Home / Featured / මේ ආණ්ඩුව සොක්මන් ඇන්ඞ් සමරවික‍්‍රම ප‍්‍රසිද්ධ වෙන්දේසිකරුවෝ වගේ !
ANURA-KUMARA_LNA_12_01_2016

මේ ආණ්ඩුව සොක්මන් ඇන්ඞ් සමරවික‍්‍රම ප‍්‍රසිද්ධ වෙන්දේසිකරුවෝ වගේ !


මේ ආණ්ඩුව සොක්මන් ඇන්ඞ් සමරවික‍්‍රම ප‍්‍රසිද්ධ වෙන්දේසිකරුවෝ වගේ හැසිරෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි . පසුගියදා පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .

එහිදි මන්ත්‍රිවරයා සිදු කල සම්පූර්ණ කතාව ,

අද අපි අම්බලන්තොට නගරයට පෙළපාලියකින් ඇවිත් කිව්වේ හම්බන්තොට වරාය විකුණන එක නවත්තපන්, ජනතාවගේ ඉඩම් චීනට පවරන එක නතර කරපන් කියලා. අපි සහතික කරනවා මේවා විකිණීමට ඉඩ දෙන්නේ නැහැ කියලා. ජේ.ආර්.ගේ ආණ්ඩුව කළා වගේම, චන්ද්‍රිකාගේ ආණ්ඩුව කළා වගේම, රාජපක්ෂ ආණ්ඩුව කළා වගේම, මේ ආණ්ඩුවත් තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිය බවට පත්කරගෙන තිබෙන්නේ අපේ රටේ දේපොළ සම්පත් විකුණන එකයි. මේ වනවිට ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණන්න පිඹුරුපත් සකස් කරලා. හම්බන්තොට මොණරාගල ජනතාවගේ ඉඩම් අක්කර 15000ක් විකුණන්න සැලසුම් සකස් කරලා. කොළඹ වරාය නැගෙනහිර ජැටිය, ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි, කහටගහ මිනිරන් පතල, පුල්මුඬේ ඛනිජවැලි සම්පත, හම්බන්තොට ලූණු ලේවා විකුණන්න සැලසුම් කරලා. එයාර් ලංකා ගුවන් සමාගම, හිල්ටන් හෝටලය පවා විකුණන්න සැලසුම් සකස් කරලා. හරියට මේ ආණ්ඩුව සොක්මන් ඇන්ඞ් සමරවික‍්‍රම ප‍්‍රසිද්ධ වෙන්දේසිකරුවෝ වගේ. සිරිසේන ඇන්ඞ් වික‍්‍රමසිංහ ප‍්‍රසිද්ධ දේපොළ වෙන්දේසිකරුවෝ. මේ විකුණන්න හදන්නේ අපේ රටේ ජනතාවගේ දේපොළ. ස්වභාවික සම්පත් අපි ඉපදෙනකොට අපිට අයිති වෙලා තිබුණා. අපි මියයන විට විදේශිකයින්ට අයිති වන තත්වයක් උදාකරලා තිබෙනවා. ඒ නිසා අපි මේ දේපොළ විකිණීම පරාජයට පත්කිරීම සඳහා සටන් කළ යුතුයි, පෙළගැසිය යුතුයි.

