(මුරුංගා) අත්ත බිඳෙයි පය බුරුලෙන්…..!!

0

මේ දිනවල අගමැති රනිල් වික්‍රමසිංහ සිටින්නේ බෙල්ජියමේය. ඔහුට එහිදී යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබිනි. ඒ පිලිබඳව 18/10/2016 දිවයින පුවත්පතේ පලවූයේ මෙලෙසිනි.

‘ඒකාධිපතිවාදය, දූෂණය සහ භීෂණය කරා ගමන් කරමින් තිබූ රටක් ඉන් මුදවා, යහපාලනය සඳහා කැපවුනු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත් කරලීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා කල කැපවීම සහ පරිත්‍යාගය යුරෝපීය කවුන්සිලයේ ඇගයීමට ලක්වන බව ඩොනල්ඩ් ටස්ක් මහතා පැවසීය.’

තව බොහෝ කරුණු ඇතුලත් වූ එම සාකච්ඡාව අවසානයේ, GSP+ සහනය ඇතුලුව ශ්‍රී ලංකාවේ අනාගත අභියෝග ජය ගැනීම උදෙසා යුරෝපීය ප්‍රජාව වෙතින් ලබා දෙන සහය පිලිබඳව කෘතඥතාවය පලකල අගමැතිවරයා, ශ්‍රී ලාංකික ජනතාවගේ ආගන්තුක සත්කාර විඳිමින් එහි නව සංවර්ධන හා ප්‍රජාතාන්ත්‍රීකරණ ක්‍රියාවලීන් දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිනෙන ලෙස යුරෝපා සංගමයේ සභාපතිවරයාට ආරාධනා කල බව එහි ලියැවී තිබිනි.

සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාව නියම ඒකාධිපතිවාදය, දූෂණය සහ භීෂණය කරා ගමන් කරමින් තිබුනේ 2009 ට පෙර බව මගේ හැඟීමයි. එදා එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියා කලාපය තුල රැඳී තිබූ ඒකාධිපතිවාදය, දූෂණය සහ භීෂණය මේ යුරෝපා රටවල ලොක්කන්ට නොපෙනුනේ මොන අවාසනාවකටදැ යි වටහා ගත නොහැක. එල්ටීටීඊ ය යුදමය වශයෙන් ක්‍රියාත්මක වීමේදී හා ජනතාව අතර කටයුතු කරත්දී පලකල ඒකාධිපතිවාදී, දරුණු හා වියරු ස්වභාවය තුල සාමාන්‍ය ද්‍රවිඪ ජනතාවට ඔවුන් ලබා ගන්නට අපේක්ෂාකල විමුක්තිය ලබා ගත හැකිවීද, ඔවුන්ගේ අයිතිවාසිකම් ස්ථාපිත වීද යන්න ඒ ගෙවුන කාලය දෙස නැවත හැරී බලයි නම් වටහා ගත හැකි වනු ඇත. එතැන සිදු වූ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ඔස්සේ පැතිර ගියේ දූෂණයයි.  ඔවුන් මුලු රට පුරා මුදාහල භීෂණය ගැන නම් කිසිවෙකුට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය නොවනු අැත. ඒ අනුව මේ එල්ටීටීඊ සංවිධානය වසාගෙන වැඩුනු ආක්‍රමණශීලී අරමුණු වැරදි විදියට නොදකින කවුරුන් හෝ සිටී නම්, නියතවම ඔවුන්ගේ අභිප්‍රාය වනු ඇත්තේ එම අරමුණු යතාර්ථයක් බවට පත් වනු දැකීමයි. එබැවින් එම භීෂණකාරී සංවිධානය පරාජය කිරීමෙන් පසු ගත වූ වසර කිහිපය යුරෝපා සංගමය දුටුවේ ඒකාධිපතිවාදය, දූෂණය සහ භීෂණය කරා ගමන් කිරීමක් ලෙස නම් සහ වත්මන් රජය අද එයින් රට  මුදවා ගනිමින් සිටින බව නම්, ඒ තුල අප රට කෙරෙහි ඔවුන් දක්වන ආකල්පයද, රජය එම අරමුණු ඉටු කරන තැනට තල්ලු කිරීමට ඔවුන්ට ඇති වුවමනාවද අපට මනාව පැහැදිලිය. GSP+ වැනි කැරට් අල මේ තල්ලුව සඳහා උත්තේකයන්ය.

