Home / ජනමතය / ධනපතියන් ට “ශ්‍රේෂ්ඨ” වූ රුසියන් විප්ලවයේ සියවස

ධනපතියන් ට “ශ්‍රේෂ්ඨ” වූ රුසියන් විප්ලවයේ සියවස

වැරදුනේ නම් මුල සිටම පටන් ගැනීම හැර විකල්පයක් නැත – හෝචිමිං

මට වැරදුනානම් මම යළි චිංකානා වලට (පළමු මූල කඳවුර) යමි- මාඕ

සිය වරක් වැරදෙන විට ජයග්‍රහණයට මා සමීප බව මම දනිමී. – ලෙනින්
මානව ඉතිහාසයේ හා ප්‍රගමනයේ දැවැන්තම ප්‍රයාණය 1917 රුසියානු විප්ලවය යි. එය සියවස් ගණනක් තිස්සේ, මාතෘ මූලික ප්‍රාථමික ගණ සංඝය බිඳ වැටීමෙන් අනතුරුව මනුෂය සමාජය මුහුණ දෙමින් සිටි අති දරුණු ව්‍යසනයකට එරෙහි “ප්‍රථම සංවිධීත ප්‍රහාරය” විය.එනම්, මානව වංශයේ ප්‍රගමණයට හා පෘථීවි පැවැත්මට එරෙහි විනාශකාරී නාස්තිකාරී පංති ආධීපත්‍යයට එරෙහි ප්‍රථම ප්‍රහාරය යි.

එය ශ්‍රෙෂ්ට වන්නේ, අරමුණ, කැපවීම හා පරිත්‍යාගය නිසා ය.එහෙත් එහි දුර්වල පැත්තක්ද තිබේ. ලෙනින් කී ලෙසට ” වැඩවසම් විය ගසේ දුර්වලම ලණු පට කැඩිණි” ඒ සා කැප කිරීමකින් පසුවත්,කළ යුතු දේ එලෙසින්ම ඉතිරිව තිබිණි.

එහෙත්, නිර්ධන පංති ව්‍යාපාරයට අද දක්වාම සප්‍රෝජනවත් වන අතිශය වැදගත් සදාකාලික පාඩම් දෙකක් ඉන් අප උගත්තේය. එකක් නිර්ධන පක්ෂයේ පංති සංවිධානය වන බෝල්ෂෙවික් පක්ෂ ආකෘතිය යි.දෙවනුව පංති අරගලයේ දී දැනුවත් දියුණු නායකත්වයේ අත්‍යාවශ්‍යතාව හා කැපවීමයි.. 1917 රුසියානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයත්, ජාත්‍යන්තරයේ නායකත්වයත් දැක් වූ, නිර්භීතත්වයත්, ප්‍රඥාසම්පන්න බවත්,උපායශීලීත්වය හා මානවවාදයත් ඊට පෙර හෝ පසු දේශපාලන ව්‍යාපාරයන්ගෙන් පිළිබිඹු ඒවා නොවේ..පාක්ෂීක දැනුවත්භාවය හා විනය ක්ෂණික බලය අත්පත් කර ගැනීමේ උවමනාවට ඉහලින් තැබීමට ඔවුන් හැම විටම උත්සහා කළේ ය.

අනික් අතට වෙනස් මත හා පෞර්ෂයයන් සමඟ දේශපාලනය කිරීමට තිබූ විශ්මයවහ හැකියාවයි.1917 සංසිද්දියේ දී ලෙනින්,ට්‍රොස්කි හා ස්ටාලින් එක්ව සිටියේ කෙසේදැයි යමකු පුදුමයට පත් කරවන තරම් වෙනස්කම් ඔවුන් සතුව තිබිණී.

විප්ලවය යනු බලය අත්පත් කරගැනීමේ යුද්ධය ජය ගැනීම නොවේ.විප්ලවය යනු මානව ප්‍රගමනයට හා පෘථීවි අනාගතයට බාධාකාරීව සිටින, සමාජ සම්බන්ධතා ජාලය පරාජය කොට, සියලු මානව ශක්තීන් සොබාදහම හා මනුෂය නිර්මාණශීලිත්වය අතර වන්නා වූ අපෝහක වර්ධනයට අවශය ඉඩ හසර පාදා දීමය.

