Home / Featured / ඉංග්‍රීසි ජාතිවාදය පාලනය කරමින් සංහිදියාව ඇති කිරීමට නීතීඥ සංගම් සභාපතිට හැකි වෙයිද?

ඉංග්‍රීසි ජාතිවාදය පාලනය කරමින් සංහිදියාව ඇති කිරීමට නීතීඥ සංගම් සභාපතිට හැකි වෙයිද?

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරයට අභිනවයෙන් පත්වූ යූ.ආර්. ද සිල්වා මහතාව හඳුන්වාදෙමින් පසුගිය 25 වෙනිදා කොළඹ, කිංග්ස්බරී හෝටලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්වයක් පැවැත්විණ.ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, නීතිපතිවරයා, අභියාචනාධිකරණයේ විනිසුරුවරුඇතුළු නීතීඥවරුවිශාල සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.

යූ.ආර්. ද සිල්වා මහතා සිය ධූරයට පත්වී කාලයක් ගත නොවී ඇති හෙයින් ඔහුගේ වැඩපිළිවෙල කවර දිශානතියක් ගනීවිද යන්න කීමට ඉක්මන් නො විය යුතු වුවත්, මේ දක්වා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරයට පත් වූ අයගේ භූමිකා සහ ක්‍රියාන්විත දෙස බැලීමේදී නව සභාපතිවරයාට ජනතාව සහ නීතීඥ ප්‍රජාව වෙත සාධනීය මෙහෙවරක් කිරීමට මහත් වෙහෙසක් සහ ධෛරයක් දැරීමට සිදු වීම නොවැළක්විය හැකි වෙයි.

තමන් වටා සිටින අධික බලයක් සහිත නීතීඥ සුළුතරය පිනවීම නොව නීතීඥ ප්‍රජාවටත්, රටටත් සේවය කිරීම අභිනව සභාපතිවරයාගේ යුතුකමක් බවත්, සංහිදියාව වෙනුවෙන් මනා නිපුණතාවයෙන් එය සිදුකිරීමේ මූලික අවශ්‍යතාවය බවත් පෙන්වාදීම මේ ලිපිය මගින් අදහස් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂාකර දී ඇති ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීමටසහපොදුජන අයිතීන් ආරක්ෂා කිරීමට අභිනව සභාපතිවරයාට හැකි වෙයිද?

දියුණු රටවල අධිකරණ කටයුතු සිදු කරන්නේ ජනතාවට නිරතුරුවම සත්‍ය අනාවරණය කරමින් බවට විවාදයක් නැත. මහාබ්‍රිතාන්‍ය, අරාබිය, ප්‍රංශය, කොරියාව, ජපානය සිය යුක්තිය ඉටුකරන ක්‍රියාන්විතය කිසිවිට පොදු ජනතාවගෙන් සැගවීමකින් තොරව ඉටු කරයි. එම රටවල ජනතාව අධිකරණය සහ එහි නීති ක්‍රමය පිළිබද නිරතුරු සත්‍ය අනාවරණය කර ගනී. වසර 150කට අධික බ්‍රිතාන්‍ය පාලන සහ නීති ක්‍රමයකට හුරු වී සිටින ලාංකිකයින් නිදහස පිළිබද අර්ථ නිරූපණය කරගන්නේද බ්‍රිතාන්‍යයෙන් ම වන හෙයින් ජනතාව සිතන්නේ නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවත්වීම යනු අධිකරණ ශාලාවට භාධාවකින් තොරව ඇතුළු වීමේ නිදහස පමණක් බවයි. අධිකරණ කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්වීම යනු අධිකරණයට ප්‍රවේශ වීමේ නිදහස පමණක් බවට ලංකාවේ ජනතාව අතර වැරදි මතයක් ඇත.

