රටේ අපරාධ රැල්ලක් නෑ…ආයතනය අමතක කර මාධ්‍යවේදීන් ජාතික සේවය කරන්න…නීතිය නමන්න පාතාලයට බෑ

0

මාධ්‍යවේදියාටත් ජාතික සේවයක් තියේන බවත් මේ ජාතික සේවය කරන විට මේ මිනිසුන් ගැටීම් කරන්නටවත් භේද කරන්නටවත් උණුසුම් පුවත් දාලා මිනිසුන්ගේ කුතුහලය අවුස්සන්න නෙමෙයි. ඕන මිනිස්සුන්ට යතාර්ථය දෙන්න ඇත්ත දෙන්න හරි දේ කියන්න කියා තමන් ඉල්ලා සිටින බව පොලිස්පති පූජිත ජයසුන්දර ඉල්ලිමක් කරනවා.

වවුනියාව පොලිස් සංකීර්ණයේ ඉදි කළ සාම චෛත්‍යයේ කොත නිරාවරණය කොට නිධන් වස්තු තැන්පත් කිරීමට හා රැක්රෝපණ වැඩසටහනක් මෙන්ම ඇතුළු වැඩසටහන් ගණනාවකට සහභාගිවීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් පොලිස්පතිවරයා සදහන් කළේ ඉතා ඉක්මනින්ම පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ලබාගෙන පාතාල කල්ලි සියල්ලක්ම මර්ධනය කරන බවටත් නීතිය හා පොලීසිය පාලනය කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවයි.

‘‘දැන් බන්ධනාගාර සිදුවීමේදී අපි කාටවත් වරද පටවන්න යන්නෙ නැහැ. අපේ අඩුපාඩුවක් නිසා ඒ දේ වුනා කියල අපි පිළිගන්නවා. අපි ඒ අඩුපාඩුව හදාගන්න ඕන. ඒවෙගේම තමයි විශේෂයෙන්ම මම කියනවා අපි ඔය කියන පාතාල කල්ලියකටවත්, කිසිම කල්ලියකට ඉඩ දෙන්නෙ නැහැ. මම බය නැතුව කියනවා පාතාලයය යැයි ඔය අය හඳුන්වන භයානකයි කියන අය තව ටිකක් යන කොට මොකද වෙන්නෙ කියල බලන්නකෝ. මම ක්‍රියාත්මක කරනවා නීතියට අනුව කිසිම වෙලාවක කිසියම් අකටයුතු කුලී වෑන් සුදු වෑන් කොන්ත්‍රාත් අදි සියලු දේ නවත්තන්න කටයුතු කරනවා . ඒ සඳහා විශේෂ කාර්ය බලකාය අනිවාර්යෙන්ම යොදවනවා. අපේ මේ සියලු නිලධාරීන්ටත් දැනෙන්න මම කියන්නේ කිසිම කෙනෙක් මන්දෝත්සාහි වෙන්න එපා. ඒ හැම දේකටම නීතිය තියනවා බය නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේ දේවල් වල නියම හරය මාධ්‍ය තුලිනුත් ජනතාවට දෙන්න කියල මම ඉල්ලා සිටිනවා. මාධ්‍යවේදියාටත් ජාතික සේවයක් තියනවා පළමුව ජාතික සේවය ගැන හිතන්න. අනතුරුව ඔබේ ආයතනය ගැන ඔබ ගැන හිතන්න. මේ ජාතික සේවය කරන විට මේ මිනිසුන් ගැටීම් කරන්නටවත් භේද කරන්නටවත් උණුසුම් පුවත් දාලා මිනිසුන්ගේ කුතුහලය අවුස්සන්න නෙමෙයි. ඕන මිනිස්සුන්ට යතාර්ථය දෙන්න ඇත්ත දෙන්න හරි දේ කියන්න කියල මා ඉල්ලා සිටිනවා’’

පසුගියදා කළුතර උතුර බන්ධනාගාරය අසළ බන්ධනාගාර බස් රථයකට වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කාටවත් දොස් පැවරිය නොහැකි බවත් එම අවාසනාවන්ත සිදුවීමේ වගකීම සාමූහිකව බාරගත යුතු බවත් බන්ධනාගාර නිලධාරීන්ට හෝ පොලිස් නිලධාරීන්ට ඇඟිල්ල දිගු කිරීම පමණක් ප්‍රමාණවත් නැති බවත් පොලිස්පතිවරයා අවධාරණය කළා.

ලබන මාසයේ නඩු වලට ගෙනයන දරුණු ගණයේ අපරාධකරුවන් පිළිබඳ ඔවුන් කොහේ සිට කොහාට ප්‍රවාහනය කරන්නේද යන්න පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා මගින් තමාට 20 වෙනිදා වෙද්දි තොරුතුරු ලැබිය යුතු බවත් ඒ අනුව තමන් විසින් දිනය 25 වෙද්දි ඒ ගැන ගත හැකි පියවර පිළිබඳ බන්ධනාගාර කොමසාරිස්වරයාට දැන්විය හැකි බවත් පොලිස්පතිවරයා කියා සිටියේය.

එමෙන්ම රටේ අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වීමේ වැඩි බවක් දක්නට ලැබෙන බව විමසූ විට පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා කියා සිටියේ පසුගිය වර්ෂයේ සංඛ්‍යා ලේඛන සමග සසදා බලන විට එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවයි.