Home / Featured / හෙළ උරුමය සහ රතන හිමි දෙකොන ඇවිලේ …28 දා තීරණාත්මකයි …හෙළ උරුමය සහ ආණ්ඩුව අතර සියළු රහස් හෙළි කිරීමට රතන හිමි සූදානම් … රට තුළ මහා විනාශයක් …එයට හෙළ උරුමයත් වග කිව යුතුයි

හෙළ උරුමය සහ රතන හිමි දෙකොන ඇවිලේ …28 දා තීරණාත්මකයි …හෙළ උරුමය සහ ආණ්ඩුව අතර සියළු රහස් හෙළි කිරීමට රතන හිමි සූදානම් … රට තුළ මහා විනාශයක් …එයට හෙළ උරුමයත් වග කිව යුතුයි

ආණ්‌ඩුවේ සහ ජාතික හෙළ උරුමයේ මෙතෙක්‌ හෙළි නොකළ රහස්‌ රැසක්‌ ඉදිරි දින කීපය තුළ හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසනවා.දිවයින පුවත් පත වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා ඇත.

ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ රටේ ජනතාවගේ අපේක්‍ෂා දිනෙන් දින භංගත්වයට පත්වෙමින් යන බවත් රට යළිත් ගොඩ ගැනීමට නොහැකි වන ලෙස ,සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා ඇදෙමින් පවතින බවත් උන්වහන්සේ සදහන් කළා.

වත්මන් රජය බලයට ගෙන ආ සියළු දෙනාට මේ මොහොතේ නිහඩව සිටිය නොහැකි බව පෙන්වා දෙන උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ , ජාතික හෙළ උරුමය තමන්වහන්සේට එල්ල කරන චෝදනා පිළිබඳවද කරුණු රැසක්‌ හෙළි කිරීමට තමන් සූදානම් බවයි.

ප්‍රශ්නය – ඔබවහන්සේ පොරොන්දු කඩ කළ බව ජාතික හෙළ උරුමය චෝදනා කරනවා.

පිළිතුර – ඔය හැම දෙයකටම උත්තර මම ලබන විසිඅටවැනිදාට දෙන්න සූදානම්. ජාතික හෙළ උරුමයවත්, පාඨලී චම්පික මහත්තයාවත් මගේ හතුරෝ කරන් ජීවත්වෙන්න මම දැනුත් කැමැති නැහැ. ඒ අයගෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මම කියන්නේ කුමක්‌ද යන්න තේරුම් ගන්න ලෙසයි. මට පුද්ගලයෝ වැදගත් නැහැ. මම කරන්නේ ජාතික කර්තව්‍යයක්‌. මේ රට හැරෙන්න ආදරය කරන්න කිසිවෙක්‌ මට නැහැ. මම ජීවිතයෙන් මේ රටට ආදරෙයි. මගේ ජනප්‍රියත්වය උදෙසා කරන දේශපාලන වාක්‍යයක්‌ නෙමෙයි එය. රටට ආදරය බව මං ඔප්පු කර පෙන්වා තිබෙනවා.

ජාතික හෙළ උරුමය බිහිකිරීමේ පුරෝගාමී චරිතයකට පණ පෙවූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එම පක්‍ෂයම අද නොයෙක්‌ චෝදනා එල්ල කරමින් සිටීම වත්මන් දේශපාලන ක්‍ෂේත්‍රයේ එක්‌ ප්‍රධාන මාතෘකාවක්‌ වී තිබේ.

මෙම චෝදනා පිළිබඳවත් වත්මන් වැඩ කටයුතු පිළිබඳවත් රටේ දේශපාලනය පිළිබඳවත් උන්වහන්සේ සමඟ ‘ දිවයින ඉරිදා සංග්‍රහය’ කළ සම්මුඛ සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රශ්නය – ඔබවහන්සේට එරෙහිව චෝදනා රැසක්‌ ජා.හෙ.උරුමය එල්ල කරනවා.

පිළිතුර – ඔවුන් මට එරෙහිව මොනවා කියනවද කියා මම නැවත ඔවුන්ගෙන් විමසන්න යන්නේ නැහැ. මට ඔබට සහ රටේ ජනතාවට දෙන්න තියෙන උත්තරය වන්නේ කවුරුත් කියන දේ පිළිබඳ නොව මා කරන දේ පිළිබඳ බලන ලෙසයි.

ප්‍රශ්නය – ස්‌වාධීන මන්ත්‍රීවරයකු වනවා යෑයි කළ ප්‍රකාශය බොහෝ අර්බුද නිර්මාණය කරන ප්‍රකාශයක්‌ වී තිබෙනවා.

පිළිතුර – ඔබ නිතර විමසන අර්බුදය ගැන මම දන්නේ නැහැ. ස්‌වාධීන මන්ත්‍රීවරයකු වීමේ කතාව ගැන යමක්‌ කිව යුතුයි. එදා මාධ්‍ය හමුවේදී එක්‌ මාධ්‍යවේදියකු මගෙන් විමසුවා, ඔබවහන්සේ සිදුකරන අදහස්‌ දැක්‌වීම පක්‍ෂයක්‌ ලෙස කරන්නක්‌ ද? එසේ නැත්නම් ස්‌වාධීන අදහසක්‌ද? කියන කාරණය. එහිදී මම ඔහුට කියා සිටියේ, මෙය මගේ ස්‌වාධීන අදහසක්‌ එය පක්‍ෂයේ මතය නොවන බව. එය තමයි ස්‌වාධීන මන්ත්‍රීවරයකු වීමේ කතාව.

ප්‍රශ්නය – ජාතික හෙළ උරුමය තුළ සිට ස්‌වාධීන මතයක්‌ ප්‍රකාශ කිරීම ද ප්‍රශ්නය වී තිබෙන්නේ?

පිළිතුර – පක්‍ෂයක්‌ තුළ සිටියායි කියා ස්‌වාධීන මතයක්‌ පළ කරන්න නොහැකියාවක්‌ නැහැ. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්‌. මහින්ද රාජපක්‍ෂ සමයේදී ඔහු පරාජය කළ යුතු බව මම ප්‍රසිද්ධියේ කිව්වේ පක්‍ෂයෙන් අහලා නොවෙයි. රාජපක්‍ෂ පාලනය පරාජය කිරීමට පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාව හැදුවේ පක්‍ෂයෙන් අහලා නෙමෙයි. ඒ සියල්ල මම කියලයි කළේ. මට තියෙන ප්‍රශ්නය ඔය එකක්‌වත් නොවෙයි.

2014 දී මහින්ද රාජපක්‍ෂ මහත්තයට විරුද්ධව මම යම් යම් කරුණු ප්‍රකාශ කළා. මට මතකයි බී එම් අයි සී එච් එකේ රැස්‌වීම් ශාලා දෙකේදී මම රැස්‌වීමක්‌ අමතන විට මම කිව්වේ මේ ප්‍රකාශ මම කරන්නේ ස්‌වාධීනව බව. එතැන ඔය හැමෝම හිටියා.

මම මෑතකදී කළ ස්‌වාධීන වීමේ ප්‍රකාශයට කැබිනට්‌ එකේ ඉන්න පාඨලී චම්පික ඇමැතිවරයාවත් වෙන කිසිවකුත් වගකියන්න ඕන නැහැ. සාමුහික වගකීම කියන්නේ අරමුණක්‌. මම කිව්වේ ජාතික හෙළ උරුමය හා ජාතිමාමක බලවේග ඉල්ලන දේ මිස වෙන යමක්‌ නෙමෙයි. ස්‌වාධීන වනවා යෑයි මා කියූ දේ පත්තරවල ‘ලීඩ්’ කළා. ඒක නෙමෙයි බලන්න ඕන. ජාතික හෙළ උරුමය කියන්න ඕනෑ ඒ අය විරුද්ධ කුමකටද කියලා.

ප්‍රශ්නය – මොකක්‌ද හාමුදුරුවනේ එහෙම නම් ඔබවහන්සේට තියෙන ප්‍රශ්නය.

පිළිතුර – මේ මන්ත්‍රීධුර කතාව නිසා එදා මම මාධ්‍ය හමුවේ සඳහන් කළ කරුණු රැසක්‌ වැසීගිය එකයි. මම ජාතික හෙළ උරුමයට, ජාතික බලවේගවලට හා රටට ආදරය කරන සියලු ජනතාවට කියන්නේ මන්ත්‍රීධුරය ගැන බලන්නේ නැතුව මම කරපු ප්‍රශ්න කිරීම් පිළිබඳ බලන ලෙසයි. මේ තාවකාලික මන්ත්‍රී ධුරය ගැන ඕන කෙනකුට විමසන්න පුළුවන්. නමුත් මම ඒ ගැන වැඩිය කතා කරන්නේ නැහැ.

