Home / Featured / විරුවන්ගේ විත්තිවාචකය විදෙස් විනිසුරන්ගේ ආගමනයට රතු කොඩියක්ද? කොළ කොඩියක්ද?

විරුවන්ගේ විත්තිවාචකය විදෙස් විනිසුරන්ගේ ආගමනයට රතු කොඩියක්ද? කොළ කොඩියක්ද?

පසුගිය සතියේ තරම් ජිනීවා මානව හිමිකම්කොමිසමේ කටයුතු සම්බන්ධව ජනතාව සාකච්ඡා කළ ආකාරයක් මෙයට පෙර දකින්නට නොවීය. 2009 මැයි 19 දින ප්‍රභාකරන් නන්දිකඩාල් කළපුවේදී මිය ගිය මොහොතේ සිටම ඉංග්‍රීසි ගැති මානසිකත්වයෙන් පෙළෙන්නෝ, බෙදුම්වාදීන් එනම් බටහිර අනුකාරකයෝ ලංකාවේ රාජ්‍ය නායකයින් සහ යුධ විරුවන්ව ජිනීවා මානව හිමිකම් උගුලේ හසු කරන හැටි ගැන ඇගිලි ගණිමින් සිටියේ ය. දෙමළ ඩයස්ෆෝරාවේ මෙහෙවීමෙන් මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව හරහා නිර්මාණය කරගත් යුධ අපරාධ දර්ශන ඇතුළත් වීඩියෝ පට කිහිපයක් අන්තර්ජාතිකව මුදා හරිමින් ලාංකීය හමුදාවෝ යුධ අපරාධ සිදුකර ඇති බවට පුළුල් ප්‍රචාරයක් ලොව පුරා ගෙන ගියහ.

ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින බෙදුම්වාදී අරමුණු සහ ඉලක්ක ඇති මන්ත්‍රීවරු මෙන්ම ඩොලර් වලින් යැපෙන සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් ලංකාවේ හමුදා යුධ අපරාධ උගුලට හසුවන වාර්තා ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති බවත්ඒ සමගම වාර්තා විය. හිටපු නීතිපතිවරයෙකු වූ ශීවා පසුපතිද ඒ අතර විය. ඒ සමගම සිහි කළ යුත්තේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණවිනිසුරුවරයෙක් වූ සී. වී. විග්නේශ්වරන් විසින් ‍උතුරු පළාත් සභාවේ මහ ඇමති වී උතුරු නැගෙනහිර වෙනම ඒකකයක් ලෙසට යෝජනා ‍උතුරු පළාත් සභාවේ සම්මත කරමින් කටයුතු කර ඇති බවයි.

අන්තර්ජාතිකව යුධ අපරාධ චෝදනා ලංකාවේ රජයට සහ ලංකාවේ හමුදාවලට එරෙහිව එල්ලවෙද්දී නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් නිරන්තරයෙන් ජිනීවා බලා ගුවන්ගත වෙමින් ජාත්‍යන්තර යුධ අපරාධ උගුලෙන් රට නිදහස් කර ගැනීමට පියවර ගන්නා ආකාරයද අපි මාධ්‍ය ඔස්සේ බලා සිටියෙමු. ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් මේ වෙනුවෙන් වැයකරනු ජනතාව අපේක්ෂා සහගතව බලා සිටියේ ය. එවකට පැවති රාජපක්ෂ රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් මූන් මහතා සමග සාකච්ඡා කරන ආකාරයත් මාධ්‍ය ඔස්සේ පළ විය.

මේ සියලු කරුණු ජනතාව විසින් බලා සිටියා මිස වෙන්නේ මොනවාද? කරන්නේ මොනවාද යන්න පිළිබද නිවැරදි අවබෝධයක් මහජනතාවට නො වීය. 2010 පැවති ජනාධිපතිවරණයේ දී ජයග්‍රාහී යුද්ධයේ යුධ හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා වී පරාජයට පත් වනු ද ජනතාව බලා සිටියේ ය. 2010 ජනාධිපතිවරණයත් සමගම එකී පරාජිත අපේක්ෂකයා  විවිධ චෝදන මත අත්අඩංගුවට පත් වූ අතර අවසානයේ මහාධිකරණ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් චෝදනා විභාග කර විනිසුරුවරු 2කුගේ තීරණය මත බන්ධනාගාර ගත කරනු ලැබීය. යුධ ජයග්‍රහණයෙන් පසු යුද්ධයේ විරුවන් දෙපැත්ත බෙදී ඇනකොටා ගත් අතර ඉන් බෙදුම්වාදීන් වාසි ගත්තේ බොරදියේ මාළු බෑමට ඔවුන් වඩාත් දක්ෂ හෙයිනි.

යුධ පරාජ ලැබූ රටවල ජනතාව මෙන් නොව යුධ ජය ලැබූ ලංකාව ජයග්‍රහණය පරාජයක් බවට පරිවර්තනය කර ගනිමින් සිටින බව ලොවට ප්‍රදර්ශනය කළේය. 2015 ජනාධිපතිවරණයේ දී තමන්ගේම පක්ෂයේ ලේකම්වරයා සමග තරග කිරීමට සිදු වූ ජනාධිපති අපේක්ෂක රාජපක්ෂ මහතාට 2015 ජනවාරි 08 වැනි දින සිය අමිහිරිම පරාජය විද දරා ගන්නට සිදු විය.