 
රැකී රක්ෂා හදන්න, ආර්ථිකය හදන්න විකුණනවා කියලා මේ අය කියනවා. පට්ටපල් බොරුවක්. මේ විකුණන්නේ පළමු වතාවට නෙවෙයි. මීට පෙර මත්තේගොඩ, තුල්හිරිය, පූගොඩ රෙදි ජනපද වික්කා. කම්හල් බැංකුවලට උකස් තියලා ගත්ත සුද්දෝ රටිනුත් පැනලා ගියා. අද අපි අඳින ඇඳුම් සියල්ල ගෙන්වන්නේ පිටරටින්. කඩදාසි කම්හල් වික්කා. චන්ද්‍රිකා ආණ්ඩුව වහසි බස් දෙඩුවා කම්හල් නවීකරණය වෙනවා රැුකී රක්ෂා බිහිවෙනවා කියලා. ඇඹිලිපිටියේ වාලච්චේනේ කඩදාසි කම්හල් වික්කා. ගත්ත සුද්දෝ යන්ත‍්‍ර සූත‍්‍ර යකඩවලට විකුණලා ඉඩම් බැංකුවට උකස් තියලා පැනලා ගියා. අද කඩාදාසි සියල්ල පිටරයින් ගෙන්වනවා. අපේ රටේ නැගීගෙන ආපු සීනි කර්මාන්තයක් තිබුණා. කන්තලේ සිනි කම්හල අක්කර 23000ක්. ගොවිපවුල් 10000ක් ජීවත් වුණා. ඒකත් වික්කා. ගත්ත සුද්දා රටින් පැනලා ගියා. අද 95%ක් පිටරටින් සීනි ගේනවා. කිරිපිටි කම්හල් ටික වික්කා. පොළොන්නරුව වැලිසර අඹේවෙල ගොවිපළ වික්කා. කොහෙන්ද රටේ කිරි නිෂ්පාදනයක් ඇති වුනේ. අද 77%ක් පිටරටින් ගෙන්වනවා. ආර්ථිකයට ප‍්‍රතිලාභ නැහැ. ඒ විතරක් නෙවෙයි බීජ ගොවිපළවල් වික්කා. අනුරාධපුර මල්වාන ගොවිපළ, පැල්වැහැර බීජ ගොවිපළ, හිඟුරක්ගොඩ වී බීජ ගොවිපළ වික්කා. අද ගුණාත්මක බීජ තිබෙනවද? රනිල් වික‍්‍රමසිංහලා අනුගමනය කරපු ආර්ථික ප‍්‍රතිපත්තිය දිනෙන් දින අපේ රටට පහළට ඇදලා දැම්මා.

මේ හැම විකිණීමක් පිටුපසම වංචාව දුෂණය පොදු ගැහිලා තිබුණා. උදාහරණයක් හැටියට හිඟුරාන සීනි කම්හල වික්කේ ඒ වෙලාවේ කම්හලේ තිබුණු සීනි තොගයේ වටිනාකමටත් අඩුවෙන්. මේ දියත් වෙමින් තිබෙන්නේ අනුගමනය කරමින් තිබුණු ආර්ථික ප‍්‍රතිපත්තියේ ඉතිරි ටිකයි. පසුගිය ආණ්ඩුව පැලවත්ත සීනි සමාගම අසල අක්කර 1200ක් උල්හිටිය අක්කර 1500ක් සෝමාවතිය අක්කර 5000ක් ඇමරිකානු ඩෝල් සමාගමට වික්කා. අපේ ගොවි ජනතාවට වගාකරන්න ඉඩමක් නැහැ. අලූත් පරම්පරාවට නිවසක් තනාගන්න ඉඩමක් නැහැ. තියෙන ඉඩමට ඔප්පුවක් දෙන්නේ නැහැ. ජනතාවගේ දේපොළවලට එහෙම කරද්දී සෝමාවතිය ළඟින් අක්කර 5000ක් ඩෝල් සමාගමට දුන්නා. අද ඩෝල්කාරයා පැනලා යන්න හදනවා. ඒ විතරක් නෙවෙයි ගෝල්ෆේස් පිට්ටනිය අසල හමුදා රෝහල හමුදා මූලස්ථානය ඉවත් කරලා අක්කර 20ක් සින්නක්කර අයිතියට සැංග‍්‍රිලා එකට වික්කා. ගෝල්ඞ්පේස් වෙරළ තීරයේ අක්කර 600ක් ගොඩ කරලා කොම්පැනිවලට දුන්නා රාජපක්ෂ ආණ්ඩුව කාලේ. කල්පිටිය දුපත් 14න් දුපත් 2ක් සින්නක්කරයට වික්කා. බැසිල් හැදුවේ දුපත් 14ම විකුණන්න. ඒත් බැරිවුණා. මේ ආණ්ඩුව බත්තලංගුණ්ඩුව විකුණන්න යනවා. හම්බන්තොට වරාය විකිණීම හරි හම්බන්තොට ඉඩම් විකිණීම හරි පුල්මුඬේ ඛනිජවලි නිධිය විකුණන එක හරි මේ කිසිවක් ඕපපාතිකව සිදුවෙන දේවල් නෙවෙයි. මේ ආණ්ඩු අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප‍්‍රතිපත්තියේ අවසන් අදියර තමයි මේ ක‍්‍රියාත්මක වෙන්නේ. පළමු අදියර පටන් ගත්තේ කර්මාන්ත ශාලා විකුණලා. ඊටපස්සේ විදුලි බලය, තෙල් සංස්ථාව කොටස් වික්කා. බැංකු පද්ධතිය විකුණන්න සැලසුම් හැදුවා. ඒ අනුව රක්ෂණ සංස්ථාව වික්කා. අවසානෙදි ගොඩනගන ලද යටිතල පහසුකම් සහ ස්වභාවික සම්පත් විකුණනවා. කඩදාසි කම්හල් විකුණනකොට ජනතාව ඒක රටේ ප‍්‍රශ්නයක් ලෙස ගත්තේ නැහැ. කිරිපිටි කම්හල විකුණන කොට හිතුවා ඒක රටේ ප‍්‍රශ්නයක් නෙවෙයි ඒක කම්හලේ වැඩකරන සේවකයගේ ප‍්‍රශ්නයක් කියලා. එහෙත් පියවරෙන් පියවර තල්ලූ වෙලා රටේ යටිතල පහසුකම් ටිකයි ස්වභාවික සම්පත් ටිකයි විකුණන තැනට ඇවිල්ලා.

හම්බන්තොට වරාය හදන්න ඩො.මි.1350ක ණයක් ගත්තා. ඒ කියන්නේ ඩොලර් කෝටි 135යි. විකුණන්න යන්නේ ඩොලර් කෝටි 130කට. ගත්තු ණය විතරද වටිනාකම. වරාය වෙනුවෙන් අක්කර 400ක් යටකරලා තියෙනවා. වරාය ඉදිරි සංවර්ධන කටයුතුවලට අක්කර 1200ක් වෙන්කරලා තියෙනවා. ආණ්ඩුවට අයිති වෙන 20%ට වසර 15ක් යන තෙක් කිසිදු ලාභයක් ලැබෙන්නේ නැහැ. වසර 15ක් යනතෙක් ගත්තු සමාගම කිසිදු බද්දක් ආණ්ඩුවට ගෙවන්නේ නැහැ. වසර 99කට දෙනවා. ඒ විතරක් නෙවෙයි ගිවසුමේ දානවා තවත් වසර 99කට දීර්ඝ කළ හැක කියලා. වසර 198කට අපේ වරායක් සමාගමකට දෙනවා ඩොලර් කෝටි 130කට. ගත්තු ණය ප‍්‍රමාණය විතරක් ඩොලර් කෝටි 135යි. මේ ගනුදෙනුව යට විශාල මුදල් ප‍්‍රමාණයක් යටිමඩි ගැහෙනවා. වරාය ඇමති අර්ජුන රණතුංග උත්සහ කළා මේක චයිනා හාබර් කියන සමාගමට දෙන්න. හැබැයි තෝරාගත්තේ චයිනා මර්චන්ට් එක. කොමිස් එක ලැබෙන්නේ මර්චන්ට් සමාගම ගෙනාපු කෙනාටයි. ඒක නිසයි අර්ජුන මේකට විරුද්ධ. මේ විදියට මහජනතාවගේ කෝටි ප‍්‍රකෝටි ගණනක මුදල් හොරකම් කරනවා, වංචා කරනවා, අවභාවිතයේ යොදවනවා. ඒ නිසා හම්බන්තොට වරාය විකිණීමේ සටන දියත් කරන්න ඕනෑ.
අපේ රට සංවර්ධනයේදී වැදගත්ම සාධකය තමයි අපේ රටේ පිහිටීම. කොළඹ වරාය ලෝකයේ රටවල් අතර 14වෙනි ස්ථානයේ තිබෙනවා. ලෝකයේ හොඳම වරායවල් අතරින් 26වෙනි ස්ථානයේ තියෙනවා. කොළඹ වරායට පහළින් තමයි ඉන්දියානු සියලූ වරායවල් තිබෙන්නේ. අපේ රටේ තිබෙන්නේ කුඩා වෙළෙඳපොළක්. ඒ වගේම බඩුගෙන්වන්නේ, පිටරටට යවන්නේ කුඩා ප‍්‍රමාණයක්. එසේ තිබියදී කොළඹ වරාය ඉහළ ස්ථානයක තිබෙන්නේ කොහොමද? අපේ රටේ පිහිටීම අනුවයි. ඒ වගේම අපේ රට ඉතාම කුඩා රටක්. මේ රටට ලන්දේස් ආවා. පෘතුගීසි ආවා. එවකට බලගතුම රාජ්‍ය නියෝජනය කරපු ඉංග‍්‍රීසින් ආවා. ඒ වගේම අපේ රට ගැන බලවතුන් කතා කරනවා. ඒ වැදගත්කම ඇවිත් තිබෙන්නේ අපෙ රටේ පිහිටීම අනුවයි. වෙළෙඳ කටයුතුවලට යුධ කටයුතුවලට වැදගත්වන පිහිටීමක් අපේ රටට තිබෙනවා. ලෝකයේ ප‍්‍රධාන වරායවල් 26 අතරේ චීන වරායවල් 8ක් තිබෙනවා. එසේ තිබියදී අපේ රටේ වරාය චීනෙට වැදගත් වෙන්නේ ඇයි. පිහිටීම වැදගත් නිසයි.

කොළඹ වරායට මොකද වුනේ. දකුණු කොළඹ ව්‍යාපෘතිය හරහා කොළඹ බහාලූම් විශාල ප‍්‍රමාණයක් දැන් මෙහෙය වෙන්නේ චීන ජැටියයි. ඉදිරියේදී තවත් විශාල ප‍්‍රමාණයක් බහාලූම් මෙහෙයවීම හම්බන්තොට වරායේදී සිදුවීම ආරම්භ වෙනවා. එවිට වරාය සමඟ සම්බන්ධ වෙලා තිබෙන මුළු වෙළෙඳපොලම චීනය විසින් අත්පත් කරගන්නවා. හම්බන්තොට වරාය චීනෙට දෙනවට ඉන්දියාව විරුද්ධ වුනේ නැහැ. මොකද ත‍්‍රිකුණාමල වරාය ඉන්දියාවට ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ වගේම දෙයක් කොළඹ වරාය ව්‍යාපෘතිය සමඟ සිදුවුණා. කොළඹ වරාය ව්‍යාපෘතිය චීනෙට දුන්නා. ඒක වෙනුවෙන් ඉන්දියාවට කොළඹ නැගෙනහිර ජැටිය දෙන්න යනවා. මලික් සමරවික‍්‍රම මේ බව පැහැදිලිව කිව්වා. ඒ නිසා හම්බන්තොට වරාය විකිණීමට එරෙහි විය යුත්තේ අපේ රටේ මුළු ආර්ථික ප‍්‍රතිපත්තියම විදේශිකයින් අතට පත්වෙන නිසයි. අපේ රටේ යුධ වටිනාකම විදේශිකයින් අතට යන නිසයි. උතුරේ ජනතාවට එරෙහිව අවි ඔසවා ගන්න එක හරි මුස්ලිම් ජනතාවගේ කඩයකට එරෙහිව අවි ඔසවගන්න එක හරි නෙවෙයි ඇත්ත දේශපේ‍්‍රමීත්වය කියන්නේ. එතන තියෙන්නේ රට ඇතුලේ ජනතාව කොටවන සැලැස්මයි. එතන තමයි මහින්දයි, මහින්දගේ ගෝලයොයි ඉන්නේ. ඒක නෙවෙයි අද කරන්න ඕනෑ දේශපාලනය. සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියල්ල එකතු වෙන්න ඕනෑ අවස්ථාවක් මේක. ඒ මොකක් වෙනුවෙන්ද? අපේ රටේ ආර්ථිකයත් අපේ රටේ යුධ වටිනාකමත් විදේශීය සමාගම් වෙත පැවරීමට එරෙහිව ඇත්ත සුජාත දුපුතුන්ගේ සැබෑ දේශපේ‍්‍රමී අරගලය, අධිරාජ්‍ය විරෝධී අරගලය අද දියත් කළ යුතුව තිබෙනවා.

