Home / Featured / ත්‍රිකුණාමලය තෙල් ටැංකි ,කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපොල, ඇතුළු ආයතන 30 ක් විකුණා දමන්න යයි …වහාම මල්වතු , අස්ගිරි මහා නායක හිමිවරුන් මැදිහත් වෙති!
sri-lanka_lna_04_01_2016

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ,කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපොල, ඇතුළු ආයතන 30 ක් විකුණා දමන්න යයි …වහාම මල්වතු , අස්ගිරි මහා නායක හිමිවරුන් මැදිහත් වෙති!


රටක් සමග ගිවිසුම් ගතවීමේදී අඩංගු කරුණු මොනවාදැයි හෙළි කිරීමේ කිසිදු වරදක් නැතැයි මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි මහා නායක හිමිපාණන් වහන්සේ පැවසූහ.

වෙනත් රටක් සමග ගිවිසුම් අත්සන් කිරීමේ දී වාසි හා අවාසි සිදුවිය හැකි බැවින් ගිවිසුම් අත්සන් කිරීමට පෙර එහි ඇති කරුණු මොනවාදැයි නිවරැදිව ‍තේරුම් ගෙන අවශ්‍ය පරිදි සංශෝධනය කර ගැනීම වඩා සුදුසුවන බව උන්වහන්සේ සදහන් කළහ.

හම්බන්තොට වරයා හා හම්බන්තොටින් ඉඩම් අක්කර පහළොස්දහසක් චීන සමාගමකට බදුදීමට රජය සූදානම්වීම නිසා රටට සිදුවන අවාසිදායක තත්ත්වය පැහැදිලි කිරීම සදහා ජාතික සම්පත් සුරැකීමේ සංවිධානයේ නියෝජිත පිරිසක් ඊයේ (03) පස්වරුවේ මල්වතු හා අස්ගිරි පාරිශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කරුණු පැහැදිලි ‍කළෝය.
එම සංවිධානය වෙනුවෙන් මහා සංඝරත්නය ද හිටපු කථානායක චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇතුලු මහජන නියෝජිත පිරිසක් සහභාගීවිය.

මහනුවරට පැමිණි එම නියෝජිත පිරිස මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ සහ ශ්‍රි දළදා මාලිගාවේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැදැක කරුණු ඉදිරිපත් කළහ.

හිටපු කථානායක චමල් රාජපක්ෂ ඒ පිළිබද පැහැදිලි කරමින්, චීනයේ සමාගමකට හම්බන්තොට වරාය හා එම ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 15 000ක් අනූනම අවුරුද්දට බදුදීමට සූදානම් වන බවත් එහිවූ ගිවිසුම තවත් පැය 72ක් ඇතුළත අත්සන් කිරීමට නියමිත යැයි කීවේය. මේ ගිවිසුම ඉතා රහසිගතව සිදුවන්නක් බැවින් ඉන් ශ්‍රි ලංකාවට සිදුවන වාසි හා අවාසි මොනවාදැයි පැහැදිලි ව අවබෝධ කර ගත නොහැකි යැයි කීවේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය නියෝජනය කරන මහජන නියෝජිතයෙකු වශයෙන් තමන් මේ පිළබදව අවබොධවත් විය යුතු වුවත් එම ගිවිසුමේ කිසිදු කරුණක් හෙළි කිරීමට ඔවුන් ඉදිරිපත් නොවීම සැක සහිත යැයි කී හිටපු කථානායකවරයා මෙසේ ද කීවේය.

ඉඩම් කල්බදු මත ලබාදීමේදී හම්බන්තොට පමණක් නොව අම්පාර වැනි සෙසු ප්‍රදේශවලින්ද ලබාදීමට රජය සැලසුම් කර තිබෙනවා. කෙටි කාලීන වශයෙන් ශ්‍රි ලංකාවට ආදායමක් ලැබුනත් දීර්ඝ කාලීන වශයෙන් අපට අවාසිදායක තත්ත්වයන් සිදුවිය හැකියි. වරාය අධිකාරී පනතට අනුව වරාය මෙලෙස අනූනම අවුරුද්දට බදු දිය නොහැකියි. ඒ නිසයි ඔවුන් රහස්‍ය ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ. හිටපු ජනපතිනියගේ පාලන සමයේදී කොළඹ වරායේ එළීසබත් පර්යන්තය බදු ලබාදීමක් කළා. ඒ ගිවිසුම ඉතා පැහැදිලියි. වර්ෂයෙන් වර්ෂයට ශ්‍රි ලංකාවට බදු ආදායම් ලැබුණා. නමුත් මෙහි ආදායම් ලැබෙන්නේ වර්ෂිකව ද නැත්නම් අවුරුදු 99ටම එක්වරක් ද යන්නවත් පැහැදිලි නැහැ. ඒ වගේම අවුරුදු 99න් පසු යළිත් තවත් අවුරුදු 99ක් එම සමාගාමට වරයා බදු ලබාදෙන බවටත් සැලසුමක් තිබෙනවා.

වර්ෂ 2014දී ශ්‍රි ලංකා වරයා අධිකාරිය, චයිනා හාබර් සමාගම හා තවත් සමාගමක් එක්ව ගිවිසුමක් අත්සන් කොට තිබෙනවා. වත්මන් රජය සිදු කළ යුත්තේ ඒ ගිවිසුමේ අවාසිදායක තත්ත්වයන් තිබේ නම් ශ්‍රි ලංකාවට වාසි වන අයුරින් එම ගිවිසුම සංශෝධනය කර ගැනීමයි. එම ගිවිසුම අනුව සියයට 35ක් ශ්‍රි ලංකා රජයට ලැබෙන අතර 65%ක් චීන සමාගමට ලැබෙනවා. නමුත් ඉදිරියේදී අත්සන් කිරීමට යෝජිත රහස් ගිවිසුම නිසා 80%ක් ප්‍රතිලාභ චීන සමාගමට ලැබෙනවා.

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

මෙම මස 07 වන දින මෙම ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වන බව දැනගන්නට ලැබී තිබෙනවා. නමුත් මේ ගිවිසුමේ අඩංගු ‍කොන්දේසි මොනවාදැයි කවුරුත් දන්නේ නැහැ. සියයට විස්සක් අණ්ඩුවට සියයට අසූවක් චීනයට කියලා තමයි මුලින් ම දැන ගැනීමට ලැබුණේ. නමුත් මේ වන විට එහි සැබෑ තත්ත්වය කවුරුත් අවබෝධ වී නැහැ.

එපමණක් නොවෙයි මේ වන විට ලාභ ලබන රජයේ ආයතන රැසක් විදෙස් සමාගම් වෙත ලබාදීමට රජය සැලසුම් කර තිබෙනවා. පසුගිය වර්ෂයේදී රුපියල් මිලියන 780ක් ලාභ ලැබූ ලංකා හොස්පිටල් ආයතනය විදෙස් සමාගමකට ලබාදීමට රජය සැලසුම් කර තිබෙනවා. රට පුරා තිබෙන ආර්ථික වශයෙන් වටිනා ස්ථාන හා ආයතන චීනය, ඇමරිකාව, ඉන්දියාව, මැලේසියාව වැනි රටවලට බදුදීමට රජය සූදානම්.

චීනය හා තායිලන්තය හරහා ක්‍රා නමින් නැව් ගමන් කළ හැකි නව ඇල මාර්ගයක් ඉදිවෙමින් තිබෙනවා. ඒ අනුව සිංගප්පූරුව, කොරියාව, ජපානය වැනි රටවලට ගමන් කිරීමේදී මෙම නව ඇල මාර්ගය භාවිතා වන අතර මේ නිසා නැව්වලට කිලෝමීටර් දහසක පමණ වාසියක් සිදුවෙනවා. එම ඇල මාර්ගයට ඇති සමීපතම වරාය වන්නේ හම්බන්තොට වරායයි. ඒ අනුව එහි දුර කිලෝමීටර් 15යි. එවිට ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන සියලුම නැව් සිය අවශ්‍යතා වෙනුවෙන් සේන්දු වන්නේ හම්බන්තොට වරායටයි. එවිට හම්බන්තොට වරයා ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් වරායක් බවට පත්වන අතර එහි මෙහෙයුම් කටයුතු සිදුකරන චීන සමාගමට අතිවිශාල ලාභයක් ලැබෙන බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් කීවේය.

වත්මන් රජය විසින් විදේශීය සමාගම් සදහා බදුදීමට සැලසුම් කර ඇති රජයේ ආයතන රැසක නාම ලේඛනයක් හිටපු අමාත්‍ය සී.බී.රත්නායක විසින් මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ වෙත භාර දෙන ලදි. ඒ අනුව මාගම්පර වරාය, මත්තල ගුවන් තොටුපොල, හම්බන්තොට ලුණු ලේවාය, රන්මිණිතැන්න ටෙලි ගම්මානය, හම්බන්‍‍තොටින් අක්කර 15 000ක්, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, ත්‍රිකුණාමලය වරායේ තෙල් ටැංකි,ත්‍රිකුණාමලය වරයා, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපොල, ශ්‍රි ලංකා දුම්රිය, ශ්‍රි ලංකන් ගුවන් සමාගම, ලංකා හොස්පිටල් ආයතනය, හිල්ටන් හෝටලය, කහටගහ පතල, වැවිලි සමාගම, පැලවත්ත සීනි සමාගම ඇතුලු ආයතන තිහකට අධීක රජයේ ආයතන ලේඛනයකින් එම ලියවිල්ල සමන්විත විය.

ජාතික සම්පත් සුරැකීමේ සංවිධානයේ නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණ සාවධානව අසාසිටි මහා නායක හිමිපාණන් වහන්සේලා කියා සිටියේ රටට අහිතකර ගිවිසුමක් අත්සන් කරන්නේ නම් ඒ පිළිබදව විමසිලිමත් විය යුතු බවත් රටට අහිතකර වන කරුණු ඉවත් ‍කිරීම සුදුසු වන බවයි.

මෙම අවස්ථාව සදහා සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමි, වෙහෙරහේන රජමහා විහාරාධිපති පූජ්‍ය කෑගල්ලේ රතනසාර හිමි, කසාගල රජමහා විහාරාධිපති පූජ්‍ය තලංපෝරුවේ ඉන්ද්රපසිරි සුමන හිමි, ගැටමාන්න රජමහා විහාරාධිපති පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද හිමි, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් ඉත්තදෙමළියේ පඤ්ඤාරතන හිමිපණන් වහන්සේ ද මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්වත්ත , මහනුවර හිටපු පුරපති මහේන්ද්‍ර රත්වත්ත ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

(නදීක දයා බණ්ඩාර – මහනුවර)

chamal-and-asgiri-mana-nayaka-1 chamal-and-malwathu-maha-nayaka-1

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

RAWEE_NEWSALERT_24_01_2016

කදුළු ගෑස්,කුළු පොළු නෑ…ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ විරෝධතාවයට පෙට්‍රල් බෝම්බ අටවතී…අතහිත ඇමති රවීගෙන්

මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ පවුලට අයත් සීදුව ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ සේවකයින් පිරිසක් අන්තරාදායක සේවකයින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *