මට දේශපාලනය ගැන දැනුමක්‌ නැහැ

0

මෙවර රූපවාහිනි රාජ්‍ය නාට්‍ය උළෙල පසුගියදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. එහිදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍රවන්නේ මේනකා පිරීස්‌. ඒ සමන් කුමාර ලියනගේ අධ්‍යක්‍ෂණය කළ මොණරතැන්න ටෙලියේ ඇය සත්‍යාට කළ සාධාරණය වෙනුවෙනි. තමන් රඟපෑ පළමු ටෙලිනාට්‍යයෙන්ම හොඳම නිළිය වීමේ වාසනාව උදාකරගත් මේනකා ඒ ගැන අපට කිව්වේ මෙන්න මෙහෙමයි.

මේනකා ලැබුණු සම්මානය ගැන මොකද හිතෙන්නේ?

මම ජීවිතේටවත් බලාපොරොත්තු වුණේ නැති දෙයක්‌. සම්මානයට නිර්දේශවෙලා කියලා නම් දැනගෙන හිටියා. ඒත් සම්මානය ලැබේවි කියලා හිතුවේ නැහැ. මම ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණය තමයි මේ. මගේ පළමු ටෙලිනාට්‍යයෙන්ම සම්මානයට පාත්‍රවුණා. අනික මගේ වයස අවුරුදු විසිතුන ඉවර වුණා විතරයි. මම තවම තිගැස්‌මකින් ඉන්නේ. හිතාගන්නවත් බැහැ.

ලැබුණු තීරණය සාධාරණද?

මට ලැබුණු සම්මානය ගැන මම කොහොමද කියන්නේ. මාව අමාරුවේ දාන ප්‍රශ්න අහන්න එපා. සාධාරණයි කිව්වොත් සමහරු හිතයි මට ලැබුණු නිසා එහෙම කිව්වා කියලා. මේක මාව අමාරුවේ දාන්න අහපු ප්‍රශ්නයක්‌.

සත්‍යාට සම්මානයක්‌ හිමිවෙයි කියලා හිතුවද?

එදා මම මොණරතැන්නට සම්බන්ධවෙද්දි අධ්‍යක්‍ෂ සමන් කුමාර පළමුවැනි දවසේ කිව්වේ සත්‍යකාන්ති කියන්නේ සම්මානයක්‌ ගන්න පුළුවන් චරිතයක්‌. ඔයා හරියට කළොත් සත්‍යකාන්තිට සම්මානයක්‌ ලැබේවි කියලා.

මාධනී මල්වත්ත, උපේක්‍ෂා ස්‌වර්ණමාලී අතරින් ඔබට සම්මානය හිමිවීම ගැන මොකද හිතෙන්නේ ?

මම හිතුවේ මට වඩා ප්‍රවීණයෙකුට මේ සම්මානය ලැබේවි කියලා. මගේ නම කියපු වෙලාවේ මම තත්පර ගණනාවක්‌ පුටුවේ වාඩිවෙලා හිටියා. සම්මානය ලැබීම තවමත් මට වචනවලට පෙරළ ගන්න අමාරුයි. ඒ තරම් දේවල් මට ඒ වෙලාවේ හිතුණා.

මේනකත් සම්මාන බලාගෙනද රඟපාන්නේ ?

අනේ මම සම්මාන බලාගෙන රඟපාන්නේ නැහැ. සම්මානයක්‌ ලබාගන්න චරිතයකට සියයට සියයක්‌ සාධාරණයක්‌ ඉටු කළ යුතුයි. අනික චරිතයකට සාධාරණයක්‌ ඉටු කරන්නේ නැතිව සම්මාන බලාපොරොත්තු වෙන්න බැහැ.

ලැබුණු සම්මානයත් එක්‌ක ටිකක්‌ ආඩම්බර වෙලා වගෙයි ?

අනේ දෙයියනේ මම එහෙම නැහැ. මගේ කිසිම ආඩම්බරයක්‌ නැහැ. අහිංසක සතුටක්‌ විතරයි තියෙන්නේ. මේනකා පීරිස්‌ට සම්මාන ලැබුණා කියලා ආඩම්බරකමක්‌ නැහැ.

මේ දවස්‌වල තවත් අලුත් වැඩකට සූදානම් වෙනවා කියලත් ආරංචියි ?

ඔව්. මගේ කලඑළි මංගල්‍යයට සූදානම් වෙනවා. ලබන 25 වැනිදා බෙල්ලන්විල පන්සලේ එය පැවැත්වෙනවා. මේ දිනවල ඒකට පුහුණුවීම් සිදුකරනවා.

මේනකත් දැන් හැම නාලිකාවකම ඉන්නවා නේද?

මම දාන දාන චැනල් එකේ නැහැ. මේ වෙනකොට මම රඟපෑ ටෙලිනාට්‍ය තුනක්‌ විතර විකාශනය වෙනවා.

ඩාන්සින් ස්‌ටාර් හිටපු පුංචි නර්තන කෙල්ලට මොකද වුණේ ?

ඒ පුංචි කෙල්ල තමයි හිතන්නේ නැති තැනකට ඇවිත් තියෙන්නේ.

ඉදිරියට චරිත තෝරාබේරාගෙන ද කරන්න හිතාගෙන ඉන්නේ ?

මට ගොඩක්‌ වෙලාවට ලැබුණේ එකිනෙකට වෙනස්‌ විදිහේ චරිත. මම කොහොමටත් මුල ඉඳන් පොඩි තෝරා බේරාගැනීමක්‌ කළා. මම චරිතයට සියයට සියයක්‌ම සාධාරණයක්‌ ඉෂ්ට කරන්න උපරිම මහන්සිවෙනවා. කොහොමටත් මට නොගැලපෙන චරිත කරන්නේ නැහැ. මට කොහොමටත් මුල වැරදුණේ නැහැ. ඒ හින්දා ආයෙත් අමුතුවෙන් වෙනස්‌ විය යුතු නැහැ. මගේ අඩිතාලම හොඳයි.

දැන් ඉතිං කලවයසත් හරි නේද?

තවම නැහැ. කොහොමත් මගේ ටාගට්‌ තියෙනවා. ඒවා කොහොම හරි ළඟා කරගන්න ඕනෑ. මට මේ හැමදෙයක්‌ම ලැබුණේ හැමෝගේම ආශිර්වාදය එක්‌ක. මම කිසිදෙයක්‌ පස්‌සේ හඹාගිය කෙනෙක්‌ නෙමෙයි. මම පැත්තකට වෙලා මගේ පාඩුවේ හිටිය කෙනෙක්‌.

හැමදාම ඔහොම ඉන්නද කල්පනාව?

දැන්ම ඒ ගැන ලොකු අදහසක්‌ නැහැ. කාලයට ඉඩදීලා බලාගෙන ඉන්නවා. මොකද ලබන 25 වැනිදා මට තවත් ජයග්‍රහණයක්‌ ලබාගන්න තියෙනවා. ඒ මගේ කලඑළි මංගල්‍යය.

සහෝදර නිළියෝ දේශපාලනයට එනවා. ඔබට එහෙම අදහසක්‌ නැතිද?

මගේ එහෙම අදහසක්‌ නැහැ. මට දේශපාලනය ගැන දැනුමක්‌ නැහැ. අනික මම ඒ ගැන ලොකු හැදෑරීමක්‌ කරලත් නැහැ. මට කරන්න පුළුවන් දේවල් විතරයි කරන්නේ. දේශපාලනය කරන්න ඒ ගැන දැනුමක්‌ තිබිය යුතුයි.

පසුගිය කාලයේ ඔබට මඩගහපු අයට උත්තරයක්‌ දුන්නා කියලා හිතනවාද?

ඔවුන්ට නම් හොඳ උත්තරයක්‌ ලැබෙන්න ඇති කියලා මට හිතෙනවා. මම වැරදි කළා නම් ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතරක්‌ යනකොට මෙච්චර ඇගයීමකට ලක්‌වෙන්නේ නැහැනේ. මම හරි අඩිපාරක ගිය චරිතයක්‌. ඔබ කිව්වා වගේ මට මඩගහපු අයට හොඳ උත්තරයක්‌ ලැබෙන්න ඇති.

නර්තන ගුරුවරියක්‌ වෙන්න තිබුණ හීනයට මොකද වුණේ ?

ඒ හීනය තවමත් තිබෙනවා. නර්තන ගුරුවරියක්‌ වෙන්න තවත් ඉගෙන ගත යුතුයි කියලයි මම නම් හිතන්නේ. ඒ වෙනුවෙන් මම තවමත් ඉගෙන ගන්නවා. කොහොම හරි ඒ හීනයට ළංවෙන්න ඕනෑ. මට තව ඉගෙන ගන්න ගොඩක්‌ දේවල් තියෙනවා.

මිවිතට ලිව්වේ -දිනේෂ් විතාන

Menaka