ඉතින් මේ වුවමනාවන් ඉටු කරන ගමන යාම සඳහා ඒ මගට අවතීර්ණ වීමට අගමැති රනිල් වික්‍රමසිංහ කල ‘කැපවීම’ සහ ‘පරිත්‍යාගය’ ? ඒ මොනවාද? මෙතැනදී නම් කිව හැක්කේ අපේ රටේ තිබෙන දේශපාලන ගැට සහ උගුල් පිලිබඳව යුරෝපා සංගමයේ සභාපතිට කිසිදු අවබෝධයක් නැති බවය. එක අතකට සැබෑවකි. රනිල් වික්‍රමසිංහ යම් කැපවීම් සහ පරිත්‍යාගයන් කලේය. ඒත් ඒ මේ යුරෝපීය ලොක්කන් සිතන ආකාරයේ ඒවා නොවේ. ඔහු 2010 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවී, තම අඩිය පිටුපසට ගෙන සරත් ෆොන්සේකා නම් හිටපු හමුදාපතිවරයා ඉදිරියට දැමුවේය. ඔහු මීට සරත් ෆොන්සේකාවම තෝරා ගත්තේ ඇයි? වත්මන් රජය ඒකාබද්ධ විපක්ෂයට චෝදනා කරන්නේ ජනතාව තුල ජාතිවාදී හැඟීම් අවුස්සන බව පවසමිනි. මේ කෝණයෙන් බලන කල්හි එදා ජයග්‍රාහී යුද්ධයට දායක වූ හිටපු හමුදාපතිවරයා සටනට ඉදිරිපත් කිරීම තුල ඔවුන්ගේ අභිප්‍රාය වී තිබුනේද ජාතිවාදය දිනවීමම නොවේද? මන්ද මහින්ද රාජපක්ෂ ජනාධිපති, සේනාධිනායක වශයෙන් හමුදාවනට අණ දුන් බව ජනතාව දන්නා නිසා, යුද්ධය ජයග්‍රහණය තුල ශ්‍රී ලාංකික ජනතාව තුල පහල වූ අභිමානවත් හැඟීම මත ඔහු වටා ජනබලයක් ගොඩ නැගුන නිසා, ඊට අභියෝග කල හැකි පුද්ගලයා ලෙස සරත් ෆොන්සේකා නම් හිටපු හමුදාපතිවරයා යොදා ගත යුතු බව එවේලේ රනිල් ඇතුලු පිරිසගේ මතය වන්නට ඇත. ඉතින් මෙවන් ජන බලයක් ගොඩනැගීමට හේතු පාදක වන බීජය ‘ජාතිවාදය’ නම්, එදා සරත් ෆොන්සේකා මහින්දට එරෙහිව ඉදිරියට දැමීමේදී එජාප, ජවිපෙ ඇතුලු පිරිස් අපේක්ෂා කලේද එම ජාතිවාදී බීජය රෝපණය කර ලැබෙන ඵලය භුක්ති විඳීමම ය. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුල යුද්ධයේ නියම අයිතිකාරයා සරත් ෆොන්සේකා බවට ගෙන ගිය ප්‍රචාරය තුල මෙය මැනවින් ඔප්පු විනි. 2010 ජනාධිපතිවරණය එළඹෙන විට යුද්ධය අවසන්ව ගතව තිබුනේ යන්තම් මාස 8 කි. මේ මාස 8 තුල වර්ගවාදී යුද්ධයේ භීෂණයෙන් හිරි වැටී තිබූ ජන සමාජය යන්තම් ඉහිල් වන්නට පටන් ගත්තා පමනි. ඒ තුල තමන්ද එම තත්වයම ප්‍රයෝජනයට ගනු විනා වෙනත් විකල්පයක් එජාපයට නොවීය.