ශ්‍රී ලංකාවේ දැනටද අධිකාරිය දරණ භාර ආඥා පනත, සාක්ෂි ආඥා පනතේ 100 වගන්තිය වැනි සීමිත අවස්ථාවලදී එංගලන්තයේ බලපවත්නා තත්ත්කාලීන ඉංග්‍රීසි නීතියට යාමට විධිවිධාන සළසා තිබුණද එවැනි විශේෂ විධිවිධාන සළසා නැති අවස්ථාවල පවා  තත්ත්කාලීන ඉංග්‍රීසි නීතියට යාමට ලංකාවේනීති විශාරදයෝ රුචිතක්වයක් දරති. එය පැහැදිලිවම ඉංග්‍රීසි ජාතිවාදය ක්‍රියාත්මක කරවීමකි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වන ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්තික සමාජවාදීජනරජයක් ලෙස දැක්වුවත් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතන ස්වාධීන කර ගැනීමට මේ දක්වා ජනතාවට හැකියාව ලබා නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වැනි ව්‍යවස්ථාවේ ජනතාවගේ පරමාධිපත්‍ය පිළිබද ලියවී ඇත.  එනම් ශ්‍රී ලංකා ජනරජයේ පරාමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වන්නේ ය යනුවෙන් ඒ ව්‍යවස්ථාව මගින් විධිවිධාන පනවා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවගේ පරමාධිපත්‍ය සම්බන්ධව ඒ අකාරයේ විධානයක් පනවා තිබුණත් ඡන්ද බලය ක්‍රියාත්මක කරවීමේ අවස්ථාව හැර අන් සෑම අවස්ථාවකදීම ලාංකීය ජනතාවගේ බහුතරයකට, පරමාධිපත්‍ය සාධාරණ ලෙස ක්‍රියාත්මක වීමත්, භුක්තිවිදීමක් සිදුවන්නේද යන්න නිරවුල් මනසින් සිහි කිරීම වටී.

ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීමත්, භුක්තිවිදීමත් සිදුවන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාවේ දැක්වේ. එනම්

4.අ ව්‍යස්ථාව

ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරාපත්කර ගනු ලබන පාර්ලිමේන්තුව විසින් සහ ජනමතවිචාරණයකදී ජනතාව විසින් ක්‍රියාත්මක කළ යුතු බව දක්වා ඇත.

4.ආ ව්‍යස්ථාව

 රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුතු බව දක්වා ඇත.

4.ආ ව්‍යස්ථාව

නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය.

4.ඈව්‍යස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේ ය.ආරක්ෂා කරනු ලැබිය යුත්තේ ය.වර්ධනය කරනු ලැබිය යුත්තේ ය. තව ද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේ ය.

