Home / Featured / පා ච රණවක,විග්නේෂ්වරන් එලියේ තිස්ස අත්තනායක ඇතුලේ…. ඕං.. යහපාලනේ

පා ච රණවක,විග්නේෂ්වරන් එලියේ තිස්ස අත්තනායක ඇතුලේ…. ඕං.. යහපාලනේ

“විග්නේෂ්වරන්ට පා ච රණවකට ක්‍රියාත්මක නොවුණු නීතිය අද තිස්ස අත්තනායක මැතිතුමාට විතරක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒකෙන් පේනවා අතිගරු ජනාධිපතිතුමා ඉතාම නිවැරදිව ප්‍රකාශ කල ආකාරයට මේ පොලීසිය නීතිපති දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරමින් ඉන්න බව.” යනුවෙන් නීතිඥ උදය ගම්මන්පිල පවසයි.සිරගතකොට සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකගේ සුවදුක් විමසීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල,ජාතික සංවිධායක මධුමාධව අරවින්ද, ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක යන මහත්වරුන් නව මැගසින් බන්ධනාගාරය වෙත පැමිණීමෙන් අනතුරුව නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

“හිටපු ආමාත්‍ය තිස්ස අත්තනායක මැතිතුමා සිරකරුවෙක් වී බන්ධනාගාරයේ ඉන්නවා බලන්නයි ආවේ. එතුමාට එල්ලවෙලා තියෙන චෝදනා හරිම අපුරුයි. මහාඅධිකරණය විසින් තිස්ස අත්තනායක මැතිතුමාට එරෙහිව ඉදිරිපත් කරපු අභිචෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් දෙස බැලුවාම මේ නඩුව ලංකා ඉතිහාසයේ ඓතිහාසික නඩුවක් බවට පත්වීමට ඉඩ තියෙනවා. එතුමාට විරුද්ධව ඉදිරිපත් වන පළමු සාක්ෂිකරු තමයි රටේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා. දෙවැනි සාක්ෂිකරු රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමට විරුද්ධව නගලා තියෙනවා ප්‍රධාන චෝදනා 2ක්. පළමු චෝදනාව තමයි කූට ලේඛනයක් බව දනිමින් කූට ලේඛනයක් මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීම. මේ කතා කරන්නේ 2014 දෙසැම්බර් මාසයේ මාධ්‍ය හමුවකදී රනිල් සිරිසේන නමින් රහස් ගිවිසුමක් පිළිබඳ අපේ තිස්ස අත්තනායක මැතිතුමා පවත්වපු මාධ්‍ය හමුව. දැන් ඒ මාධ්‍ය හමුවේ දී ඉදිරිපත් කළේ කූට ලේඛනයක් කියන අතරේම කූට ලේඛනයක් කියන පදනමෙන් තමයි එතුමාව අද අත්අඩංගුවට අරන් අභිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරලා තියෙන්නේ.”

“ඔබට මතක ඇති ඔය චෝදනාව එල්ල වුනු සතියේම අද ආණ්ඩුවේ අමාත්‍ය දූරයක් දරන පා ච රණවක මැතිතුමා කූට ලේඛනයක් ඉදිරිපත් කලා. ලෙස්ට ජෙම්ස් පිරිස් මැතිතුමාගේ ඡයාරූපයක් විකෘති කරලා එතනට කේ පී නැත්නම් කුමරන් පද්මනාදන්ගේ ඡයාරූපයක් යොදලා කූට ලේඛනයක් සකසලා මාධ්‍ය ඉදිරියේ ඉදිරිපත් කලා විතරක් නෙවෙයි දැන් මේ කාරණයේ දී අදටත් මේක කූට ලේඛනයක් කියලා තිස්ස අත්තනායක මහතා පිළිගන්නේ නෑ. නමුත් එදා පා ච රණවක ඇමතිතුමන් තමන් ඉදිරිපත් කළේ කූට ලේඛනයක් කියලා පිළිගනිමින් ලෙස්ට ජෙම්ස් පිරිස් මැතිතුමාගේ නිවසට ගිහිල්ලා සමාවත් ඉල්ලා සිටියා. හැබැයි තිස්ස අත්තනායක මහතා පළමුවතාවේ දින 10ක් අත්අඩංගුවේ සිටියා. නැවතවතාවක් මාස එකහාමාරකට රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. නමුත් නීතිපතිවරයා පා ච රණවක ඇමතිතුමාව එකවතාවක්වත් අත්අඩංගුවට අරගෙන නෑ.”

