Home / සංවාද / ශ්‍රිලනිප කෑවේ අපි නෙමේ කැසිනෝ ලක්ෂ්මන් යාපලා …පොදු ජන පෙරමුණ විවේචනය කරන උනුත් ඉදිරියේදී අපි එක්ක එකතු වේවි !

ශ්‍රිලනිප කෑවේ අපි නෙමේ කැසිනෝ ලක්ෂ්මන් යාපලා …පොදු ජන පෙරමුණ විවේචනය කරන උනුත් ඉදිරියේදී අපි එක්ක එකතු වේවි !

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන වේදිකාවේ දැඩි කතා බහකට ලක්වී තිබෙනවා .එම පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා භාර ගනීද ? බැසිල් රාජපක්ෂ විදෙස් ගත වුවහොත් පක්ෂය අවසන් වන බවට දේශපාලන නියෝජිතයින් අදහස් පල කිරීම සම්බන්ධයෙන් සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් අප , එහි පාලක ලේකම් රේණුක පෙරේරාගෙන් විමසීමක් කාලා .

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි වැඩ පිළිවෙල ගැන කතා කළොත් ?

ඉදිරියේදී අපි පක්ෂයට ,සමාජිකයන් දස ලක්ෂයක් බදවා ගැනීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. අවම වශයෙන් ග්‍රාම සේවා වසම් 12,000 ක අපි මේ වැඩ පිළිවෙල ආරම්භ කරනවා. අපි 2017 දී ශාඛා සංවිධාන 12,000 ක් පිහිටුවීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා.ඉතාම සාර්ථකව ඒ සදහා අවශ්‍ය මූලික දත්තයන් ග්‍රාමිය මට්ටමින් තොරතුරු මේ වන විට අපිට ලබා දෙමින් තියෙනවා . ඒ නිසා ස්ථිර වශයෙන්ම ලක්ෂ 10 යේ ඉලක්කයට අපි සමාජිකයන් බදවා ගැනීම ආරම්භ කරනවා .

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙනවාද ?

අනිවාර්යෙන්ම අපි තරග කරනවා . මේ රජයට එරෙහිව ඉන්න පක්ෂ සහ සියළු බලවේග එකට එකතු කර ගෙන , අපි ඒ මැතිවරණය ජයග්‍රහණය කරනවා .

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට මහින්ද රාජපක්ෂ නායකත්වය ලබා දෙනවාද ?

අනිවාර්යෙන්ම එතුමා මේකට නායකත්වය ලබා දෙනවා . ඒක අපි නිල වශයෙන් අවශ්‍ය මොහොතේදී දැනුම් දෙනවා .විශේෂයෙන්ම ඒ සමගම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු , එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇතැම් මන්ත්‍රිවරු මේ සදහා එක් වීමට මේ වන විට සාකච්ඡා කරලා තියෙනවා .ඒ අනුව සමාජික කාඩ් පත් මුල් අංක 97 ක් ඒ සදහා ඒ මන්ත්‍රිවරුන්ට ලබා දිලා තියෙනවා .

ශ්‍රිලනිප වගේම එක්සත් ජාතික පක්ෂ ප්‍රබල චරිත ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ හා එක් වනවා කියන කාරණය පක්ෂ දෙකේම ඉන්න ප්‍රබලයන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස ?

ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්නේ ? අද එක්සත් ජාතික පක්ෂයටත් වෙලා තියෙන්නේ ශ්‍රිලනිප අයට වෙච්ච දේම තමා . නායකත්වය වීසින් අතළොස්සක් සමග ආණ්ඩු කරනවා .ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් දැඩි කලකිරීමකින් යුක්තව , මේ වකවානුව වෙන විට ඉන්නේ . තීරණාත්මක මොහොතකදී මේ සියළු දෙනා ඉදිරියට ඒවි .එතකන් බලා ඉන්න .

තීරණාත්මක අවස්ථාව ඉදිරි මැතිවරණයද ?