මෙවර 2015 ජනාධිපතිවරණයේදී ඔවුන් භාවිතා කලේ යුරෝපා සංගමයේ ලොක්කා කියන ලෙසම ඒ්කාධිපතිවාදය, දූෂණය සහ භීෂණයයි. එබැවින් මෙවර සරත් ෆොන්සේකා කෙනෙකු ඇද ගන්නට රනිල් ඇතුලු පිරිසට අවශ්‍ය නොවීය. ඔවුහු ඒ වෙනුවට ශ්‍රීලනිපයේ මහ ලේකම් මෙෙත්‍රීපාල සිරිසේන තෝරා ගත්හ. ඔහුගේ කර මතින්, ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින්, රනිල් බලයට පැන ගත්තේය. පරිත්‍යාගය හා කැපවීම කියන්නේ මේවාට විය හැකිය. එ් ශ්‍රීලනිපය දෙකඩ කොට දැමුවේ නැත්නම් මෙවරද පරාජයම ලැබෙන බව කල් තබාම දුටු නිසාය. එසේ නැතිව ඩොනල්ඩ් ටස්ක් පවසන පරිදි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ සිහිනයක් කලක් තිස්සේ රනිල් තුල තිබූ නිසා නොවේ. එසේ ඒ උපයට හසුවූ මෙෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරරයා 2009 මැතිවරණ වේදිකාවේදී ” ජනාධිපති තුමනි, ඔබතුමා අපට රජෙක්” කියූ කටින්ම අද ‘රජතුමා’ යන වචනයට උපහාසය මුසු කරයි. මේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමය තුල එය මඳක් තරමට වැඩි යෙදුමක් බව සැබැවි. නමුත් මේ යූඇන්පී කාරයන් උපහාසය පෙරටු කරගෙන ‘මහරජතුමා’ යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව හඳුන්වන විට ඔවුන්ට ‘අතිගරු ජනාධිපති උතුමාණන් වහන්සේ’ වන ජේආර් ද, සුලු වැටුප් වර්ධකයක් ඉල්ලා වැඩ වර්ජනය කල වරදට රජයේ සේවකයන් දහස් ගණන් මහපාරට ඇද දමමින්, මහා චන්ද මංකොල්ලයන් කරමින්, ද්‍රවිඪ ජනතාවට එරෙහි ජාතිවාදී කැරලි මෙහෙයවමින්, සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිටි දස දහස් ගණන් බිලි ගනිමින් පවත්වාගෙන ගිය ඔහුගේ ‘ධර්මිෂ්ඨ රාජ්‍යය’ මෙන්ම ඊලඟට බලයට පත් ශ්‍රීමතාණන් සහ ඔහුගේ ක්‍රියාකලාපයද මතක් නොවන්නේ ඇයි? පසුගිය සමයේ ඩෙන්මාර්ක් ඇතුලු රටවල් කිහිපයක සංචාරක තොරතුරු සම්බන්ධ ලිපි ලේඛණ පෝර්මවල තම මවුරට ලෙස යොදන රටවල් ලැයිස්තුවට ‘ඊලාම්’ යන්නද ඇතුලත් වූ බව පැවසිනි. එවන් තත්වයකට ඇද වැටී තිබුන රටක් එක් සේසත් කිරීම සැහැල්ලු කොට තකන්නට නොහැකිය. මේ නිදහස දැනුනේ ආාරක්ෂක භටයන්, කායාරක්ෂකයන් සහිතව ජීවත් වූ දේශපාලකයින්ට නොව තම ජීවිත දැඩි අවදානමක රැඳී තිබූ සාමාන්‍ය ජනතාවටය. මෙයට සිංහල, දෙමළ, මුස්ලිම් කියා වෙනසක් නොවීය.

මේ දිනවල IS ත්‍රස්තවාදීන්ට එරෙහිව ඉරාක හමුදාවන් මොසුල් නගරයට ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට යමින් සිටිති. ඊට උදව් පිනිස ගුවන් ප්‍රහාර එල්ල කරමින් තමන් ඉටුකල කාර්යභාරය ගැන බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව පවසනුයේ ඉතාම ආඩම්බරයෙනි. මොසුල් නගරයේ මිලියන 2 ක පමන ජනතාවක් ජීවත් වෙති. මේ සිවිල් ජනයාට හානි නොකර ගුවන් ප්‍රහාර හෝ වෙනත් බර අවි  ප්‍රහාර එල්ල කිරීම යනු කිසි සේත් කල නොහැකි දෙයකි. ඔක්තෝබර් 19 වන දින උදෑසන BBC ප්‍රවෘත්ති සේවය පැවසුවේ IS ත්‍රස්තවාදීන් එම සිවිල් ජනතාව මිනිස් පලිහක් ලෙස භාවිතා කරන බවයි. එය කියන විට ඒ ප්‍රකාශය තුල තම ප්‍රහාර වලින් පීඩා විඳින සිවිල් ජනතාව සම්බන්ධව මතුවූ වරදකාරී ස්වභාවයක් තිබිනි. නමුත් ශ්‍රී ලංකාවේ 2009 දී ඇතිවූයේ ද මේ හා සමාන තත්වයකි. එය යුද අපරාධ සිදු  කිරීමක් ලෙස අර්ථ දක්වන්නේද මොවුන්මය. මේ අපේ අගමැතිතුමා සහ ජනාධිපතිතුමා මහා ආඩම්බරයෙන් පම්පෝරි ගසන බටහිර මිත්‍රයන්ගේ පිලිවෙතයි. තමන් ජාත්‍යන්තරය දිනා ගත්තාය, තමන් මහින්ද රාජපක්ෂ විදුලි පුටුවෙන් බේරුවාය කියමින් උදම් අනන්නේ මෙවන් ඇත්තන්ගේ දිව දෙකේ කතා අසමිනි.

