විදේශ ගත ශ‍්‍රමිකයින්ටත් අපමණ අගයක් …2017 අයවැයෙන් මිලියන 342ක්ම කපා දාලා …

1

විදේශ ගත ශ‍්‍රමිකයින්ගේ අවම වැටුප් තීරණය කිරීම රාජ්‍යතාන්ත‍්‍රික කටයුත්තක් බවත් එහි වගකීම ආණ්ඩුව සතු බව එතෙර අපි සංවිධානයේ භාණ්ඩාගාරික නීතීඥ ජානක අධිකාරි පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සදහන් කළේ,

“සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග කලාපය තුළ ලාංකික ශ‍්‍රමිකයින් බරපතළ සූරාකෑමකට සහ ජීවිත අවදානමකට ලක්වන බවට අපට දිනපතා වාර්තා ලැබෙනවා. අපට තොරතුරු ලැබෙන්නේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම රටවල අපේ තානාපති කාර්යාලවලින් සිදුවන මැදිහත්වීම ප‍්‍රමාණවත් නොවන බවයි. සෞදිය වැනි තැනක පොලීසිය විසින් පවා පවසා ඇත්තේ තානාපති කාර්යාලවල නිසි මැදිහත්වීමක් ඇත්නම් තත්වය මේ තරම් දුරදිග නොයන බවයි.”

“උසස් මට්ටමේ රැකියා සඳහා විදෙස් ගත ශ‍්‍රමිකයෙකුට තමන්ගේ මුළු පවුලම එම රටට ගෙන යාමට හැකියි. එහෙත් ඔවුනට මුළු ජීවිත කාලයම එහි ගත කළ නොහැකියි. එම නිසා ඔවුන් මෙරටට පැමිණිවිට ඔවුන්ගේ පාසල් යන වයසේ දරුවන්ගේ බරපතළ ගැටලූකාරී තත්වයකට මුහුණ දෙනවා. ඔවුන්ට පාසලක් ලබාගැනීමට නොහැකි වී තිබෙනවා. එම නිසා විදේශයෙන් උපයන ලද මුදල් නිකරුනේ වැය කරමින් පෞද්ගලික පාසල්වලට තම දරුවන් ඇතුලත් කිරීමට ඔවුනට සිදුවී තිබෙනවා.”

“මේ ගැටලූවලට ආණ්ඩුව විසඳුම් ලබාදිය යුතුයි. මෙවැනි කරුණු සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ති අයවැය තුළ සකස් විය යුතුයැයි අපි විශ්වාස කරනවා. විදෙස් ගත ශ‍්‍රමිකයින් කියන්නේ මෙරට රැකියා වෙළඳපොළට එකතු නොවී රැකියා අර්බුදයට විසඳුම් සොයාගත් පිරිසක්. 2014 වසරේ ලක්ෂ 3කට වඩා විදෙස් ගත වී තිබෙනවා. එය වසරකට රැකියා වෙළපොළට එකතු වන ප‍්‍රමාණයටත් වැඩියි. ඔවුන් විදෙස් ගත වී මෙරටට විදේශ විනිමය එවනවා. ඒ නිසා ආණ්ඩුවට මේ ගැටලූවලින් පලා යා නොහැකියි.”

“මැදපෙරදිග රටවලට රැකියා සඳහා ඇතුල්වන්නන්ට ලියාපදිංචි වීමේ ගාස්තුවක් ගන්නවා. දැන් ඒ ගාස්තුව වැඩිකර තිබෙනවා. දහතුන් දහසකට ආසන්න මුදලක සිට වැට්, ජාතිය ගොඩනැගීමේ බදු එකතු කර දහහත්දහසකට වඩා වැඩි මුදලකට වැඩි කර තිබෙනවා. වසර දෙකකට වරක් රැකියාවක් සඳහා යන්නේනම් මෙම ගාස්තුව ගෙවිය යුතු වෙනවා. මෙ කලින් ගුවන්තොටුපළට ගෙවිය හැකි වූවා. නමුත් එහි විදේශ සේවා කාර්යංශ කාර්යාලයේ දුෂණ ඇති වූ බව කියමින් එය කාර්යංශයේ කාර්යාලයකට ගෙවිය යුතු බව කියනවා. රැකියාවට විදෙස් ගතවීමට ගුවන්තොටුපළට ගිය අයෙකුට කාර්යංශයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ගාස්තුව ගෙවා එන ලෙස දැනුම් දෙනවා. දෙවන වරට විදෙස් ගත වන අයත් මෙය ගෙවිය යුතු දැයි ශ‍්‍රමිකයින් දැන ගන්නේ ගුවන්තොටුවලට ගිය විටයි. ඔවුන් දැඩි අපහසුතාවයකට මුහුණ දෙනවා. අපි යෝජනා කරන්නේ දෙවන වරට විදෙස් ගතවන්නන්ට මෙම මුදල අයකිරීම අහෝසි කරන්න කියලයි. නැතහොත් අවම වශයෙන් ඔවුනට එය ගෙවීමේ පහසුකම්වත් ඇති කරන්න.”

“විදේශ ගත ශ‍්‍රමිකයින්ගේ අවම වැටුප් තීරණය කිරීම රාජ්‍යතාන්ත‍්‍රික කටයුත්තක්. එහි වගකීම ආණ්ඩුව සතුයි. දැනට අවම වැටුප තීරණය කර ඇති තැන්වල එය ඉතාම අඩුයි. මසකට රියාල් 800ක් වැනි එනම් රු. 25,000ක් වැනි අගයක්. රැකියා ඒජන්සිකරුවා සමග අත්සන් කරන ගිවිසුමෙන් පලක් නැහැ. ඒ වැටුප් ශ‍්‍රමිකයින්ට ලැබෙන්නේ නැහැ. පිලිපීනය වැනි රටක් අවම වැටුප රියාල් 1500ක් බවට ගිවිසුම් අත්සන් තබා තිබෙනවා.”
“අපේ ශ‍්‍රමිකයින්ට පුහුණුව නැති බව කියමින් වැටුප් අඩුකරනවානම් ආණ්ඩුව පුහුණුව සඳහා ප‍්‍රතිපාදන වැඩි කළ යුතුයි. ශ‍්‍රමිකයින්ගේ ගුණාත්මකභාවය වැඩි කළ යුතුයි. එසේ තිබියෙදී ආණ්ඩුව ප‍්‍රතිපාදන කප්පාදු කිරීම අසාධාරණයි. විදේශ රැකියා වෙනුවෙන් 2016 වසර වෙනුවෙන් රු.මිලියන 1037ක් වෙන්කර තිබුණා.

ඒත් 2017 වෙනුවෙන් රු. මිලියන 695ට අඩු කර තිබෙනවා. විදේශ විනිමය උපයා දෙන ශ‍්‍රමිකයින් වෙනුවෙන් වෙන් කළ මුදල මිලියන 342කින් ප‍්‍රතිපාදන කප්පාදු කරලා.”
විදේශ ගත ශ‍්‍රමිකයින්ටත් අපමණ අගයක් …2017 අයවැයෙන් මිලියන 342ක්ම කපා දාලා …