මේ කෙසේ කොයි ආකාරයෙන් කටයුතු සිදු වුණත් 2017 මාර්තු දක්වාම ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත හමුදාව පාර්ශවයෙන් හෝ රජයේ පාර්ශවයෙන් තමුන්ට එල්ලවන චෝදනා වලට විත්තිවාචක ඉදිරිපත් කිරීමක් දක්නට නොවීය. එමෙන්ම ජිනීවා මානව හිමිකම් කොමිසම ලංකාව සම්බන්ධව දෙමළ ඩයස්ෆෝරාව විසින් නිර්මාණය කර ඇති යුධ අපරාධ සම්බන්ධව විභාග කිරීමට විදෙස් විනිසුරුවරු ලංකා භූමියේ නඩු විභාග කළ යුතු බවට වන ස්ථාවරයේ ද වෙනසක් නොවීය. හුසේන් කුමාරයා ගේ උවමණාව වූයේ විදෙස් විනිසුරුවරු ලංකාවට පැමිණ නඩු විභාග කළ යුතු බවයි.

එවන් තත්ත්වයක් තුළ තනි අතින් අත්පුඩි ගැසිය නොහැකි බව දන්නා දෙමළ ඩයස්පෝරාවට මද අත්වැසිල්ලක් වූ සිදුවීමක් පසුගිය සති කිහිපයේ සිට කඩිමුඩියේ ලංකාවේ සංවිධානය වෙමින් පැවතීම සම්බන්ධව මේ ලේඛකයා අවධානයෙන් සිටියද ඒ සම්බන්ධව සිය අදහස් දැක්වුවද සිය පෑන මෙහෙයවීමට උත්සාහ නොගත්තේ ය. මේ ඒ සම්බන්ධව ලියවෙන පළමු ලිපියයි.

මේ අකාරයේම වූ සිදුවීමක් 2016 අංක 14 දරන අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටුකිරීම) පනත සම්මත කිරීමේ දී ද සිදුවිය. විරුවන්ගේ විත්තිවාචක නිර්මාණය කරන නීතීඥවරු එදා එනම් 2016 අගෝස්තු 23 දින කථානායක සහතික කළ සහ  පාර්ලිමේන්තුව හරහා සම්මත කරගත් අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටුකිරීම) පනතේ 27.(iii) වගන්තියේ දැක්වෙන“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූජාත්‍යන්තර සම්මුතියේ” (International Convention for the Protection of All Persons from Enforced Disappearances) ‘අතුරුදහන් තැනැත්තාට’ අදාලප්‍රතිපාදනවල වලංගුතාවය පිළිබද අවබෝධ රහිතව සිටියේ ය. විරුවන්ගේ විත්තිවාචකයක අවශ්‍යතාවය පිළිබද සමාජගත කරන පිරිස එකී පනතේ 27.(iii) වගන්තිය සම්බන්ධව එදා මුණිවත රැක්කේ ය. එකී බිහිසුනු වගන්තිය නොදුටුවා සේ සිටිමින් එය අතපසුවීමක් බව පසුව කීවේය.

දෙමළ ඩයස්ෆෝරාවේ බලපෑම මත ශ්‍රී ලංකාව  “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය” හෙවත්International Convention for the Protection of All Persons from Enforced Disappearances අත්සන් කරන ලද්දේ 2015 වසරේ දෙසැම්බර් 10 වැනි දින දීය. මහින්ද රාජපක්ෂරජය සමයේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් මෙම ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරනලෙස බලපෑම් කළද ඒ සදහා අවනත වීමට එම රජය ක්‍රියා නොකළේ ය.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය” පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොකර කූඨඋපාය ලෙස නීතිගත කර ගැනීමට වර්තමාන යහපාලන-සංහිදියා ආණ්ඩුව ක්‍රියා කර තිබුණද විරුවන්ගේ විත්තිවාචක නිර්මාණය කරන පිරිසට එහි ඇති අනතුර අවබෝධ වූයේ මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමියන්, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කුලපති පී. ඩබ්. ඈපෑසිංහ ඇතුළු වෛද්‍යවරුන්, නීතීඥවරුන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් එකී බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය”  සිංහල පිටපතක් ඉල්ලා සිටි විටය. (මේ දක්වා එකී සම්මුතියේ සිංහල පිටපත ලබා දී නැත)

 2016 අංක 14 දරන අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටුකිරීම) පනතපාර්ලිමේන්තුව, රට සහ ජනතාව රවටමින් සම්මත කළ සහ “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය” ලංකාවේ නීතියට ඇතුළත් කිරීමේ මෙහෙයුමක ප්‍රතිඵලයකි.VAT පනත2016 අගොස්තු 11වැනිදා සම්මත කිරීමට නියමිතව තිබුණ අතර ජනතාවගේ සහ පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන්ගේ ඇසට වැළි ගසමින් වත්මන් යහපාලන සංහිදියා ආණ්ඩුව විසින්අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටුකිරීම) පනත් කෙටුම්පත ඒකාධිපති ආකාරයට එදින සම්මත කර ගැනීමට ක්‍රියා කරන ලදී.

විරුවන්ගේ විත්තිවාචකය

නංගී පෙන්වා අක්කා දීමට සමත් සමාජ ක්‍රියාකාරීන්ගෙන් ලංකාව පොහොසත් බව කියන්නේ ඉහත ආකාරයේ බරපතල නීතිවිරෝධී ක්‍රියාවන් සිදුවන විටය. පසුගිය 13 වැනිදා යම් කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කළ කඩිනම් මෙහෙයුමකින් උප්පත්තිය ලද ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට සකස් කළ විරුවන්ගේ විත්තිවාචකය කියවිය යුත්තේ එවැනි සන්දර්භයක් තළය. (Scenario) ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව යුද අපරාධ සිදුකර නැති බව දැක්‌වෙන පිටු 200 කින් සමන්විත විමර්ශන වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් මේ ආකාරයේ වාර්තාවක් මීට පෙර , මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් වී නැති බවත් වාර්තා වී ඇත.

මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රි ලංකාවට එල්ල කරන යුද අපරාධ චෝදනාවලට පිළිතුරු එහි ඇතුළත් වී ඇති බවත් ඒ සම්බවන්ධවජිනීවා සමුළුව ඇමතීමට එහි නිර්මාතෘවරුන් නියමිත බවත් වාර්තා විය.

ඊළම් ඩයස්‌පෝරාව ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බව පවසමින් මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය තොරතුරු යොමු කර කර ඇති බැවින් කොටි සංවිධානය සිදු කළ යුධ අපරාධ 340 කට අදාළ තොරතුරු ජිනීවාහි සිටින එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු නව තානාපතිනි නිකී හේලි සහ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා විය. තවද ජාතික සංවිධාන සම්මේලනයේ මෙහෙයවීම සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ අනුග්‍රහය යටතේ පිළිගත් ස්‌වාධීන විද්වත් නීතිඥ මඩුල්ලක්‌ විසින් හමුදාවට එරෙහිව නගන ලද යුද අපරාධ චෝදනා සියල්ල නිෂ්ප්‍රභ කරමින් රණවිරුවන්ගේ නිර්දොෂී භාවය සහ ගෞරවය තහවුරු කරමින් සවිස්‌තරාත්මක වාර්තාව සකස්‌ කර ඇති බවත්, කොටස්‌ දෙකකින් සමන්විත මෙම විද්වත් වාර්තාවේ පළමු කොටස නීති තර්ක සහ කරුණුමය සාක්‍ෂි අඩංගු වන අතර දෙවන කොටස පෙර සඳහන් කළ ලෝ පිළිගත් යුද විශේෂඥයන් සකස්‌ කළ විද්වත් වාර්තා 7 කින් සමන්විත බවත්, සිංහල ජනතාවගේ පැත්තෙන් ඉදිරිපත් වන මුල්ම වාර්තාව මෙය වන බවත් මෙම වාර්තාව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට පෙර එය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ද ඉදිරිපත් කර ඇති බවත් වාර්තා විය.

සමාජ ක්‍රියාකාරීන් සිරගත තර තිබියදී විරුවන්ගේ විත්තිවාචකය කරළියට පැමිණීම

විමල් වීරවංශ යනු බ්‍රිතාන්‍ය විසින් ලංකාවට හදුන්වා දුන් අධ්‍යාපන ක්‍රමයේ උපාධි ගත්තෙක් නො වේ. දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් තම අධ්‍යාපනය සහ වෘත්තීය දිවිය අහිමිකරගත් නමුත් ජීවිතය බේරාගත් ක්‍රියාකාරීන් අතර අද දවසේත් සිය සමාජ යුතුකම ඉටුකරන චරිතයක් ලෙස විමල් හදුන්වාදිය හැකි නමුත් පුද්ගලයකුට හිමවන දුර්වලතා වලින් ඔහු සම්පූර්ණයෙන්ම මිදී ඇති බවද කිව නො හැකිය. එසේ වුවද, බ්‍රිතාන්‍ය විසින් ලංකාවට අත් කර දී තිබෙන අවුල් ලෙහා දැමීමට විමල් සතුවූ මහත් දැනුමක් පවතින බව ඔහුගේ දේශපාලන භාවිතය තුළ පැහැදිලි වේ.

මැකොලි සාමිවරයා මෙන්ම ජෝන් ඩොයිලිලාගේ සටකපට උපක්‍රම පිළිබද නිවැරදි අවබෝධයක් විමල් සතු බව ප්‍රකට විය. කලුසුද්දන්ගේ සටකපටි උපක්‍රම මැනවින් ඔහු හදුනාගෙන ඇති බව දර්ශනය විය.දේශප්‍රේමීන්අතර සිටින කලුසුද්දන් කවුද යන්න ඔහු අවබෝධ කර ඇති බව ප්‍රකාශිත ය. උතුරු නැගෙනහිර බෙදුම්වාදී යුද්ධය අවසන් කර ගැනීම වෙනුවෙන් ඔහුගෙන් ලද දායකත්වය සුළු පටු නොවේ. එවන් තත්ත්වයක් තුළ විමල් වීරවංශ සිරගත කර තිබීම කාගේ අවශ්‍යතාවයක් මත සිදුවන්නේද යන්න තීරණය කිරීමට මෙය අවස්ථාව නොවුණද බටහිර ගැති අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම ලබා, රාජ්‍ය නොවන සංවිධාන මත පරපෝෂිතයින් වී විදේශ සංචාර සිහින දකින්නවුන්ව දැඩිව විවේචනය කළ අයෙකු සිරගත කර ඇත්තේ තීරණාත්මක හෝරාවේ බව ලේඛකයාගේ අදහසයි. තමන් සමග සිටින්නවුන් පවා තීරණාත්මක අවස්ථාවේ වැරදි කරන විට එය අනුමත නොකර තම මතය වෙනුවෙන් පෙනී සිටි අතීතයක් විමල් වෙතින් දර්ශනය විය.