ඒ වගේම අපේ රටේ ඉඩම්. ඉඩම කියන්නේ අපේ ඥාතීත්වයයි. පරම්පරාගත බැඳීමක් තිබෙනවා. මේ ඥාතීත්වය තමයි අපෙන් ගලවා විකිණීමට උත්සහ කරමින් තිබෙන්නේ. අක්කර 15000ක්. වෙළෙඳ කලාප දාන්නද? පට්ටපල් බොරුවක්. කර්මාන්ත ශාලා සඳහා ප‍්‍රධාන ප‍්‍රභවයන් තිබෙනවා. එකක් තමයි අමුද්‍රව්‍ය. හම්බන්තොට තිබෙන අමුද්‍රව්‍ය මොනවද? අමුද්‍රව්‍ය නැති හම්බන්තොටට චීනා එන්නේ ඇයි? කටුනායක අක්කර 192යි. බියගම අක්කර 190යි. කොග්ගල වෙළඳ කලාපයක් තිබෙනවා. වෙළෙඳ කලාප 17ක් අපිට තිබෙනවා. ඉඩම් ප‍්‍රමාණය අක්කර 2000ට වඩා අඩුයි. ඉතින් ඉඩම් අක්කර 15000ක් චීනට ෆැක්ටරි දාන්නද? අනෙක් ප‍්‍රධාන සාධකය කර්මාන්ත ශාලාවලට අඩු ශ‍්‍රමය ඕනෑ. ලංකාවේ ශ‍්‍රමයට වඩා චීනේ ශ‍්‍රමය ගාන අඩුයි. ශ‍්‍රමයත් අඩුවෙන් ගන්න පුළුවන්නම් අමුද්‍රව්‍යත් චීනේ තිබෙනවනම් ලංකාවේ ෆැක්ටරි දාන්න එනවද? මේ පාලකයින්ට තමයි පිස්සු. ඉස්සර තමයි ෆැක්ටරි අක්කර සිය දහස්ගණන් වල හැදුවේ. දැන් කර්මාන්ත ශාලාවල කර්යක්ෂමතාව මනින්නේ පැතිර ඇති ප‍්‍රමාණය අවම වන තරමටයි. තාක්ෂණය දියුණුයි. කර්මාන්ත ශාලා එන්න එන්න කුඩා වෙනවා. එහෙනම් මේ වුවමනාව මොකක්ද? ඇමරිකාව චීනය අතර නොපෙනෙන යුධ තරඟයක් තිබෙනවා. ඇමෙරිකාවේ යුධ වියදම් අඩුකරමින් තිබෙනවා. නමුත් ආසියාවේ වෙනුවෙන් ඇමරිකාව වෙන්කරන ආරක්ෂක වියදම් වැඩිකොට තිබෙනවා. ඒ චීනය නිසයි. ඒ වෙනුවෙන් තමයි චීනයට ලංකාවේ භූමිය අවශ්‍යවෙලා තිබෙන්නේ. අපේ රටේ නිවට නියාලූ නායකයෝ අපේ රට ගොදුරු බිමක් බවට පත්කරලා තිබෙනවා. වසර 198 වරායත් ඉඩම් අක්කර 15000ත් චීනය විසින් පාලනය කළොත් එම ප‍්‍රදේශය චීන කොලනියක් වෙන එක නවත්වන්න බැහැ.