4.ඉව්‍යස්ථාව

අටළොස් විය සම්පූර්ණ කර ඇත්තා වූ ද, මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදිඡන්දහිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්දහිමි නාමලේඛනයේඇතුළත් කරනු ලැබ සිටින්නා වූ ද, සෑම පුරවැසියකු විසින් ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දීද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දී ද, සෑම ජනමත විචාරණයක දීද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීමත්, භුක්තිවිදීමත් සිදුවන ආකාරය පැහැදිලිව සහ නිරවුල්ව කෙටුම්පත් කර තිබුණත් 4.1 ව්‍යවස්ථාවේ දැක්වෙන සීමිත අවස්ථාවකදී (ව්‍යවස්ථාදායක බලය ජනමතවිචාරණයකදී ජනතාව විසින් ක්‍රියාත්මක කිරීම) සහ 4 ඉ ව්‍යවස්ථාවත් (ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම) හැරුණු විට අනෙක් අවස්ථාවලදී ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීමත්, භුක්තිවිදීමත් සාධාරණව සිදුවන්නේද යන්න මනැසින් විමසිය යුතුය. එය තවත් පැහැදිලි කළහොත් ඉහත දක්වා ඇති සීමිත අවස්ථා 2 හැරුණු විට අනෙක් අවස්ථාවලදී ලාංකික ජනතාවගේ පරමාධිපත්‍ය නොව බ්‍රිතාන්‍ය ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීමත් භුක්තිවිදින බව පැහැදිලි සත්‍යයයි.  එනම් ලංකාවේ ජීවත්වන ඉංග්‍රීසි මව් භාෂාව වූ අයට පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාවේ විධිවිධාන සළස්වා ඇති ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීමත්, භුක්තිවිදීමත් සිදු වෙයි. එය තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22, 24 සහ 109 ව්‍යවස්ථා මගින්ද පැහැදිලි කළ හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4 , 22, 24 සහ 106ව්‍යවස්ථා අධ්‍යයනය කිරීමේදී සහ නීති පටිපාටියේ ප්‍රායෝගික තත්ත්වය අනුව පැහැදිලි වන්නේ ලාංකිකයන් තමන්ගේ නිදහස, ස්වාධීනත්වය මේවන තෙක් වටහා ගැනීමට හෝ සමත් වී නැති බවයි. එය තමා වටා සිටින බලාධාරී කණ්ඩායම් වලට වටහා දීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභිනව සභාපතිවරයා ක්‍රියාකරනු ඇතිද යන්න ඉදිරියේදී ප්‍රත්‍යක්ෂවනු ඇත. මේ ලිපිය ඒ වෙනුවෙන් ගන්නා ප්‍රයත්නයක්ද වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 ව්‍යවස්ථාවේ පරිපාලන භාෂා සම්බන්ධ විධිවිධානත්, 24 ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා සම්බන්ධ විධිවිධානත් 106 ව්‍යවස්ථාවේ නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්වීමට අදාල විධිවිධානත් දක්වා ඇත. දැන් එකී ව්‍යවස්ථා පිළිවෙලින් සළකා බලමු.

  1. (1) ව්‍යවස්ථාව (16 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් සංශෝධනය වීමෙන් පසු)

සිංහල සහ දෙමළ භාෂා ශ්‍රී ලංකාව මුළුල්ලේ ම පරිපාලන භාෂා විය යුත්තේ ය. රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා දෙමළ භාෂාව භාවිතා කරන උතුරු සහ නැගෙනහිර පළාත් හැර, ශ්‍රී ලංකාවේ සියලු ම පළාත්වල පරිපාලන භාෂාව සිංහල විය යුතු අතර, ඒ පළාත්වල රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා සිංහල භාෂාව භාවිතා කළ යුතු ය. එසේ වුව ද, උප දිසාපති කොට්ඨාසයක් සංයුක්ත වන යම් ඒකකයක මුළු ජනගහනයට එම ප්‍රදේශයේ සිංහල හෝ දෙමළ භාෂාමය සුළු ජන කොටස දරන අනුපාතය කෙරහි සැලකිල්ල ඇතිව, ජනාධිපතිවරයා විසින්, සිංහල සහ දෙමළ භාෂා දෙක ම හෝ ඒ ප්‍රදේශය පිහිටි පළාතේ පරිපාලන භාෂාව වශයෙන් භාවිතා කරනු ලැබූ භාෂාව නොවන වෙනත් භාෂාවක් හෝ ඒ ප්‍රදේශය සඳහා පරිපාලන භාෂාව වශයෙන් භාවිතා කරනු ලැබීමට විධාන කරනු ලැබිය හැකිය.

(2) තම නිල තත්ත්වයෙන් ක්‍රියා කරන නිලධරයකු නොවන තැනැත්තකුට –

(අ) දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා දෙකෙන් කවර වූ හෝ භාෂාවකින් කවර වූ හෝ නිලධරයකුගෙන් ඒ නිලධරයාගේ නිල තත්ත්වයෙන් ලිපි ගනුදෙනු භාර ගැනීමට, ඒ නිලධරයාට නිල තත්ත්වයෙන් ලිපි ගනුදෙනු යැවීමට සහ ඒ නිලධරයා සමග ඒ තත්ත්වයෙන් කටයුතු කිරීමට හිමිකම ඇත්තේ ය.