එවන් තත්ත්වයක් තුළ විරුවන්ගේ විත්තිවාචකය තම පිළේ සගයින්ගේ නිර්මාණයක් වුවත් විමල් නිදහසේ එළියේ සිටියේ නම් ඔහු දක්වන ප්‍රතිචාරය කුමක් විය හැකිද යන්න අවබෝධ කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණෙන් පවා ඔහු ඉවත් වූ හේතු අධ්‍යයනය කිරීමේ දී ය. විමල් සිරගත කර ඇත්තේ වාහන අවභාවිතය යන සිල්ලර කරුණු මත වුවද, සිරගත කළ සැබෑ හේතුව පැහැදිලි වන්නේ ජිනීවා උගුල සදහා ඇමිණෙන්නට දේශප්‍රේමීන් යැයි කියන්නවුන් පවා දක්වන ආශාවේ තරම පෙනෙමින් පවතින විටය. සිරගත කර සිටින විමල් මේ වන පවා විට බ්‍රිතාන්‍ය විසින් හදුන්වාදුන් ඉංග්‍රීසි නීතියේ සහ අධිකරණ ක්‍රමයේ තරම මැනවින් අවබෝධ කරමින් නො සිටිනවා විය හැකි ය.

වත්මන් යහපාලන සංහිදියා ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙලේ අංග පිළිවෙලින් කරළියට එන අවස්ථාවක අවශ්‍යතාවය අනුව තෝරාගත් පුද්ගලයින් බන්ධනාගාරගත කිරීමත් සිදුවන බවත් යහපාලන සංහිදියා ආණ්ඩුවට හිතවත් නිලධාරීන් අදාල විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ මර්මස්ථානවල ස්ථානගත කරමින් පවතින බවත් අද ප්‍රසිද්ධ සමාජ රහසකි. නේල්සන් මැන්ඩේලා වැන්නවුන් වසර 27ක් ම යුක්තිය ඉහළින්ම ඉටුකරන්නේය කියන බ්‍රිතාන්‍ය නඩුකාරයින් සහ අගවිනිසුරුවරුවිසින් අදුරු සිරකුටියක ලැග්ගවූ බව ද ජනතාව අවබෝධ කිරීම වටී.

විරුවන්ගේවිත්තිවාචකය මත පැනනගින නීතී ගැටළු

2009 මැයි මස 19 දින යුද්ධය අවසන් කළ දිනයේ සිට මේ දක්වාම පවතින රජයයන් අන්තර්ජාතික වශයෙන් හමුදා සාමාජිකයන්ට එරෙහිව එල්ලවන යුධ අපරාධ පීඩනය සහ අනතුරු සම්බන්ධව නිවැරදි තොරතුරු ජනතාවට ලබා නොදීමේ වරද විරුවන්ගේවිත්තිවාචකය ඉදිරිපත් කර ඇති විරුවන්ගේ විත්තිවාචක කණ්ඩායමද සිදුකර ඇත. 1815 පාවාදීමේ ගිවිසුම පවා සිංහලයෙන් ලිවීමට සමත් වුවද බ්‍රිතාන්‍ය කිරීටයේ බලයට යටවීමේ හේතුවෙන් ඉන්පසු කිසිම ජාත්‍යන්තර ලියවිල්ලක සිංහල පරිවර්තනයක් සිංහලයන්ට කියවීමට ලැබී නැත. ලංකාවේ කලු සුද්දන්ගේ අදහස වන්නේ ජාත්‍යන්තර ලියවිල්ලක සිංහල පිටපත් සිංහල ජනතාවට දීම සුදුසු නොවන බවයි.

