Home / ප‍්‍රාදේශිය / ශ්‍රීපාද වන්දනා කරුවන්ට සුරක්ෂිත ආහාර නැත්නම් වැඩ වරදි
admaspeek_lna

ශ්‍රීපාද වන්දනා කරුවන්ට සුරක්ෂිත ආහාර නැත්නම් වැඩ වරදි


තමන් ලබා දෙන උපදෙස් නිසි අයුරින් පිළිපිදිමින් ශ්‍රීපාද වන්දනා කරුවන්ට ඉතා සුරක්ෂිත ආකාරයෙන් ආහාර සැපයීම සිදු නොකළහොත්, උපදෙස් උල්ලංඝණය කරන වෙළෙන්දන්ට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග වටලීම් සිදුකර නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව නුවරඑළිය දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක සරත් ජයතුංග මහතා පැවසිය.

මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමට ප්‍රථම නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ හා මාවුස්සාකැලේ මංසන්ධියේ සිට නල්ලතන්නිය දක්වා ආපන ශාලා, ආහාර නිෂ්පාදන ස්ථාන හා වෙළදසල් පවත්වාගෙන යන වෙළද ප්‍රජාව දැණුම්වත් කරමින් පසුගියදා නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේදී පැවති විශේෂ රැස්වීමකදී සරත් ජයතුංග මහතා එසේ පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරයා මෙසේද කීය.

“ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් වන්දනා කරුවන් පිරිසක් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාදය බලා පැමිණෙනවා. මෙම පිරිසට සෞඛ්‍ය ආරක්ෂිත ලෙස හා සුරක්ෂිත ආකාරයෙන් සියළු ආහාර සැපයීම වෙළද ප්‍රජාව ලෙස ඔබගේ අනිවාර්ය යුතුකමක් හා වගකීමක්. ඒ සම්බන්ධව සොයා බැලීම හා ක්‍රියාත්මකවීම රජයේ නිලධාරීන් ලෙස අපේ වගකීම. මෙය වෙළද ප්‍රජාව බිය කිරීමට කරන දෙයක් නොවෙයි. ඔබගේ සේවාව ඉතා යහපත් ලෙස පවත්වාගෙනයාමේ අරමුණිනුයි මෙය සිදු කරන්නේ.ආහාර සුරක්ෂිත ස්ථානවල වටපිටාව, ආහාර පිළියෙල කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම හා පිටතින් ගන්නා ආහාරවල ගුණාත්මකභාවය පිළිබදව මෙහිදී අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. අහාර ගබඩා කිරීමේදී මොන, මොන ආහාර කුමන ක්‍රමයට ගබඩා කරනවාද කියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මූලික උපදෙස් ලබා දෙනවා. උපදෙස් අනුව කටයුතු නොකරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අයිතිය අපට තිබෙනවා. නීතියක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ බැතිමතුන්ට අසාධාරණයක් වන අයුරින් සෞඛ්‍ය ආරක්ෂිත නොවන ලෙසවෙළද ප්‍රජාවකටයුතුකළහොත් පමණයි. මෙය වෙළෙන්දන් බිය කිරීමට හෝනීතිය පෙන්වීමටවත්සිදුකරන ක්‍රියාවක් නොවෙයි.”

“ශ්‍රීපාද බැතිමතුන්ට  කරන වෙළදාම බැති සිතින් කළ යුතුයි. මුදල් ඉපයීමේ කලාව දක්වා ගමන් කරනවා. සමහර වෙලාවට බැතිමතුන්ට සපයන ආහාරයට නියමිත මිළට වඩා වැඩි මුදලක් අයකරනවා. එසේ නොකළ යුතුයි.ඒවා වැටලීමට වෙනත් නිලධාරීන් සිටිනවා. සෑම දෙයක්ම සාධාරණ විය යුතුයි. පසුගිය වන්දනා සමයේදී මට මතකයි යෝගට් විශාල ප්‍රමාණයක් අපි විනාශ කළා. අපි කැමති නෑ මේ රටේ ආහාර විනාශ කරන්න. කිරි හට්ටි, යෝගට් වැනි දේවල් නියම ලෙස ඇසුරුම් කිරීම හා ප්‍රවාහනය කළ යුතුයි. බැතිමතුන් සදහා මෙම ආහාර ද්‍රව්‍ය නිකුත් කිරීමෙන් බෝවන ලෙඩ රෝග, උදරාබාධ දේවල් වැළදෙනවානම් අපට ප්‍රශ්නයක්. ලේබල්කර එන ආහාර ද්‍රව්‍යවල දෝෂ විශාල ලෙස තිබෙනවා. ලේබල් පැහැදිළි නෑ. විකුණා ගැනීමට බැරි ආහාර, බීම වර්ග මෙහෙට ගෙන එනවා. උත්සව කාලය තමයි ප්‍රමිතියෙන් අඩු ආහාර සහ භාණ්ඩ විකිණීමට හැකි කාලය. ශ්‍රීපාද සමයත් එසේමයි. ඒ පිළිබදව දැඩි ලෙස විමසිල්ලෙන් සිටිය යුතුයි. ආහාර නිෂ්පාදනය කරන හා ගබඩා කරන ස්ථාන අවට ඉතා පිරිසිදු ලෙස තබාගත යුතුයි. ඒ වගේම ආපනශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථානවල පිහිටි වැසිකිළි පිරිසිදුව තිබිය යුතුයි. මුළුතැන් ගෙවල් නුසුදුසු ස්ථානවල බොහෝ පිරිස් පවත්වාගෙන යනවා. ඒවායින් රෝග බෝවීමේ අවධානම වැඩියි. කෙටිකෑම පිළියෙල කරන්න ඕන ස්ථානයේ බත් උයනවා. මෙවර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් කණ්ඩායම් වශයෙන් නිරන්තර සොයාබැලීම් කරනවා. ආහාර නිෂ්පාදන කටයුතු සදහා රෝගී පුද්ගලයන්යොදා ගන්න එපා. දුම් පානය කරමින් වඩේ, එළවළු රොටී වැනි ආහාර වර්ග නිෂ්පාදනය කරන අවස්ථා අපට දැක ගන්න ලැබෙනවා. මේ සම්බන්ධව වෙළදසල් හිමියන් වඩා සැළකිලිමත් විය යුතුයි.”

නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.එන්.ගාමිණී පෙරේරා මහතා මෙහිදී දීර්ඝ දේශනයක් පවත්වමින් වෙළද ප්‍රජාවට දන්වා සිටියේ,  අප ආයතනයට පැමිණෙන වැදගත්ම පුද්ගලයා පාරිභෝගිකයා බවත් ඒ බැව් ප්‍රකාශ කළේ 1890 දී මහත්මාගාන්ධි  තුමා බවත්ය.  ශ්‍රීපාද වන්දනා සමයේදී නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් පමණක් සති දෙකකට ශ්‍රීපාසය බලා ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙන බවත්, ව්‍යාපාරයකට වඩා සේවාවක් සැපයීම යන හැගීමෙන් බැතිමතුන් සදහා අවශ්‍ය ආහාර වර්ග  ලබාදියයුතු බවත් කීය. පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු දිරා නොයන අපද්‍රව්‍ය පරිහරණය හා විකිණීම මෙවර සපුරා තහනම් කර ඇති බව පවසන දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, මෙවර තාවකාලික වෙළදසල් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයන්ගෙන් අඔගමුව ප්‍රාදේශිය සභාව තැන්පත් මුදලක් ලබාගැනීම සිදු කරන්නේ, වන්දනාවාරය නිම වීමෙන් පසුව, තමන් මාස 06 ක කාලයක් වෙළදාමේ යෙදුන ස්ථානය වගේම පරිසරය නිසිලෙස පවිත්‍රකර,ශ්‍රීපාද රක්ෂිතය ආරක්ෂා වන අයුරින් බොහෝ ව්‍යාපාරිකයන්  පිරිසක්  කටයුතු නොකරන නිසාය. අදාළ ස්ථාන නිසිලෙස පවිත්‍රකර ජාතික උරුමයක් වන ශ්‍රීපාද රක්ෂිතය ආරක්ෂාවන අයුරින් සෞඛ්‍ය ආරක්ෂිත ලෙස වෙළදාම් කටයුතුවල නිරතවන ලෙසද දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා මහතා වැඩිදුරටත් ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් මත මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් සංවිධානය කර තිබූ මෙම විශේෂ රැස්වීමට අඹගමුව ප්‍රාදේශිය මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ආර්.විජේවීර මහතා ඇතුළු මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා මාවුස්සාකැලේ, රිකාටන්, නල්ලතන්නිය යන ප්‍රදේශවල වෙළද ව්‍යාපාරිකයන් රැසක් සහභාගී වූහ.

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

නුවරඑළිය දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක සරත් ජයතුංග හා දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා යන මහත්වරුන් වෙළද ප්‍රජාව දැණුම්වත් කළ අයුරු හා රැස්වීමට සහභාගීවූ වෙළද ප්‍රජාවගෙන් කොටසක්.

dsc09465 dsc09467 dsc09471

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

srilankaair_lne

ශ්‍රී ලංකා ගුවන් සේවය අවසන් ගමන් දෙකක් යයි

රජය විසින් මිහින් ලංකා ගුවන් සමාගමේ සේවා කටයුතු අත්හිටුවිමට පියවර ගැනීමත් සමග මිහින් ලංකා ගුවන් ...

One comment