එක අතකට ඒද සාධාරණය. මන්ද මේ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් පිටරටවල මිත්‍රයන් කියන දේ අසා සිටිනු හැර ශ්‍රී ලංකාවේ ජනතාව කියන දෙයකට හෝ කරන ඉල්ලීමකට කන් දෙන්නට වෙලාවක් කොහිද? ඔවුන්ගේ කාලයෙන් වැඩි හරියක් ගෙවෙන්නේ පිටරටවලය. 2015 ජනවාරියේදී බලයට පත් ජනාධිපතිවරයා මේ වන විට 19 වතාවක් පිටරට ගොස් තිබේ. අගමැතිවරයා පිටරට ගිය  වාර ගණන අග්‍රාමාත්‍ය කාර්යාලයේ අන්තර්ජාල තොරතුරුවල යාවත්කාලීන වී නොමැත. නමුත් මේ දෙදෙනා මාරුවෙන් මාරුවට පිටරට යන බව නම් ඉර හඳ පායනවා සේම සාමාන්‍ය කරුණකි.

පසුගිය දා ජනාධිපතිවරයා තායිලන්ත සංචාරයේ යෙදෙන අතරතුර ඔහුගේ පුතා බරපතල ආරවුලක පැටලුනේය. මේ නම් ගම් හෙලි කලේ එජාපය ට අයත් වෙබ් අඩවි තුලින්ම බව කියැවිනි. ඒ අතර ලංකාවට පැමිනි ජනාධිපතිවරයා මූල්‍ය අපරාධ වංචා විමර්ශන කොමිසම විවේචනය කරමින් මහත් ආන්දෝලනාත්මක කතාවක් කලේය. එහි ප්‍රතිඵලයක් ලෙස අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂකවරිය ඉල්ලා අස් වූවාය. ඒ සමගම රටේ රජයේ හා විරුද්ධ පර්ශ්වයන්හි පිරිස් අන් සියලුම ප්‍රශ්න පසෙක ලා මේ කතාවේ එල්ලුනහ. නමුත් ඊලඟ දිනයේ හමු වූ අගමැති හා ජනාධිපති එකට තේ බී සතුටින් විසිර ගිය අතර තම තමන්ගේ සුපුරුදු චාරිකා සඳහා අගමැති බෙල්ජියමටත්, ජනාධිපති ඉන්දියාවටත් පිටත්ව ගියහ.

ඉන්දියාවේ සිට පෙරලා පැමිනි ජනාාධිපතිවරයා යලිත් ගෝරනාඩු කරමින්, පරිසරය විනාශ කරන අයට පහර ගසමින්, තමන් නිළධාරීන් තිදෙනෙකුගේ සේවය අත්හිටවූ හැටි විස්තර කලේය. නමුත් මේ අතරම පෝර්ට් සිටි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වැලි ලබා ගැනීමට මීගමුව අවට ගැඹුරු මුහුද හාරමින් කරන විනාශය පිලිබඳ ධීවර ජනතාව විරෝධතා ව්‍යාපාරවල යෙදෙති. දින පතාම කෙරෙන අනවසර හෝ නීති විරෝධී වැලි ගොඩ දැමීම්, පස් කැපීම්, වන විනාශයන් ගැන ප්‍රවෘත්තිවලින් අප සවන් පිරී ඉතිරී ගොසිනි. මහා මාර්ග අමාත්‍යංශයේ කටයුත්තක් වෙනුුවෙන් ජනවාරියේ සිට අඹේපුස්සේ සිදු කෙරෙන පස් කඳු කැපීම ජනාධිපතිවරයා දැක ඇත්තේ දැන්ය ! පරිසර අමාත්‍යංශයේ නිළධාරීන්ගේ රැකියාව අත්හිටුවීමට ක්‍රියා කලත් අප ජාතික සම්පතක් වන විල්පත්තුව වනෝද්‍යානයේ මහා වන සංහාරයක් කල ඇමති රිෂාද් බදුර්දීන් තවමත් කිසිදු අතුරු ආන්තරාවක් නැතිව ඇමති මණ්ඩලයේ යෙහෙන් වැජඹෙයිි. කුමක් හෝ ප්‍රශ්නයක් නිසා සෑම දිනකම රටේ කොතැනක හෝ ජනතාව මහ පාරේ බැසගෙන උද්ඝෝෂණය කරනු පෙනේ.

වෙන කුමන විනාශයටත් වඩා පරිසර විනාශය දරුණු විපාක ගෙන දෙන බව අප දෑස් ඉදිරියේ ඔප්පු වී අවසන්ය. 2016 අප්‍රේල් මැයි මාසවලදී ඇද වැටුන මහවැසි හේතුවෙන් ඇතිවූ නාය යාම් ගංවතුර නිසා මිනිසුන් ලක්ෂ ගණනක් අනාථ වූ රටේ, සැප්තැම්බර් මාසය වන විට මහා නියඟයකින් ලක්ෂ ගණනක් ජනයා බීමට දිය පොදක් නැති තරමට අනාථ වූහ. මේ ගැන විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වටහා ගැනීම අවශ්‍යය. මන්ද ඔය බටහිර මිත්‍රයන්ගේ නම් ඔලුු ගෙඩි මාරුවන විට කතා සහ සැලකිලිද මාරු විය හැකි වුනත් පරිසරය සමග එවන් ගණුදෙනු නොමැත. පරිසරය අපට ආ පස්සට දෙන්නේ අප පරිසරයට ලබා දෙන සැලකිලිය.

රජය බලයට පත් වෙත්දී මහා හඬක් නැඟූ තවත් එක් මාතෘකාවක් වූයේ මත්ද්‍රව්‍ය උවදුරයි. මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීද ජනාධිපතිවරයා මේ පිලිබඳව කතා කලේය. නමුත් පසුගිය රජය සමයේ රු.1500 ක් වූ මත්කුඩු පැකට්ටුවක් දැන් රු.750 ට බැස ඇතැයි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පසුගිය දිනක පැවසීය. දිනපතාම අසන්නට ලැබෙන මත්ද්‍රව්‍ය වැටලීම් පිලිබඳ තොරතුරු අප්‍රමානය. වරක් රාජිත සේනාරත්න ඇමතිවරයා  පැවසුවේ එම වැටලීම් තුලම තමන් මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙන යන සටන පිලිබිඹු වන බවයි. කෙසේ වුවද ඔක්තෝබර් 18 වන දා මන්නාරම සිලාවතුරේදී කේරළ ගංජා තොගයක් වැටලීමට ගිය නාවුක හමුදා නිළධාරීන් පිරිසකට ප්‍රදේශවාසීන් එල්ලකල ප්‍රහාරය පිලිබඳව දින 2 ක් ගතවීත් රජය නිහඬය. සමහරවිට සංහිඳියාව නිසා විය හැකිය. මත්ද්‍රව්‍ය වැටලීම්වලට ලැබෙන සංග්‍රහය සහ ඊට රජයේ ප්‍රතිචාරය මෙබඳු නම් මතින් තොර රටක් ගැන කෙසේ කතා කරමුද? රජයේ මෙවන් දුර්වල ප්‍රතිචාර තුල අවදානමට වැටෙන්නේ තරුණ ජීවිත ය. එබැවින්  සවාරි ගසමින් කතා කරමින් කල් ගෙවනවාට වඩා සැබෑ වුවමනාවක් ඇති නම් කරන්නට කොපමන දේ තිබෙනවාද?

දැන් දැන් ශ්‍රී ලංකාව තුල නැගෙන ප්‍රශ්නවලට වඩා බටහිර  රටවල මිතුරන්ගේ උපදෙස් හා වර්ණනාවලින් දෙසවන් පිරී ඇති නිසා තමන්ට එරෙහිව අවදිවන බලවේගය මොවුන්ට පෙනෙනු ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය ජාතිවාදය අවුස්සන්නාක් මෙනි. නමුත් ජාතිවාදයට වඩා යමක් ජනතාව තුල තිබෙන නිසා ජනතාව මේ පවතින රජයෙන් ඈත් වෙමින් සිටින බව මේ සියලු දේ තුල පැහැදිලිය.

ඉතින් රනිල්ගේ ආරාධනය පරිදි යුරෝපා සංගමයේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිනියහොත් ඔහු අනිවාර්යයෙන්ම උතුරට යනු ඇත්තේ තම උනන්දුව ඇත්තේ එහි නිසාය. නමුත් අගමැතිවරයාට තම මිත්‍රයාව ගුවනින් නැතිව බිමින් ගෙන යා හැකි නම් ඔහුට අප රටේ සිදුවන නව සංවර්ධන හා ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලියේ අරුමය සියැසින්ම දැක ගත හැකි වනු ඇත.

තේජා ගොඩකන්දෙආරච්චි