නෑ මැතිවරණයක් නෙමේ .ඊට වඩා වැදගත් තැන් තියනවා .එකක් තමා මේ රට විනාස කිරීමට මේ ආණ්ඩුව ගේන්න හදන ව්‍යවස්ථාව .ඒක පරාජය කරනවා අපි . ජනමත විචාරණයක් පවත්වන්න මේ අය සූදානම් වෙනවා . අපි මේ ව්‍යවස්ථාව ගෙනල්ලා රට විනාශ කරන්න ඉඩ දෙන්නේ නෑ .

ශ්‍රිලනිප දෙකඩ කරන්න , ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ඇති කලා කියලයි ශ්‍රිලනිප ප්‍රබලයන් චෝදනා කරන්නේ ?බැසිල් රාජපක්ෂ මහත්තයා ඇමරිකාවට ගියාම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අවසන් කියලා ඔවුන් ප්‍රකාශ කරනවා ?

බැසිල් රාජපක්ෂ කියන්නේ මේ පක්ෂයේ එක්කෙනෙක් විතරයි . නායකයා මහින්ද රාජපක්ෂ . ඒ නිසා ඔය ප්‍රබලයන්ට කියන්න තියෙන්නේ මේ රටේ මිනිස්සු දන්නවා මහින්ද මහත්තයා කියන්නේ කවුද කියලා .ඒ නිසා මහින්ද මහත්තයා මෙතන ඉන්නකම් මේ පක්ෂය විනාශ කරන්න කාටවත්ම බෑ.ඔය වැඩියෙන්ම කෑ ගහන අයත් ඉදිරියේදී අපිත් එක්ක එකතු වෙයි .

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට ඕන මේ රටේ ආණ්ඩුවක් ලබා ගන්නද ?

අපිට ඕන මේ ආණ්ඩුව මේ රට ගෙන යන විනාශකාරි වැඩපිළිවෙල නතර කරන්න . මේ රටේ දරුවෝ වෙනුවෙන් යහපත් අනාගතයක් ගොඩ නගන්න . සංවර්ධිත රටක් ගොඩ නගන්න . මේ රටේ , අනාගතය සුභවාදි කරන්නයි අපට ඕන .

ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිතුමා කියනවා ” අලුතින් පක්ෂ හදන්න එන අය ටික කාලයක් කෑ ගහයි දගලයි, බණ්ඩාරණායක කාලයහි සාධක තිබුන නිසා අලුතින් පක්ෂ නිර්මාණය කලා,එත් අද සාදක නෑ.පක්ෂයක් කියන්නේ අපිට ධර්මයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදහන අපි එයට ගරුකරණවා අපි නිඝන්ටයන්ගේ බණ ඇසීමට පෙළඹෙන්නේ නෑ” කියලා ? මේ ඔබතුමාලට නේද එතුමා ඇගිල්ල දික් කරන්නේ ?

ඔය නිඝණ්ටයෝ තමා පක්ෂය විනාශ කලේ . පසුගිය ආණ්ඩුව මේ රටේ පිරිහීමට පත් කරන්න ඔය කැසිනෝ ලක්ෂ්මන් තමා ප්‍රධාන පෙරමුණ ගත් පුද්ගලයා .ඒ නිසා කැසිනෝ කාරයෝ මෛත්‍රිපාල මහත්තයාවත් විනාශ කරයි නුදුරේදීම . ඒ විනාශ කරලා ඔය කැසිනෝ ලක්ෂ්මන් රනිල් ගාවට යන දවස වැඩි ඈතක නෑ .එතකන් අපි බලා ඉන්නවා .හැබැයි අද ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ විවේචනය කරන සරත් අමුණුගමලා ,ජෝන් සෙනෙවිරත්නලා ඉස්සරාහට අපි එක්ක එකතු වෙයි .

Check Also

සජිත්ට විතරක් නොවේ මගේ තනතුරත් නැතිවෙන්න පුලුවන්

ජනවාරි 08 වැනිදා පාලන වෙනස සිදුවී ලබන සතියේ දී අවුරුද්දක කාලයක් ගත පිරෙනවා. ඒ ගෙවුණු ...