සිංහල ජනතාව එවැනි අවාසනාවක ගිලී සිටිද්දී සිංහල ජනතාවට තොරතුරු නොදීම මෙන්ම ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ නිදහසද ආණ්ඩුව වගේම මේවිරුවන්ගේ විත්තිවාචක කණ්ඩායමත් අහිමිකරමින් සිටී. විරුවන්ගේ විත්තිවාචකය ජිනීවා මානව හිමිකම් කොමිසමට මිස බහුතර සිංහල ජනතතාවට කියවීමට නැත්තේ මේ විත්තිවාචක හදන පිරිස බ්‍රිතාන්‍යයට මිස සිංහල භාෂාව කථාකරන අය වෙත තොරතුරු දීම අනවශ්‍ය බව සිතන නිසා විය හැකිය.එසේ නැත්නම් විරුවන්ගේ විත්තිවාචක නිර්මාණය කරන අය කලුසුද්දන් ලෙස හිතන නිසා හෝ හිතෙන නිසා විය හැකිය. ඔවුන් එංගලන්තයේ නීති අධ්‍යාපනය ලැබූ අය වීම නිසා විය හැකිය.මොවුන් ඒ සදහා දෙන පිළිතුර ලංකාවේ අයට නොව ජිනීවාවලට අප කථා කරනවා යන සිල්ලර තර්කය විය හැකිය. එවැනි පිළිතුරු හාස්‍යජනක වුවත් ලංකාවේ සිංහල ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තරයට දෙන ලියවිල්ලක් සිංහල භාෂවෙන්ද තබා ගැනීමට දේශප්‍රේමීන් පියවර ගත යුතු බව අමතක නොකළ යුත්තේ මුල් පිටපත තම මව් භාෂාවෙන් පවත්වා ගැනීමට ස්වාධීන රටක ජනතාවට අයිතියක් ඇති හෙයිනි. මන්ද භාෂාව අතර පැටලැවිල්ලක් ඇති වූ විට එය ලෙහා ගැනීමට මුල් පිටපත මනා සහයක් සපයන හෙයිනි.කලුසුද්දන් විසින් හදන ලියවිලිවල සැබෑ අර්ථය දන්නේ කලු සුද්දනම පමණක් බවද ජනතාව තේරුම්ගත යුතුය. දෙමළ ඩයස්පෝරාවේ යටි අදහස් සිංහලයින් ඉදිරිපත් කරන ලේඛන වලට පැමිණිම වැළක්විය හැක්කේ සිංහල භාෂාවෙන් මුල් පිටපත තබා ගැනීමෙන් පමණි.

විරුවන්ගේ විත්තිවාචකය සම්බන්ධ උත්සවය පසුගිය 13 වැනිදි තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිමන්දිරයේදී පැවති අතර එයට සහභාගී වූ සිංහලයන් කී දෙනෙකු මෙම ලියවිල්ල තම මව් බසින් කියවා තේරුම් ගත්තාද යන්න කිව හැකිද යන ප්‍රශ්නයට පිළිතුරු ලැබිය යුතුය.

සත්‍ය එළිදරව්වීම යටපත් කිරීම සදහා ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීම

ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාව අනුව නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු බව දක්වා තිබුණද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු කටයුතු ප්‍රසිද්ධියේ පවත්වන්නේ ඉංග්‍රීසි භාෂාව දන්නා අයට පමණක් හෙයින්ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේසත්‍ය එළිදරව්වන්නේ ඉංග්‍රීසි භාෂාව දන්නා ඉතා සුළු පිරිසකට පමණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු කටයුතුවල සත්‍ය සිංහල ජනතවාට එළි දරව්වන ආකාරයක් වර්තමානයේ පවා නැත.  ඒ අනුව යමින් විරුවන්ගේ විත්තිවාචකයද සිංහල ජනතාවට මේ දක්වා ලබා දීමට කිසිවෙකු උත්සාහ දරා නැත්තේ එමගින් සිංහල සත්‍ය එළිදරව්වන නිසාද යන්න කිව නොහැකිය.

දෙමළ ඩයස්පෝරාවේ මෙහෙවීමෙන් මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් නිර්මාණය කරගත් යුධ අපරාධ දර්ශන ඉදිරිපත් කළ පමණින් සහ ඔවුන් ඒකපාර්ශවිකව ඒවා ඉදිරිපත් කළ පමණින් කිසිවකු වැරදිකරුවන් ලෙස නම් කිරිමට හැකියාවක් නැත. සදාම් හුසේන් වෙත මරණ දඩුවම පැමිණවීම සදහාම එකී නඩුව විභාග කළේ වුවද එකී නඩු විභාගය ද්වීපාර්ශවිකව පැවැත්වූ බවට ජනතාව හමුවේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළේය.

2009 යුද්ධය අවසන් කළ අවස්ථාවේ සිට ලංකාවේ ජනතාවගේ ජාතිකත්වය වෙනුවෙන් වන අරගලය ඇරඹිය යුතුව තිබුණද රට තුළ සහ ඉන් පිටත සිටින රටට හතුරු බලවේග රටේ ජාතිකත්වය පරාජය කිරීම සදහා කටයුතු කිරීමේ මුලික ක්‍රියාන්විතය ජීනීවා මානව හිමිකම් උගුල අටවමින් දියත් කරනු ලැබීය. එහිදී බ්‍රිතාන්‍ය ගැති රාජ්‍ය නොවන සංවිධානත්, සිංහල මව් බසේ අගය නොදන්නා පිරිසත්, විදේශ සංචාර වෙනුවෙන් ආසාව ඇති පිරිසත්, බ්‍රිතාන්‍යයේ නීති උපාධි ගත්තෝද යොදා ගනිමින් ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා දෙමළ ඩයස්පෝරාව තමන්ගේ අරමුණු වෙනුවෙන් උපක්‍රමිකව ලගා විය. අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටුකිරීම) පනතේ 27.(iii) වගන්තිය පිළිබද අවබෝධයක් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නා රටක ජනතාවගේ අයිතිවාසිකම් මේ අකාරයට අහිමි වීම සහ උල්ලංඝණය කිරීම වැළක්විය නොහැක.

