අලයක් නෙමේ මොළයක් කිව්වාට වැඩක් නෑ … රුපියල රැක ගන්න වැඩපිළිවෙලක් නෑ …

0

ඉතිහාසයේ කිසිම දිනක වාර්තා නොවුණ ආකාරයට ශ්‍රි ලංකා රුපියල ඩොලරය , ස්ටර්ලින් පවුම ,යෙන් ඇතුළු අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව දැඩි ලෙස අවප්‍රමාණය වෙමින් පවතී.

2016 වසරේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 3.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මාර්තු මස 08 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී, තවදුරටත් සියයට 1.0 ක අවප්‍රමාණයක් වාර්තා කළේය.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතික හැසිරීම පිළිබිඹු කරමින් 2017 මාර්තු 08 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝවලට එරෙහිව සියයට 1.2 කින් ද, ස්ටර්ලින් පවුමට එරෙහිව සියයට 0.3 කින් ද, ජපන් යෙන්වලට එරෙහිව සියයට 3.2 කින් ද, කැනේඩියානු ඩොලරයට එරෙහිව සියයට 1.4 කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට එරෙහිව සියයට 5.6 කින් සහ ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 2.8 කින් ද අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ , වත්මන් ආණ්ඩුවේ ආකාර්යක්ෂම වැඩපිළිවෙල නිසා මේ තත්වය ඇතිවී ඇති බවයි.කෙසේ වෙතත් රුපියල රැක ගැනීමට තවදුරත් අණ්ඩුවට නොහැකි වුවත් ජනතාවට ආර්ථිකමය වශයෙන් දැඩි අසීරුතාවයකට මුහුණ පෑමට සිදුවන බව , ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවති.

මේ අතර ,ගිය වසරේ (2016) ජනවාරි සිට නොවැම්බර් දක්‌වා කාලය තුළ ශ්‍රී ලංකාවට ලැබුණු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය සියයට 34.4 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අනුව 2015 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්‌වා ශ්‍රී ලංකාවට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 677.6 ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ගිය වසරේ (2016) ජනවාරි සිට නොවැම්බර් දක්‌වා වූ කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 444.5 ක්‌ දක්‌වා පහත වැටී ඇතැයි ද එහි සඳහන් වේ.

වර්ෂ 2010 සහ 2015 අතර කාලයේදී ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සෘජු විදේශ ආයෝජන ලැබීම් සියයට 1.2 ක සාමාන්‍ය මට්‌ටමේ තිබිණි. මෙසේ සෘජු විදේශ ආයෝජන අඩුවීම ගැන අවධානය යොමුකර එම ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ශක්‌තිමත් කළ යුතු බවට මහ බැංකුව රජයට නිර්දේශ කරයි.