Home / Featured / රට පාලනය කරන්නේ මොළයක් නැති රැලක් …මෙහෙම ගියොත් රට වළ දාපු තැනින්වත් ගොඩ ගන්න බැරි වෙයි

රට පාලනය කරන්නේ මොළයක් නැති රැලක් …මෙහෙම ගියොත් රට වළ දාපු තැනින්වත් ගොඩ ගන්න බැරි වෙයි

වත්මන් ආණ්ඩුව යන ගමන එලෙසම පවත්වා ගෙන ගියහොත් රට ආරාජික වී විශාල අර්බුධයකට මුහුණ පෑමට සිදුවන බව , කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නවරත්න රඹුක්වැල්ල පවසනවා.වත්මන් දේශපාලනය සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් Lanka News alert කල විමසීමකදී ඔහු මේ බව සදහන් කළා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ , නවරත්න රඹුක්වැල්ල ,

“මේ සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ අවධානය යොමු කරන්න පුළුවන්. පළවෙනිම කාරණාව තමා අද අපිට විශාල ආර්ථික අර්බුධයකට මුහුණ පාන්න වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමා ආයෝජකයෝ ප්‍රාග්ධන මේ රටින් ඉවත් කර ගැනීම .ඒක එන්න එන්නම දරුණු මට්ටමකට පත් වෙමින් පවතිනවා .මේක සිදු වන්නේත් ආරෝහණ ක්‍රමයට .අද 05 ක් ආයෝජන ඉවත් කළොත් හෙට 10 ක් තමන්ගේ ආයෝජන ඉවත් කර ගන්නවා.මේක ඉතා අහිතකර තත්වයක් .හැබැයි මේ ආණ්ඩුව මොකක්ද කිව්වේ ? ජාත්‍යන්තරය අපේ මිත්‍රයෝ කිව්වා .අපි ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කළා කිව්වා .හැබැයි ඒ ආයෝජකයෝම තමා අද අපි එක්ක ගණුදෙනු කරන්න සූදානමක් නැත්තේ.

මේ එක්කම මොකද වෙන්නේ තරුණයන්ට රැකියාව සිහිනයක් වෙනවා. මේ ආණ්ඩුව රැකියා දස ලක්ෂයක් ඇති කරනවා කිව්වා .ඒක කෙසේ වෙතත් රැකියා අහිමි වීමේ තත්වයක් තමා මේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙල හරහා සිදු වෙන්නේ .

මේ සමගින්ම රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වෙනවා .ඒත් එක්කම රටේ සෑම අංශයක්ම කඩා ගෙන වැටෙනවා.මේ ආණ්ඩුවට දැක්මක් නෑ .අන්න ඒ නිසා තමා අද රටක් විදියට අපිට මේ තත්වයට මුහුණ පාන්න වෙලා තියෙන්නේ.
බලය ගන්න කලින් මේ ආණ්ඩුව පත් කරපු අය මොණවාද කිව්වේ ? කාර්යක්ෂම පාලනයක් ඇති කරනවා කිව්වා .අතී නවීන වැඩපිළිවෙලක් ඔස්සේ ගමන් කරනවා කිව්වා .මේ වචන වලට මේ රටේ තරුණ දරුවෝ රැවටුණා.

මේ ආණ්ඩුවට තවත් මෙහෙම යන්න දෙන්න බෑ .මෙහෙම ගියොත් මේ රට තවත් බංකොළොත් වේවි ,කිසිම කෙනෙකුට ගොඩ ගන්න බැරි වෙන තැනටම . ඊට පස්සේ මේ රට නිකන්ම ආරාජික රාජ්‍යක් බවට පත් වෙනවා .
ඇයි මෙහෙම තත්වයක් මේ රට තුළ ඇති වුණේ ? මේ ආණ්ඩුව වී වගාව විනාශ කළා .වී ටිකේ ඉදලා හැම දෙයක්ම පිටරටින් ගෙනවන එක එන්න එන්නම වැඩි කළා .දැන් අපේ රට ආනයනය මත රැදිලා ඉන්න රටක් . රුපියල බාල්දු වීමත් එක්ක මේ ආහාර ගෙන්වීමට රජයට විශාල මුදලක් දරන්න වෙනවා . ඒත් එක්කම රටේ දුගී බව ඉහළ යනවා.අපි හැමතිස්සෙම කතා කරන්නේ මධ්‍යම පාන්තිකයන් ගැන . හැබැයි රැකියාවක් නැති අන්ත දුප්පත් මිනිස්සුත් මේ රටේ ඉන්නවා .මේ තත්වය මධ්‍යම පාන්තිකයාට දරා ගන්න බැරි නම් ,දුගී මිනිසා කොහොම දරා ගනීද ? මේ යන්නේ ලිබරල්වාදී , ධනේෂ්වර ගමනක් .

රටක ආර්ථිකය හසුරුවන්න නම් හොද මොළයක් ඇති ශක්තිමත් කණ්ඩායමක් අවශ්‍යයි .හැබැයි එහෙම අය මේ ආණ්ඩුවට නෑ .

අද ජනාධිපති එකක් කියනවා අගමැති එකක් කියනවා ,විදේශ ඇමති වෙනමම එකක් කියනවා .එකිනෙකාගේ අදහස් පරස්පරයි . ඒක බෙදුම්වාදීන්ට වාසියක් . ඒ අය බලාන ඉන්නේ මේ හැම දෙයකින්ම වාසියක් ගන්න.

එක පැත්තකින් රජය මැතිවරණය කල් දානවා .ඒක බොහෝම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් . මෙහෙම කොහොමද රටක් කරන්නේ ? මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් .එදා දැවැන්ත ලෙස සංවර්ධනය කරා ගිය මේ ආණ්ඩුව අද දැවැත ලෙස කඩා වැටීමකට ලක් වෙලා .වහාම මේ ගමන් මග වෙනස් නොකළොත් ,රටක් ලෙස මහා විනාශයකට අපට මුහුණ පාන්න සිදු වේවි .

Check Also

30% ක් කාන්තා නියෝජනයෙන් 25%ක් තේරි පත් විය යුතුයි…

රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා හා දරුවන් ...