විරුවන්ගේවිත්තිවාචකය මගින් සිංහල ජනතාව ජිනීවා මානව හිමිකම් කොමිසමේ යුධ අපරාධ විමසීමේ අධිකරණ බලය පිලිගත්තාද?

විරුවන්ගේවිත්තිවාචකය ජිනීවා මානව හිමිකම් කොමිසමට සිංහල ජනතාවගේ පැත්තෙන් දෙමළ ඩයස්පෝරාවට එරෙහිව ඉදිරිපත් කළ නීතිමය වශයෙන් වලංගු හමුදා ප්‍රධානීන්ගේ අත්සන් සහිත පළමු නිල ලියවිල්ලයි. එනම් ඒ සමගම පැහැදිලි කරගත යුත්තේදෙමළ ඩයස්පෝරාවේ මෙහෙවීමෙන් මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් නිර්මාණය කරගත් යුධ අපරාධ චෝදනා ලැබූ හමුදා නිලධාරීන්ගේ අත්සන් සහිතව විරුවන්ගේවිත්තිවාචකය ජිනීවා වෙත ඉදිරිපත් කිරීම බරපතල නෛතික විපාකයන් ඇති කරනු අනාගතයේ පැහැදිලි වනු ඇති බවයි.නරින් රංචුවක් වෙත කුකුළන් සිය කැමැත්තෙන් යැම මෙහි ඇති ගැටළුවයි.

මෙම ලියවිල්ල ඉදිරිපත් කළ පමණින් ජිනීවා මානව හිමිකම් කොමිසම එය නිවැරදි බවට විනිශ්චයකට පැමිණෙන්නේ නැති බවත් අවබෝධ කිරීම වටී. දෙමළ ඩයස්පෝරාවේ මෙහෙවීමෙන් මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් නිර්මාණය කරගත් යුධ අපරාධ දර්ශන ඉදිරිපත් කළ පමණින් එය නිවැරදි බවට ද ජිනීවා මානව හිමිකම් කොමිසමට විනිශ්චයකට පැමිණිය නොහැකි ය. දැන් දෙපැත්තේම කරුණු සහ සාක්ෂි ඇති හෙයින් සහ දෙපැත්තේම සාක්ෂිකරුවන් ඉන්නා හෙයින් විදේශීය විනිසුරුවරු ඉදිරියේ නඩු විභාගයක් පැවැත්වීමට දැන් කිසි නෛතික බාධාවක් නැති බවට කෙනෙකුට ප්‍රභල තර්කයක් ගෙන ආ හැකිය. එම තර්කය බිද හෙළිය යුතුය.මන්ද විරුවන්ගේවිත්තිවාචකය ඉදිරිපත් කිරීමට දායක වූ අය මිස වෙනත් පුද්ගලයින් සම්බන්ධව තීරණයක් ගැනීමට ජිනීවා මානව හිමිකම් කොමිසමට නීතිමය හැකියාවක් නැති බවයි.

දැන් රාජ්‍ය නොවන සංවිධාන දෙකක් අන්ත දෙකකින් සාක්ෂි සහිතවතමන්ගේ වාර්තා ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර හමාරය.ජිනීවා මානව හිමිකම් කොමිසමට යම් අවනඩුවක් විභාග කිරීමට රජයකින් හෝ ආණ්ඩුවකින්පමණක් සිය පැමිණිල්ල හෝ විත්තිවාචකය ඉදිරිපත් කළ යුත්තේ නොවේ. රජයක් හෝ ආණ්ඩුවක් කළ යුත්තේ ජිනීවා මානව හිමිකම් කොමිසම සිදුකරන විමර්ශනය හෝ විභාගය සදහා පහසුකම් සැළසීමයි. ලංකාණ්ඩුවට ඉදිරියේ සිදුවනු ඇත්තේ දෙමළ ඩයස්ෆෝරාව සහ සිංහල ඩයස්ෆෝරාව ඉදිරිපත් කරන සාක්ෂිකරුවන් හමුවේ ජිනීවා මානව හිමිකම් කොමිසම සිදුකරන විභාග/විමර්ශන සදහා පහසුකම් සැළසීමයි. වර්තමාන යහපාලන-සංහිදියා ජාතික ආණ්ඩුවට අවැසි වන්නේත් එයයි.අඩන්න සිටි එකාට ඇගිල්ලෙන් ඇනීමක් විරුවන්ගේවිත්තිවාචකය ඔස්සේ සිදුවුණාද යන්නත් විමසීම වටී.අහක යන නයි රෙද්ද අස්සේ දා ගැනීමට සිංහලයා අතීතයේද අති දක්ෂය.

විරුවන්ගේ විත්තිවාචකය හේතුවෙන් සිදුවිය හැක්කේ එයට අත්සන් තබා ඇති පුද්ගලයින් ජිනීවා වලට ගෙන්වා හෝ ජිනීවා මානව හිමිකම් කොමිසම පත් කරන විනිසුරුවරු ලංකාවට පැමිණ හෝ ඒ සම්බන්ධව සාක්ෂී විමසීමක් පැවැත්වීමයි. මෙතෙක් කල් ජිනීවා මානව හිමිකම් කොමිසම සිදු කළේ දෙමළ ඩයස්පෝරාවේ මෙහෙවීමෙන් මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් නිර්මාණය කරගත් යුධ අපරාධ චෝදනා මත ඒක පාර්ශවිකව විමර්ශනය සිදු කිරීමයි. ඒ සම්බන්ධව විදේස් නිරීක්ෂකයින් උතුරු නැගෙනහිර පළාත්වලට පැමිණ තොරතුරු ලබා ගත් බවටද වාර්තා පළවිය.

