Home / Featured / ශ්‍රී ලංකාවට නිදහස් සාමකාමී වාතාවරණයක් උදාවෙලා-කැනඩාවේ ශ්‍රී ලාංකික දෙමළ ව්‍යාපාරිකයන් අයෝජනයට සුදානම්

ශ්‍රී ලංකාවට නිදහස් සාමකාමී වාතාවරණයක් උදාවෙලා-කැනඩාවේ ශ්‍රී ලාංකික දෙමළ ව්‍යාපාරිකයන් අයෝජනයට සුදානම්

සාමකාමී දේශපාලන තත්ත්වයක් උදාවී තිබෙන ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආරම්භ කිරීම සදහා තමන් සූදානම් බව කැනඩාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික දෙමළ ව්‍යාපාරික පිරිස් පවසයි.

නිදහස් දේශපාලන තත්ත්වයක් උදාවී තිබෙන ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අවස්ථා පිළිබද සොයා බැලීම සදහා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කැනඩා දෙමළ මිත්‍රත්ව ව්‍යාපාරික ප්‍රජාව ඉකුත්දා (17) මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැදපුදා ගත්තේය.

කැනඩා පාරිලිමේන්තු මන්ත්‍රී යස්මින් රිටෙන්සි (Yasmin Ratansi) මහත්මිය ඇතුලු විසිදෙනෙකුගෙන් පමණ සමන්විත මෙම  ව්‍යාපාරික ප්‍රජාව මහනුවර දී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තෝය.

නිදහස් සාමකාමී වාතාවරණයක් උදාවී තිබෙන ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලාංකිකයන් ව්‍යාපාර ආරම්භ කිරිම වඩා සුදුසු වන බව මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ පැවසූහ. ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය වත්කම් මෙරට රැදී තිබීම වඩා උචිත වන බවත් මෙවැනි ව්‍යාපාර මගින් පුරවැසියන්ට රැකී රක්ෂා විශාල ප්‍රමාණයක් හිමිකර දිය හැකි බව ද උන්වහන්සේ අවධාරණය කළේය.

ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් අදහස් පළ කළ කැනඩා පාරිලිමේන්තු මන්ත්‍රී යස්මින් රිටෙන්සි මහත්මිය ශ්‍රී ලංකාවේ මේ වන විට සාමකාමී වාතාවරණයක් උදාවී තිබෙන බව තමන් කළ සංචාරයේදී දුටු බවත් ඒ අනුව කැනඩාවේ ව්‍යපාරිකයන් වන මෙම ශ්‍රී ලාංකික ප්‍රජාව සංචාරක, හෝටල්, කාර්මාන්ත හා නිෂ්පාදන අංශවලින් ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් මහා නායක හිමිපාණන් හමුවේ කියා සිටියාය.

අනතුරුව අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමිපාණන් වහන්සේ සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ බැහැදුටු එම පිරිස සිය සංචාරයේ අරමුණ උන්වහන්සේ වෙත පැහැදිලි කළෝය.

යුද්ධයක් පවතින වකවානුවේ රටක් සමාජ ආර්ථීක හා දේශපාලන වශයෙන් අර්බුදයකට පත්වන නමුත් මානුෂීය අරගලයක් වශයෙන් නිමා කරන ලද ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයෙන් පසු රට මේ වන විට සංවර්ධනය කරා යොමු වෙමින් පවතින බව අනුනායක හිමිපාණන් වහන්සේ සදහන් කළේය. අද වන විට මෙරට ආර්ථික වශයෙන් සංවර්ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරන බවත් ආයෝජකයන් මෙරට නිෂ්පාදන හා කාර්මාන්ත ක්ෂේත්‍රවල ආයෝජන කොට ආර්ථීක වශයෙන් රට ශක්තිමත් විය යුතු යැයි උන්වහන්සේ සදහන් කළහ.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ කැනඩා පාරිලිමේන්තු මන්ත්‍රී යස්මින් රිටෙන්සි මහත්මිය, ශ්‍රී ලංකාව අද සංවර්ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බවත් මෙරට සුවිශල් ආයෝජන අවස්ථා දියත් කිරීමේ හැකියාවක් පවතින බව ද ප්‍රකාශ කළාය.

කැනඩාවේ සිටින බොහෝ පිරිසක් ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබදව යම් බියකින් හා සැකයකින් පසුවන නමුත් අද ශ්‍රී ලංකාව වඩා යහපත් සමාජ දේශපාලන තත්ත්වයකින් යුතු බව අවබෝධවූ බව කී ඇය මෙසේ ප්‍රකාශ කළාය. අප මෙම සංචාරයට එක්වන විට ඇතැම් පිරිස් මේ ගමනට එක්වීමට බියවුණා. නමුත් අද ශ්‍රී ලංකාව සුරක්ෂිතයි. රට සංවර්ධනය වෙනවා. ව්‍යාපාර ආරම්භ කිරීම සදහා අද ශ්‍රී ලංකාව සුදුසු තෝතැන්නක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සදහන් කළාය.

ශ්‍රී ලංකා කැනඩා දෙමළ මිත්‍රත්ව ව්‍යාපාරික රත්නම් සභා ඉලංගකෝන් මහතා මෙහිදී අදහස් දක්වමින් සිය යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර වැනි ප්‍රදේශවල තමන් සංචාරය කළ බවත් මෙම වර්ෂය අවසන් වීමට ප්‍රථම කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙරට ව්‍යාපාර ආරම්භ කිරීමට කටයුතු කරන බව කීවේය.

සුකුමා ගනේෂන්, කුලා සෙල්වතුරෛයි, සෑම් මුතුලිංගම්, චන්ද්‍රා ආර්යා යන ව්‍යාපාරිකයන් ද මේ අවස්ථාවට එක්විය.

අනතුරුව මෙම දූත පිරිස මධ්‍යම පළාත් සභාවේදී  ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද හමුවිය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

vlcsnap-2017-03-17-12h31m55s618 vlcsnap-2017-03-17-12h32m11s502 vlcsnap-2017-03-17-12h33m32s185 vlcsnap-2017-03-17-12h35m11s953

Check Also

අකිල විරාජ් මේ හදන්නේ පන්සල් වහන්න- හාමුදුරුවෝ පුරාවස්තු පෙන්වලා දුෂණ,වංචා කරලා

දඹුලු ලෙන් විහාරය මධ්‍යම සංස්කෘතික අරමුද‍ලට පවරා ගනිමින් පන්සල් යැපිම සදහා ලැබෙන අදායම නැතිකර දැමිම ...