අපේ රටේ තුන්වෙනි පරම්පරාවට වගා කරන්න ඉඩම් නැහැ. නිවසක් හදාගන්න ඉඩමක් නැහැ. ගවපාලනයට ඉඩම් නැහැ. තෘණ භූමි නැහැ. නමුත් මේ පාලකයෝ අක්කර 15000ක් චීනෙට දෙන්න හදනවා. ම්ක කොතනින්ද නතර වෙන්නේ. මේ ඉඩම් විකිණීමට දොර විවෘත කරන්න දුන්නොත් කලා වැවේ යෝධ බැම්ම කැඩුනා වගේ තමයි. ගම් දනව් විනාශ කරගෙන යනවා. ඒ නිසා මේ දොරටුව විවෘත කරන්න දෙන්න ඕනැද? නැහැ. මෙය පරාජය කිරීම වෙනුවෙන් සියලූ දෙනා ඉදිරියට පැමිණිය යුතුයි. මේ ඉඩම් නිකන් ගන්න බැහැ. වනරක්ෂණ පනත අදාලයි. වනජීවි පනත අදාලයි. ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත අදාලයි. පාරම්පරික භුක්තිය අදාලයි. ඒ නිසා මේ ඉඩම් නිකන් ගන්න බැහැ. අපේ රටේ ඉඩම් නීතිය ශක්තිමත්. ඉඩම් පවරගන්න අවම සති 72ක් වත් යනවා. ඒ නිසා තමයි නව නීති හදන්නේ. සුපිරි ඇමති පනතක් ගේන්න යන්නේ ඒක නිසයි. තමන්ට හිතු හිතු දේ කරන්න. නීති විරෝධී කියලා නඩු දාන්නත් බැහැ. සුපිරි බලයක් හදාගන්න උත්සහ කරනවා. ජේ.ආර්. ගෙනාපු කොල්ලකාරී ආර්ථිකයේ භයානකම දිගුව තමයි මේ ක‍්‍රියාවට නැගෙන්නේ. එහි ගොදුරක් බවට හම්බන්තොට ජනතාව පත්වෙලා.

රට ණය කන්දක හිරකරලා, ආර්ථිකය මුළුමනින්ම කඩා වට්ටලා, රටේ නිෂ්පාදනය කඩා වට්ටලා, රාජ්‍ය ආදායම කඩාවට්ටලා, ආදායම් බෙදී යෑමේ විෂමතාව වැඩි කරලා ආර්ථිකය කාබාසිනියා කරලා. අද එදාවෙල ආර්ථිකයක් පවත්වාගෙන යනවා. 78 සිට අනුගමනය කළ ආර්ථික ප‍්‍රතිපත්තියේ අනිවාර්ය ව්‍යසනයට තමයි අද හම්බන්තොට ජනතාව මුහුණ දීලා තිබෙන්නේ. ජනතාව මේ පාලකයින් තබාගන්නත් කටයුතු කර තිබෙනවා. ඒ නිසා අපසු හැරවීමෙට දුෂ්කර මට්ටමකට ඇවිත් තිබෙනවා. දැන්වත් මේ ගමන ආපසු හරවන්න ඕන නැද්ද? තවත් ඉඩම් විකුණන තෙක්, ස්වභාවික සම්පත් විකුණන තෙක්, අපේ දුවා දරුවන් ණයකාරයන් බවට පත් කරන තෙක් අපේ රටේ මහජනතාවගේ ධනය කෝටි ප‍්‍රකෝටි ගණන් හොරකම් කරන තෙක් අපි මේ ගමන යන්න ඉඩ දෙනවද? හම්බන්තොට වරාය විකිණීම මේ ගමනේ කෙළවර නෙවෙයි. ඒ නිසා මේ සටන ජයග‍්‍රහණය කළ යුතුමයි.

අද සමහරු විකිණීම ගැන කෙඳිරිගානවා. මහින්ද මහත්තයත් කෙඳිරිගානවා. මතක තබාගන්න මහින්දත් වරාය විකුණන්න ගිවිසුම් ගැහුව්වා. 65%ක් චීනෙට. 35% අපේ රටට. ප‍්‍රතිපත්තිය තමයි විකිණීම. අද වෙනස් වෙලා තියෙන්නේ 80%ක් චීනෙට 20%ක් අපිට. ඒක විතරයි වෙනස. නොරොච්චොලේ විකුණන්න පී.බී. ජයසුන්දර චීනෙත් එක්ක සාකච්ඡුා කළා. කෙළවරපිටිය බලාගාරය කොටස් වෙළඳපොලට දාලා විකුණලා ණය ගෙවන්න ගිවිසුම් ගැහුව්වා. ඒ නිසා මේ පාලකයෝ එදත් වික්කා. අදත් විකුණනවා. මේ විකිණීමේ සැලසුම් කාලයක් තිස්සේ දියත් වෙමින් තිබෙන ඒවා. මේ සියලූ දෙනා තමන්ගේ පාලනය පවත්වාගෙන යෑම වෙනුවෙන් රටේ සමපත් විකුණපු අය. ඒ නිසා රටේ සම්පත් ජනතාවගේ දේපොළ විකිණීමට එරෙහි සටන ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කර තිබෙනවා.

 
අපිට දිගුකාලීන උවමානවන් තිබුණා. කෙටි කාලීන උවමනාවන් තිබුණා. අපි කෙටි කාලීන උවමානවන් සම්පූර්ණ කරගත්තේ දිගුකාලීන උවමනාවන් වෙනුවෙන්. අපි පැවැති පාලනය බිඳවට්ටවන්න කටයුතු කළා. රනිල් වික‍්‍රමසිංහ තමන්ගේ නායකත්වය ආරක්ෂා කරගන්න මහින්ද රාජපක්ෂ එක්ක කෝපි බිබී සාකච්ඡුා කරනකොට අපි රාජපක්ෂ පාලනය බිඳවට්ටන්න කටයුතු කළා. බොහෝ අය බිඳවට්ටන්න බැහැ කියලා හිතුවා. නායක හාමුදුරුවන් වහන්සේ කෙනෙක් කිව්වා තවත් අවුරුදු 90ක්වත් රට පාලනය කරන්නේ රාජපක්ෂවරු කියලා. මහින්දගෙන් පස්සේ අනිවාර්ය ජනාධිපති නාමල් කොලූවා කිව්වා. ඒත් අපි සැලසුම් සකස් කරලා ඒ පාලනය බිඳවට්ටන්න කටයුතු කළා. එදත් අපි පැහැදිලිව කිව්වා පවතින පාලනය බිඳවට්ටන්න ඕනෑ ඒ වගේම ගොඩනැගෙන පාලනය ගැන විශ්වාසය තියන්න එපා කියලා. ඒ වගේම නව පාලනයක් වෙනුවෙන් ජනතාව පෙළගැස්විය යුතුයි කියලා ඒ මොහොතේත් අපි කිව්වා. දැන් අපි ඒ සටනට අවතීර්ණය වෙලා ඉන්නවා. ක‍්‍රමානුකූලව, පියවරෙන් පියවර මේ සටන දියත් කරමින් විනාශකාරී ආර්ථික ප‍්‍රතිපත්තිය පරාජයට පත්කොට ජයග‍්‍රාහී ආර්ථික ප‍්‍රතිපත්තියක් වෙනුවෙන් අපේ රට මෙහෙයවන්න ජනතා බලයක් ගොඩනගනවා.
තවදුරටත් මේ පාලකයින්ට මොනවද දෙන්න පුළුවන්. ¥ෂණයන්ට දඩුවම් දෙන්න පුළුවන්ද? බැහැ. ¥ෂිතයින්ට දඩුවම් දෙන්න ¥ෂිතයින්ට බැහැ. හොරකම් කරන එක නතර කරයිද? නැහැ. ඔවුන් දේශපාලනයට එන්නේම හොරකම් කරන්නයි. මේ පාලකයින්ට නාස්තිය නතර කරන්න පුළුවන්ද? බැහැ. ඔවුන් දේශපාලනයට එන්නෙම සුඛවිහරණයක් සහිත ජීවිත ගත කරන්න. ඒ වෙනුවෙන් වාහන ඕනෑ. විශාල නිවාස ඕනෑ. මේ පාලකයින්ට නීතිය, විනය සහිත රටක් හදන්න පුළුවන්ද? බැහැ. පාලකයා නීතිය කඩනවා. පාලකයාට විනයක් නැහැ. පාලකයාට විනයක් නැතිව ජනතාවට විනයක් හදන්න බැහැ. මේ පාලකයින්ට පුළුවන්ද ගමේ ජීවත්වන අම්මට තාත්තට දුවා දරුවන්ට ජීවිතයක් හදල දෙන්න. බැහැ. මේ පාලකයන්ගේ යුගය අවසන්. අනුරාධපුර රාජධානිය බිඳවැටුනා. පොළොන්නරුව හැදුවා. මේ විදියට දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, කෝට්ටේ මහනුවර දක්වා රාජධානී මාරු වුනා. පෘතිගීසි පාලනය ගොඩනැගුනා. ලන්දේසි පාලනය ගොඩ නැගුනා. ඉංග‍්‍රීසීන්ගේ පාලනය ගොඩනැගුනා. ඒවා බිඳ වැටිලා මේ පක්ෂ දෙකේ පාලනය ගොඩනැගුනා. දැන් ශ‍්‍රීලනිප එජාප නියෝජනය කරන පාලනයේ යුගය අවස්න වෙලා තිබෙනවා. ඕනෑම පාලනයක අවසානය පෙන්නුම් කරන්නේ මේ විදියට තමයි. ආර්ථික කඩාවැටීම්, මහා මංකොල්ල, මිනිස් සබඳතා කඩාවැටීම්, නීතියක් නැති රටක්, විනයක් නැති රටක්, පාලනයක් නැති රටක්. මේ පෙන්නුම් කරන්නේ ඓතිහාසික වශයෙන් එක යුගයක නිමාව. එම නිසා මින් එහා ආර්ථිකයේ යහපත් ප‍්‍රතිසංස්කරණ, ජන ජීවිතය උසස් කිරීම, අධ්‍යාපනයේ යහපත් පරිවර්තනයන්, සෞඛ්‍ය සේවයේ යහපත් පරිවර්තනයන්, සමාජයේ යහපත් පරිවර්තනයක්, නීතියේ යහපත් පරිවර්තනයක් මේ සියල්ල පැවරී තිබෙන්නේ නව යුගයකට.

