු ඇමතිලාට දොස්තරවරුන්ගේ හෝ වෘත්තීය සමිතිකරුවන්ගේ ඇඟේ එල්ලෙන්නටත්,පසුගිය රජය ගැන හිත හිතා ඉන්නටත් කාලය වැය නොකර, එක්ව කරන්නට මොන තරම් වැඩ සම්භාරයක්තිබෙනවාද?

තේජා ගොඩකන්දෙආරච්චි

Check Also

නිජබිම සංකල්පය මත ඉදිරිපත් වන නව ව්‍යවස්ථාවේ බෙදුම්වාදී ලක්ෂණ

බෙදුම්වාදී යුද්ධයේ තීරණාත්මක අවධියක් වූ 2008 සැප්තැම්බර් මාසයේදී  “සිංහල හඩ” සංවිධානය හරහා පේරාදෙණිය විද්‍යාර්තීන් පිරිසක් ...

One comment