යහපාලනයට වසර දෙකයි …රාජපක්ෂලාට බැන්නා ඇරෙන්න මේ රජය රටට කල දෙයක් නෑ …ජනපති -අගමැති දෙන්නම විධායක වෙන්න හදනවා

0

පසුගිය ආණ්ඩුවට වසර දෙකක කාලයක් තිස්සේ කරන දෝෂාරෝපණ නවතා එක් වසරක් හෝ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට වත්මන් ආණ්ඩුවට කාලය එළැඹ ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවසීය,

වත්මන් ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකක කාලයක් ගතවී ඇතත් මේ කාලය තුළ රාජපක්ෂ ආණ්ඩුවට දෝෂාරෝපණ කිරීම හැර වෙනත් කාර්යයක් සිදු කර නැතැයි අද(27) මහනුවර දී මාධ්‍ය හමුවේ හිටපු ජනාධිපතිවරයා කීවේය.

මහින්ද රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැදපුදා ගත් අතර අනතුරුව මාධ්‍ය හමුවේ මෙසේ සදහන් කළේය.

“රාජපක්ෂ ආණ්ඩුවට බනිනවා හැර වෙන යමක් මේ ආණ්ඩුව කරල නැහැ.නමුත් දැන් අඩුම තරමේ අවුරුද්දක් දෙකක් හෝ ජනතාව වෙනුවෙන් යමක් කළ යුතුයි. පසුගිය සමයේ සියලුම වගකීම් යොමු කළේ ජනාධිපතිවරයාට. නමුත් විධායක ජනාධිපතිවරයෙකුයි විධායක අගමැතිවරයෙකුයි රටේ නොසිටිය යුතුයි.මේ දෙදෙනාම විධායකවීමට උත්සහ කරනවා. යමක වගකීම තිබෙන්නේ දෙදෙනාගෙන් කාටදැයි කවුරුත් දන්නේ නැහැ.

බැදුම්කර සම්බන්ධයෙන් මුදල් අවභාවිත කර තිබෙන්නේ මේ ආණ්ඩුවයි. මගේ නම හොරට දාලා මුදල් අරගෙන තිබෙන්නේ ඔවුන්. ඒක ගැසට් නිවේදනයෙන් පවා ඔප්පු වී තිබෙනවා.එපමණක් නොවෙයි මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය නිසා ජනතාවට රජයේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය පිළිබද ගැටලුවක් මතු වෙනවා. ඔවුන් රජයේ ආයෝජන කිරීම සම්බන්ධයෙන් මුදල්වල සුරක්ෂිතතාව හා ලාභදායක තත්ත්වය පිළිබද වැඩි විශ්වාසයක් තිබෙනවා. නමුත් දේශපාලන වාසි හා රාජපක්ෂ පීඩනයට පත්කිරීම සදහා රජයක් මෙවැනි ප්‍රකාශ කිරීමෙන් රජය මූල්‍ය වශයෙන් දැඩි අසීරුතාවට පත්වෙනවා.

මෙවැනි ප්‍රකාශ තුළින් මුදල් තැම්පත් කළ ජනතාව සිය මුදල් ඉවත් කර ගැනීමට උත්සහ කළොත් එහි වරදක් නැහැ.

පළිගැනීම, ක්‍රෝධය, වෛරයෙන් කටයුතු කිරීමෙන් රටකට දියුණුවක් අත්කර ගැනීමට හැකියාවක් නැහැ. රාජපක්ෂ රාජපක්ෂ යනුවෙන් දෝෂාරෝපන නොකර දැන් ජනතාවට වැඩ කළ යුතු කාලය උදාවී තිබෙනවාග
අද ආණ්ඩුව මැතිවරණයට බයයි. ඡන්දයක් තියන්නේ නැහැ. අප කියන්නේ කෙසේ හෝ මැතිවරණයක් පැවැත්විය යුතුය කියලයි .

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා සහ යෝෂිත රාජපක්ෂ මහතා ද එක්විය.

(නදීක දයා බණ්ඩාර -මහනුවර )