ප්‍රශ්නය – අපේ හාමුදුරුවනේ, මන්ත්‍රීධුර වගේ ලෞකික දේවල් පිළිබඳව ඒ මතය ?

පිළිතුර – මම ධර්මය වදාරන ආධ්‍යාත්මික ජීවිතයක්‌ ගතකරන භික්‍ෂුවක්‌. මම ඔය කිසිවකට ලෝභ නැහැ. රටට වැඩ කරන්න ඔය දේවල් අත්‍යවශ්‍ය නැහැ. උදේ අවදි වී භාවනා කරනකොට ඔය මන්ත්‍රීධුර මතක්‌ වෙනව නම් ඒ භාවනාවෙන් ඇති ඵලක්‌ නැහැ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය වන්නේ මා සමඟ සිටින ජාතික බලවේගවල හඬට ඇහුම්කන් නොදී මට යමක්‌ කියන්න බැරිවීමයි.

ප්‍රශ්නය – මන්ත්‍රීධුරය නිසා ආණ්‌ඩුව සම්බන්ධයෙන් ඇති විවේචන අඩු වේවිද?

පිළිතුර – කිසිසේත් නැහැ. මේ රට ගැන මට වගකීමක්‌ තිබෙනවා. මේ ආණ්‌ඩුව වැරදි කරනවා නම් ඒවා දැක නොදැක්‌ක ගානට ඉන්නව නම් අපි ජීවත්ව සිටීමෙන් ඇති ඵලක්‌ නැහැ. මොකද ඒ වැරදිවලට වගඋත්තරකරුවෝ වෙන්නේ අපි. මේ ආණ්‌ඩුවෙන් රටට කුමන හෝ අගතියක්‌ වනවා නම් එය වැළැක්‌වීම මගේ වගකීමක්‌. ඒ වෙනුවෙන් ජනතාව සමඟ තීන්දු ගන්න මට අයිතියක්‌ තිබෙනවා. මාව මැරුවත්, විනාශ කළත් කොයිදේ කළත් ඒ තීන්දුව මගේ හුස්‌ම ටික තියනකම් මම කරනවා.

මන්ත්‍රී ධුරය වෙනුවෙන් ගොළුවෙක්‌ වෙන්න මම සූදානම් නැහැ. මගේ ප්‍රතිපත්තිමය කාරණා දශමයකින්වත් යටපත් කරන්නේ නැහැ. ඒ ගැන මම ජනතාවට ප්‍රතිඥ දෙනවා.

මම කියන දේ අහන්න. පසුව කරපු දේ කරන දේ බලන්න. ඉන්පසු බොරු විවේචන විකාර නොකර ප්‍රතිපත්තිමය විවේචන කරන්න.

ප්‍රශ්නය – මේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් සමඟ කතා කළේ නැද්ද?

පිළිතුර – එහෙම විශේෂයෙන් කතා කළේ නැහැ. හැබැයි මේ මොහොතේ මම හිතනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ හොඳ අවබෝධයක්‌ ඇතිකරගෙන ආණ්‌ඩුවේ ඇති අඩුපාඩු පෙන්වා දී වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න හැකිවේවි කියල. මන්ත්‍රීධුරය නිසා විවේචන කරන්න තිබෙන අයිතිය නැතිකරගෙන මට පාර්ලිමේන්තුවේ සිට වැඩක්‌ නැහැ. ඒ බව මම ඔය දෙපළටම කිව්වා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හෝ එක්‌සත් ජාතික පක්‍ෂයට ආණ්‌ඩුවක්‌ පිහිටුවන්න තනි බලයක්‌ ලැබුණේ නැහැ. හවුල් රජයක්‌ තියෙන්නේ ඒ නිසා නේ. හරියට දිනලා තියෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා පමණයි. ජනමතයක්‌ ඇත්තේ ඔහුටයි. ඔහු දිනලා විතරක්‌ නෙමෙයි මේ සියලු දේවලට වගඋත්තරකරු ද ඔහුයි. අපි බලයට ගෙනාවේ ඔහුවයි.

ප්‍රශ්නය – ඔබවහන්සේ එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌වන බව ආරංචි පැතිර යනවා.