විරුවන්ගේ විත්තිවාචකය ජිනීවා මානව හිමිකම් කොමිසම අතට පත් වීමත් සමග සිදුවන්නේ සිංහල ජනතා විරෝධයෙන් ආරම්භ කර තිබූ යුධ අපරාධ සෙවීමේ මෙහෙයුමට අර්ධසුජාතභාවයක්/ semi legitimateලැබීම පමණි. ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් නම් කරන ජාත්‍යන්තර විනිසුරුවරු ලංකාවට පැමිණ යුධ අපරාධ වුයේද යන්න සොයන විට ජිනීවා වෙතම ගොස් වාර්තා ඉදිරිපත් කළ සිංහල කණ්ඩායම්වලට ඒ සදහා විරුද්ධ වීමේ අයිතිය, උද්ඝෝෂණය කිරීමට ඇති අයිතිය අත්හැර ගැනීමට සිදුවෙයි. ජිනීවා මානව හිමිකම් කොමිසම මින් ඉදිරියට යුධ අපරාධ විමසීම සම්බන්ධව ගන්නා පියවරවලට එරෙහිව විරුවන්ගේ විත්තිවාචක කණ්ඩායමට එකගත්වයෙන් වැඩ කිරීමට සිදුවීම වැළැක්විය නොහැකි ය. මන්ද ඔවුන්ද දැන් ජිනීවා මානව හිමිකම් කොමිසමේ ලංකාව සම්බන්ධව යුධ අපරාධ සෙවීමේ පාර්ශවයක් වී ඇති හෙයිනි. ඒ අනුව විරුවන්ගේ විත්තිවාචක ඉදිරිපත් කළ කණ්ඩායමට ඉදිරියේදී නිරන්තරයෙන් ජිනීවා යාමට අවස්ථාව විවර වෙයි. සිවාජලිංගම් ඇතුළු ෆෙඩරල්වාදීන් සමගම විරුවන්ගේ විත්තිවාචක කණ්ඩායමටත් ඉදිරියේදී එකම ගුවන්යානයෙන් ජිනීවා යා හැක්කේ සාම සාකච්ඡා සදහා කරුණා ගුවනින් කොළඹ ආ ආකාරයටය. අවසානයේ සිදුවන්නේ සිංහල භාෂාව විනාශකරගත් ජාතිකත්වය සිදගත් රටක කලු සුද්දන් විසින් රට පාලනය කිරීම තහවුරු වීමයි.

විරුවන්ගේවිත්තිවාචකයදේශප්‍රේමීන් යැයි කියන අය විසින් ඉදිරිපත් කළද ජිනීවා යුධ අපරාධ උගුලට හසුවීමට සිංහල ජනතාව ක්‍රියා නොකළ යුත්තේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන්න ජනතාව මැනවින් අවබෝධ කර ඇති හෙයින්. විදේශ සංචාර සදහා ඇල්මක් දක්වන්නවුන් ජිනීවා උගුලක් බව මනසින් අවබෝධ කර නොගත්තදනරියාට කුකුළන් බාරදීමේ අවධානමත්, වක්කඩේ හකුරු හැංගූ විට වන දෙයත් මනැසින් අවබෝධ කර ගැනීම සිංහලයන්ගේ ආරක්ෂාවටවටී.

ජිනීවා මානව හිමිකම් කොමිසමට යුධ අපරාධ විමසීමේ අධිකරණ බලය නැත.

විරුවන්ගේවිත්තිවාචකය ජිනීවා මානව හිමිකම් කොමිසම අතට පත් කරන අය ජිනීවා මානව හිමිකම් කොමිසමට යුධ අපරාධ සම්බන්ධව විමසීමට අධිකරණ බලය ඇති බව පිළිගන්නවා විය හැක. නමුත් සැබෑ තත්ත්වය එය නොවේ. දෙමළ ඩයස්පෝරාවේ මෙහෙවීමෙන් මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් නිර්මාණය කරගත් යුධ අපරාධ චෝදනා හෝ විරුවන්ගේවිත්තිවාචකය සම්බන්ධව විමසීමට ජිනීවා මානව හිමිකම් කොමිසමට අධිකරණ බලයක් නැති බව පැහැදිලි නීතිමය තත්ත්වයයි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වන ව්‍යවස්ථාව යටතේ එය සිදුකළ නොහැක. මන්ද මේ දෙපාර්ශවයම ඉදිරිපත් කරන කරුණු පිළිබද ලංකාවේ ජනතාව අවබෝධයෙන් තොර හෙයින් දෙපාර්ශවයේම ඉදිරිපත් කරුණු මගින් විනිශ්චයක් දුන්නද ජනතාවට  ඉන් බැදීමක් විය නොහැක.විරුවන්ගේවිත්තිවාචකයට අත්සන් තබා ඇති අය පමණක් ජිනීවා වෙත කැදවීමට හැකි වුණද එයට අත්සන් තබා නැති අය සම්බන්ධව නඩු විභාග කිරීමට ජිනීවා මානව හිමිකම් කොමිසමට හෝ ඔවුන් පත්කරන විදේස් විනිසුරුවරුන්ට අධිකරණ බලයක් නැත. යම් අයෙක් කැමැත්තෙන් නඩු විභාගයට/විමර්ශනයට යටත් වන්නේ නම් එයට බාධා කිරීමේ අයිතියක් නැති වුණත්, එහි ඇති අවාසිය පැහැදිලි කිරීමේ යුතුකමක්, වගකීමක් සෑම පුරවැසියෙකුටම ඇත. යුධ අපරාධ සම්බන්ධ විදේශී පරීක්ෂණයකට කැමැත්තෙන් සහභාගී වීම සහ බලහත්කාරයෙන් ගෙන යාම එකක් නොව දෙකකි.