අපි තමයි රටට ධනය එකතු කරන අය. කම්හලේ වැඩ කරන්නේ අපේ පරම්පරාවේ මිනිස්සු. ගොවිපළේ වැඩකරන්නේ අපේ පරම්පරාවේ දරුවෝ, අපි නෙවෙයිද මේ රට ගොඩනගන්නේ. අපි හදන රට උඩ ඉන්න පරපෝෂිත රැුලක් අපි නිෂ්පාදනය කරලා එකතු කරන ක්ෂාරය උරාගන්නවා. මේක නෙවෙයිද ඇත්ත. ඒ පරපෝෂිත රැුලෙන් වැඩකරන ජනතාව අතට බලය මාරු කර ගැනීම සඳහා සටන දියත් කළ යුතුයි. ජයග‍්‍රහණයෙන් කෙළවර කළ යුතුයි. ඒ සඳහා සියලූ දෙනාට ඒකරාශි වෙන්න කියලා ආරාධනය කරනවා. ඒ සඳහා සියලූ දෙනාට දැනුවත් වෙන්න කියලා ආරාධනය කරනවා. එක තැනට සංවිධානය වෙලා සටනක් දියත් කිරීමට සියලූ දෙනාට ආරාධනය කරනවා.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_21_02_2016

සරල ජනපති යන උත්සවයේ වියදම රුපියල් ලක්ෂ 96 ක් …සභා රීතිවලට පිටින් ඌව පළාත් සභාවේ සම්මතයි …ලක්ෂ 105 ක වියදමින් මහා උත්සවයක් !

ලබන මාර්තු 13 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේදී පැවැත්වීමට නියමිත උත්සවයක වියදම් සඳහා රුපියල් ...

One comment