“අපිට මතකයි ගිය සතියේ පා ච රණවක ඇමතිතුමා කියනවා මේ රටේ පොලීසිය යහපාලන මුලධර්ම අනුව කටයුතු කරන්නේ නෑ කියලා. පාච ගොඩක් කියන ඇමතිතුමා ඉදලහිටලා ඇත්තක් ප්‍රකාශ කරාට මොකද, මේ රටේ පොලීසිය යහපාලන මුලධර්ම අනුව කටයුතු කලා නම් අද පා ච රණවක ඇමතිතුමා ඉන්න ඕනේ මේ බන්ධනාගාරයේ. මොකද, එතුමට එරෙහිව සන්දීප් ගුණවර්ධන අනතුර කිරීම පිළිබද දිවුරුම් ප්‍රකාශ වලින් තොරතුරු දුන්නා, දුරකථනයෙන් සාක්ෂි තහවුරු වුණා. හැබැයි පොලීසිය නිසි තොරතුරු අධිකරණයට ඉදිරිපත් කලේ නෑ. ඊළගට අපිට මතකයි පැනමා පත්‍රිකාවලට වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවුණු රට එකම රට ලංකාවයි. ඒවගේම ගල්අගුරු වංචාවක් පිළිබඳ කතාවක් අවා. ඒවගේම කූට ලේඛන සිද්ධිය මේවා දිහා බැලුවම මේ පොලීසිය යහපාලන මුලධර්ම අනුව ආණ්ඩු පක්ෂයද විපක්ෂයද කියලා බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කලා නම් අද තිස්ස අත්තනායක මැතිතුමා වෙනුවට බලන්න එන්න වෙන්නේ පා ච රණවක ඇමතිතුමන්ව.”

“මේතුමට නගලා තියෙනවා අමුතු ජාතියේ චෝදනාවක් ඒ තමයි තිස්ස අත්තනායක මැතිතුමා ජනතාව අතර ජනවාර්ගික සහ ආගමික වෛරයක් ඇතිකිරීමට උත්සහ කලා කියලා. හැබැයි එතුමගේ මේ ගිවිසුම පිළිබඳ කතාව අහලා කොතනවත්  ජනවාර්ගික හෝ ආගමික ගැටුමක් ඇතිවුණු බවට කිසිම තොරතුරක් නෑ. හැබැයි අපිට මතකයි උතුරු පලාත් මහා අමාත්‍ය විග්නේෂ්වරන් මහතා උතුරු පලාතේ පවත්වපු පිබිදෙව් දෙමලුනි කියන උද්ඝෝෂණයේ ප්‍රතිපලයක් විදිහට වවුනියාවේ කොක්කෙලිය ගම්මානයේ සිටිය සිංහල ජනතාවට වහාම අපේ නිජබිමෙන් යන්න කියලා අන්තවාදීන් තර්ජනය කලා. එදාම කිලිනොච්චියේ සතොස ආයතනයේ වැඩ කරන සිංහල සේවකයන් දෙදෙනෙකුට පහර දුන්නා. මෙතුමා උතුරු පලාතෙන් බුදු පිලිම ඉවත් කරන්න කිව්වම බුදුපිළිම කැඩිම් පිළිබඳ වාර්තා වුණා. පන්සල් වලින් භික්ෂුන්වහන්සේලා එළවීම පිලිබඳව උතුරු පලාතෙන්ම වාර්තා වුණා. උතුරු පලාතෙන් හමුදා කදවුරු ඉවත් කළ යුතුයි කියා විග්නේෂ්වරන් මහතා උද්ඝෝෂණයේ දී පැවැසීමෙන් පස්සේ අපි දැක්කා සිලාවතුරේදී නාවික හමුදාවේ රණවිරුවන්ට අත්වෙච්ච අසරණ ඉරණම. ගම්වැසියන්ට එඩියක් අවා නාවික හමුදාවේ නිලධාරින්ව රාත්‍රීයක් පුරා බලහත්කාරයෙන් රදවා ගෙන ඉන්න. මේ කාරණා වලින් පෙන්නේ තිස්ස අත්තනායක මහතාගේ ප්‍රකාශයෙන් කෙසේ වෙතත් විග්නෙෂ්වරන් මහතාගේ ප්‍රකාශයෙන් නම් ජනවාර්ගික සහ ආගමික වෛරයක් ඇතිවිමක් සිදුවුණු බවයි. හැබැයි විග්නේෂ්වරන්ට පා ච රණවකට ක්‍රියාත්මක නොවුණු නීතිය අද තිස්ස අත්තනායක මැතිතුමාට විතරක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒකෙන් පේනවා අතිගරු ජනාධිපතිතුමා ඉතාම නිවැරදිව ප්‍රකාශ කල ආකාරයට මේ පොලීසිය නීතිපති දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරමින් ඉන්න බව.”

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...