ලංකාවේ පැවති යුධ තත්ත්වය පිළිබද විමසීමට අධිකරණ බලයක් විදේශයන්ට නැත. ජිනීවා මානව හිමිකම් කොමිසමටද ඒ බලය නැත. ඒ අධිකරණ බලය ඇත්තේ ලංකාවේ අධිකරණවලටම පමණි. එංගලන්තයේ නීති විද්‍යාල වලින් නීතීඥවරු වූ අයට ජිනීවා මානව හිමිකම් කොමිසමේ නඩු විභාගසහ කරුණු දැක්වීම්, තර්ක කිරීම වාසිදායක වුවත් එමගින් රට පරිහාණියට පත් වීමත් ජාතිකත්වය විනාශයට පත් වීමත් රටේ ස්වාධීනත්වය කෙළෙසීමත් සිදු වෙයි.

ලාංකිකයන් කිසිවෙකුට එරෙහිව විදේස් පරීක්ෂණ හෝ ජාත්‍යන්තර විනිසුරුවරුන් ලංකාවට පැමිණ පරීක්ෂණ හෝ විභාග කිරීමට ඉඩ දිය නොහැක. එය නීතියට පටහැනිය. එවැනි පරීක්ෂණ ලංකාවේ ස්වාධීනත්වයට,ස්වෛරීත්වයට, නිදහසට පටහැනිය. යුධ අපරාධ සිදුකර ඇතැයි හමුදා සාමාජිකයින් හෝ එල්.ටී.ටී. ඊ සාමාජිකයින්ට එරෙහිව විදේශීය විනිසුරුවරුන් විසින් පරීක්ෂා කිරීමට ඉඩ දීම  සුදුසු නොවේ. විදේස් පරීක්ෂණ හෝ ජාත්‍යන්තර විනිසුරුවරුන් ලංකාවට පැමිණ පරීක්ෂණ හෝ විභාග කිරීම පරාජය කිරීම අද දවසේ ජනතාවගේ යුතුකමයි.විරුවන්ගේවිත්තිවාචකය සම්බන්ධව පරීක්ෂා කිරීමට හෝ ජාත්‍යන්තර විනිසුරුවරුන් ලංකාවට පැමිණීමට ඉඩ නොදිය යුතුය. මන්ද ඉන් වාසි ගන්නේ බෙදුම්වාදී ඩයස්ෆෝරාව විමයි.

සිංහල ජනතාවට විධායකයේ, ව්‍යවස්ථාදාකයේ සහ අධිකරණයේ මේ වන විටත් අහිමිකර ඇති අයිතිවාසිකම් ලබා නොදී සිටීමට ඇතැම් පිරිස් ගන්නා පියවර මුල් අවස්ථාවේම හදුනානොගත හොත් නව යටත්විජිත වාදයේ ගිලී ලෝකයට ඉහළන්ම ණය වී සිටින රටක් ලෙස ලංකාව තවදුරටත් පවතිනු ඇත. සිංහල ජනතාවට හිමි විය යුතු අයිතිවාසිකම් තවදුරටත් අහිමි කරනු ඇත.

අවසානය

දෙමළ ඩයස්ෆෝරාවේ මෙහෙවීමෙන් මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් නිර්මාණය කරගත් යුධ අපරාධ චෝදනා හෝ විරුවන්ගේ විත්තිවාචකය සම්බන්ධව විමසිය යුත්තේ ලංකාවේ අධිකරණ මිස විදේශිකයින් නොවේ.අප වග කිව යුත්තේ උපන් බිමට මිස විදෙස් බිමකට, විදෙස්ජාතීන්ට නොවේ. ලංකාවේ පාලකයින්ට නොතේරෙන්නේද එයයි. දේශප්‍රේමයේ සළු පොරවා ගත්තවුන් හදුනාගැනීම වඩා දුෂ්කර බවද ඒ සමගම වටහා ගත යුතුය.

(මෙම ලේඛකයා විසින් 2014 මාර්තු මස 31 වැනි සදුදා රිවිර දිනපතා පුවත් පතට ලියා ඇති ජිනීවා උගුල, මව් භාෂා අයිතිය සහ මානව අයිතිවාසිකම් ලිපියද කියවන්න. එකී ලිපිය ලබා ගැනීම සදහා විදු්‍යුත් තැපෑලෙන් විමසන්න)

නීතීඥ අරුණ ලක්සිරිඋණවටුනB.Sc(Col),PGDC(Col)

[email protected]

2017.03.24

Check Also

ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුබපැතුම්

අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකි බව ...