එය හුදෙක් ආර්ථීක අරගලයක් නොවේ.කිසිසේත්ම ආර්ථීක අරගලයක් නොවේ.එහෙත් “මිනිසා කලාව ආගම විද්‍යාව ආදී කවර සංස්කෘතික ක්‍රියාකාරකමක ව්‍යාවෘත වන්නටත් පෙර, කෑ යුතුය ඇදිය යුතුය, හිසට වහලක් තිබිය යුතුයැ” යි මාක්ස් හෙළිදරව් කළේය.එහෙයින්,සියවස් ගනන් පරම්පරා ගණනක් කුසගින්නේ සිටි මිනිසුන්ට ආහාර ආදී මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙර දැරීම ද අපේක්ෂා කල යුතුය.එතෙකුඳු එය සුඛෝපභොගී කාමභෙෘ්ගී සම්පත් නාස්තියක් දක්වා ඌනනය නොකිරීමට පරිස්සම් විය යුතුය.

රුසියානූ විප්ලවය යනු, සෑම රුසියානුවෙකුටම සාර් පරපුර මෙන් නාස්තිකාර ජීවිතයක් ගත කිරීමට ඉඩ හසර සලසා දීමට පොරොන්දු වීමකැ යි අද දක්වාම ධනේශ්වර කුලී ලියන්නෝ ලියති.එහෙත් සතයය සපුරාම අනෙකකි.

1917 ඔක්තොම්බර් බලය අල්ලා ගැනීමෙන් පසු, පෙරමණු 15කින් සෝවියට් දෙශය වට කෙරිණි.අභ්‍යන්තරව රදළ හමුදා ද ප්‍රතිවිප්ලවීය මෙහෙයුමක නිරතව සිටියේ ය. තවද ලෝක යුද්ධයක ට මුහුණ දීමට එයට සිදු විය.

මෙහිදී සිදු වූ බරපතලම විනාශය නම් එක් පැත්තකින් පක්ෂය විසින් පුරුදු පුහුණු කරනු ලැබ සිටි දැනුවත් කාඩරය විනාශ වී යෑමය.අනික් අතට යුධමය වාතාවරණයක දී දේශපාලන පරිණතභාවය පරදවා සන්නද්ධ වටිනාකම් ඉහලට ඒමය.

ලෙනින් සිය අවසාන මොහොත ගත කරන ලද්දේ මේ එළඹෙමින් තිබුණු අනතුරට එරෙහිව අරගලයක නිරත වෙමින් සිටිය දී ය.එය බාහිර ප්‍රහාරයන්ට වඩා විනාශකාරී බව ලෙනින් ඇතුළු දේශපාලන නායකත්වය හොඳින් දැන සිටියේ ය. එහෙත් ඒ මතයේ සිටි බහුජන නායකයන්ගෙන් ප්‍රබලතමයා හා නායකත්ව මණ්ඩලයේ අනුහස් සංකේතය වූ ලෙනින් මියගිය වහාම සියල්ල පහසුවෙන් අවරටම හැරුණේ ය.ට්‍රොස්කි නිවැරදි දේශපාලනයට වඩා ස්ටාලින්ගේ අනිකා වීමේ චරිතයට පණපෙවූ අතර, සමස්ත දේශපාලන නායකත්වයම අදේශපාලනික ගිලටීනයකට දක්කන ලදී.

පෙර කී ලෙසට දැනුවත් පක්ෂ කේඩරය විනාශ වී සන්නද්ධ (මොවුන් බහුතර සත්‍යවශයෙන්ම ලුම්පන් ආකල්ප සහිත වූවන්ය) අංශය ඉස්මතු වී තිබුණුබැවින් තම සන්නද්ධ නායකයා වූ ස්ටාලින් ඉහලින් සැලකීමට ඔවුන් යොමු වීම ස්වභාවිකය.මාඕ,හෝ චි මිං,හෝ ක්‍රැස්තෝ මේ වරද කර ගත්තේ නැත.ඔවුහු ඉදිරි පෙරමුණු වල සන්නද්ධ සොල්දාදුවෝ වූහ.

එනයින්, සෝවියට් සමාජවාදී සමාජ විප්ලවයේ මූල හරය 1922 වන විට විනාශ වී යෑම ඇරඹී තිබිණි.1924 ජනවාරී 21 දින ස්ටාලින් රාජ්‍ය නායකත්වයට පත් වීමත් සමඟ විනාශය ස්ථීර විය.
ඉන් අනතුරුව සමාජවාදයේ නාමයෙන් හා සෝවියට් ජනතාවගේ අපරිමිත දහඩිය මහන්සියෙන් නව ධනපති රාජ්‍යයක් සකස් කිරීමේ ව්‍යායාමය ඇරඹිණි..එය නිසැකවම “සමාජවාදී ක්‍රම හරහා ධනපති ඉලක්කයන්ට ළගා වීමක්” මිස අන් යමක් නොවේ.1991 දී ඒ නාම මාත්‍රීක සමාජවාදී අධිරාජ්‍ය විසුරුවා හරිද්දී, එයට විරුද්ධව ලෝක පීඩිතයා අරගල නොකලේ මේ ඉතිහාසය නිසාය.

දැන් ගැටළුව මෙයයි.

1917 ඔක්තොම්බර් විප්ලවය ශ්‍රේෂ්ටත්වය සැමරීමට ධනපතියන් ඉදරිපත් වන්නේ ඇයි? එය ඔය තරම් ඔජ වඩන්නේ ඇයි? තමන්ගේ පැවැත්මට හා සුරක්ෂිත භාවයට මරු පහරක් වූ එකී සංසිද්ධිය උත්සවාකාරයෙන් සමරන්නේ ඇයි?

පිළිතුර සරලය.1917 ඔක්තොම්බර් ප්‍රයත්නය හැකිතාක් පුම්බා විශාල කොට,ඊට ත් වඩා අරගලයක් තිබිය නොහැකි බවට නිර්ධන පංතීන් අධෛර්යයට පත් කිරීම ය. එය මානව ඉතිහාසයේ විශිෂ්ටතම අත්හදා බැදීම බව යළිත් කියමු.එහෙත් එය “අසාර්ථකය”. එයින් උගත් පාඩම් නොවන්නට.ඉන් ඉස්මතු වූ උපක්‍රම හා සුසමාදර්ශී නායකත්වය හැරඉන් ඉතුරු වූ යමක් නැත.ඉන් දායාද කළ ධෛර්යයේ හා කැපවීමේ පාඩම උගැන්මට අන් තැනක් නැත.

1991 පසු ඉතිහාසය අවසාන යැයි ද, දැන් ලෝක පරිමාණ ව ධනවාදය තහවුරු ව අවසන් යැයි ද,මනුෂ්‍ය වර්ගයා ගේ දෛවය ලියැවී අවසන් බවද නන් දොඩවන ධනේශ්වර කපටින් හා බත්බැලයන්ට උත්තරදීමට සමාජවාදී නාමධාරී පක්ෂ රොඩු වල අලස නායකත්වය ඉදිරිපත් නොවීම ඒ අයගේ තාවකාලික ජයග්‍රහණයකි.
2017 වසර ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ සිය වැනි වසර සටහන් කරන වසර බව ‘ලංකාවීව්ස්‘ පාඨක ඔබට අපි කල්තබාම සිහිපත් කළෙමු. පසුගියදා මෙරට ධනපති නායකයන් සහභාගි කරගෙන ඔක්තෝබර් විප්ලව සමරුවක් කොළඹදී පැවැත්වුණු බව දැන් බොහෝ දෙනාට රහසක් නොවේ. පහත පළ කෙරෙන්නේ එම සිදුවීමට ප්‍රතිචාර ලෙස ‘ගාමිණි ඒකනායක‘ සහෘදයා විසින් facebook පිටුමත පළ කළ සටහනකි.

Check Also

ජනප්‍රිය පාසල් නිසා ජන අප්‍රිය වන අධ්‍යාපන ක්‍රමය

දරුවන් පාසලට ඇතුලත් කිරීම සම්බන්ධව වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අධ්‍යාපන ඇමතිවරයා අතරඇවිලුන සටන තවමත් අවසන්ව ...