පිළිතුර – මම එක්‌සත් ජාතික පක්‍ෂයට යන්නේත් නෑ. ශ්‍රීලනිපයට යන්නේත් නැහැ. අපි බලයට පත්කළ මේ ආණ්‌ඩුවට බලපෑමක්‌ කළ හැකි බහුජන ව්‍යාපාරයක්‌ ගොඩනැංවීම පමණයි මම කරන්නේ. එහි නායකයා ලෙස මම කටයුතු කරනවා. අනාගතයේ මම තීන්දු තීරණ ගන්නේ මා සමඟ එම බහුජන ව්‍යාපාරයේ සිටින පිරිස සමඟයි.

ප්‍රශ්නය – හාමුදුරුවනේ ඔබවහන්සේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී රටේ නායකයා ලෙස ගෙන ඒමට උත්සාහ කරන බව පැවසෙනවා.

පිළිතුර – මම පුද්ගලයකු ඉලක්‌ක කර ගත් දේශපාලනයක්‌ කරන්න තරම් දිළින්දකු නෙමෙයි. මම කරන දේ දේශපාලනිකව තේරුම් ගන්න. මම කරන්නේ මතවාදී අරගලයක්‌. පුද්ගල පංචස්‌කන්ද මුල්කරගත් ව්‍යාපෘතියක්‌ මගේ ඔළුවේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා එදා ගෙන ඒමටත් මගේ ව්‍යාපෘතියක්‌ ඔළුවේ තිබුණේ නැහැ. එය කාලයේ අවශ්‍යතාව මත සිදු වූ දෙයක්‌. මට පූර්ව සැලසුම් නැහැ.

ප්‍රශ්නය – හාමුදුරුවනේ ඔබවහන්සේ ජාතික හෙළ උරුමයේ සාමාජිකයෙකුවුවත් එම පක්‍ෂය සමඟ මේ වන විට කටයුතු කරනවා දකින්නට නැති තරම්. ඔබවහන්සේ සක්‍රීයව කටයුතු කරන්නේ වස විසෙන් තොර ගොවිතැන නඟාසිටුවීමේ ජාතික වැඩපිළිවෙළ සමඟයි. ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට එක්‌ පක්‍ෂයක්‌ තුළ හිරවී සිටීම ඊට බාධාවක්‌ නෙමෙයිද?

පිළිතුර – පුළුල් ජාතික වැඩක්‌ කරනවා නම් පක්‍ෂයක ලේබලයක්‌ ඇලවුණාම ඒක කරන්න හරි අමාරුයි තමයි. දැන් මට තියෙන්නේ පක්‍ෂ දේශපාලන සීමාවෙන් ඔබ්බට ගිය කාර්යයක්‌. මට මිනිස්‌සු ආදරෙයි. එය මගේ සාංසාරික කුසලයක්‌. ඒ තුළ මා ජීවත් වෙනවා. මම ඉපදී තියෙන්නේ මේ රට ආරක්‍ෂා කරගන්නයි. එය මගේ ආත්ම පුරුද්දක්‌ වෙන්න පුළුවන්. රට වෙනුවෙන් කරන යුතුකමට මන්ත්‍රීධුරය තිබී වාසිද අවාසිද කියල මම තවම හිතනවා. මම වටා සිටින ජාතිමාමක බලවේගවලට ඇහුම්කන් දෙන්න ඕනෑ.

ප්‍රශ්නය – හාමුදුරුවනේ මේ යන විදියට තවදුරටත් ජාතික හෙළ උරුමය සමඟ ඔබවහන්සේට ගනුදෙනු කරන්න හැකි වේවිද?

පිළිතුර – ඒ ගැන මම කිසිවක්‌ ප්‍රකාශ කරන්න කැමති නැහැ. ජාතික හෙළ උරුමයත් සමඟ මගේ ඇති ගිවිසුම රටේ ප්‍රතිපත්තිමය සම්මුතියක්‌.

 

Check Also

ආණ්ඩුවට එරෙහි මහා කැරැල්ළක් … සියළු බෞද්ධ සංවිධාන එකම ගමනක

වත්මන් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බෞද්ධ සංවිධානයක් ගොඩ නැගීමට ජාතික සංවිධාන නියෝජනය කරන නායක භික්ෂූන් වහන්සේලා ...