(ආ) යම් නිල ලේඛනයක්, වාර්තාවක්, ප්‍රකාශනයක් හෝ වෙනත් ලියවිල්ලක් පරීක්ෂා කිරීමට නැතහොත් එවැනි ලේඛනයකින්, වාර්තාවකින්, ප්‍රකාශනයකින් හෝ වෙනත් ලියවිල්ලකින් පිටපතක් හෝ උධෘතයක් ලබා ගැනීමට ඔහුට ඇති අයිතිවාසිකම නීතියෙන් පිළිගනු ලබන්නේ නම්, අවස්ථාවෝචිත පරිදිඑම ලේඛනයෙන්, වාර්තාවෙන්, ප්‍රකාශනයෙන් හෝ වෙනත් ලියවිල්ලෙන් පිටපතක් හෝ උධෘතයක් ලබා ගැනීමට නැතහොත් එම ලේඛනයේ, වාර්තාවේ, ප්‍රකාශනයේ හෝ වෙනත් ලියවිල්ලේ පරිවර්තනයක් දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා දෙකෙන් කවර භාෂාවකින් වුව ද ලබා ගැනීමට හිමිකම් ඇත්තේ ය.

(ඇ) ඒ තැනැත්තාට නිකුත් කරනු ලැබීමේ කාර්යය සඳහා යම් නිලධරයකු විසින් යම් ලියවිල්ලක් ලියා අත්සන් කරනු ලබන අවස්ථාවක ඒ ලියවිල්ල හෝ ඒ ලියවිල්ලේ පරිවර්තනයක් හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා දෙකෙන් කවර භාෂාවකින් වුව ද ලබා ගැනීමට හිමිකම ඇත්තේ ය.

(3) පරිපාලන භාෂාව වශයෙන් දෙමළ භාෂාව භාවිතා කරනු ලබන යම් ප්‍රදේශයක, ස්වකීය නිල තත්ත්වයෙන් ක්‍රියා කරන නිලධරයකු නොවන යම් තැනැත්තකු මේ ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ (අ), (ආ) සහ (ඇ) ඡේදවල සඳහන් අයිතිවාසිකම් සහ සේවාවන් සිංහල භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක කරවා ගැනීමට සහ ලබා ගැනීමට හිමිකම් ලැබිය යුත්තේ ය.

(4) ස්වකීය කටයුතු සිංහල භාෂාවෙන් කරන යම් පළාත් සභාවක් හෝ පළාත් පාලන ආයතනයක්, තම නිල තත්ත්වයෙන් ක්‍රියා කරන කවර වූ හෝ නිලධරයකුගෙන් සිංහල භාෂාවෙන් ලිපි ගනුදෙනු භාර ගැනීමට, ඒ නිලධාරයාට නිල තත්ත්වයෙන් ලිපි ගනුදෙනු යැවීමට සහ ඒ නිලධරයා සමග ඒ තත්ත්වයෙන් ලිපි කටයුතු කිරීමට හිමිකම තිබෙන අතර, ස්වකීය කටයුතු දෙමළ භාෂාවෙන් කරන යම් පළාත් සභාවක් හෝ පළාත් පාලන ආයතනයක් තම නිල තත්ත්වයෙන් ක්‍රියා කරන කවර වූ හෝ නිලධරයකුගෙන් දෙමළ භාෂාවෙන් ලිපි ගනුදෙනු භාර ගැනීමට, ඒ නිලධරයාට නිල තත්ත්වයෙන් ලිපි ගනුදෙනු යැවීමට සහ ඒ නිලධරයා සමග ඒ තත්ත්වයෙන් කටයුතු කිරීමට හිමිකම ඇත්තේ ය:

එසේ වුව ද, පරිපාලන භාෂාව වශයෙන් වෙනස් භාෂාවක් භාවිත කරනු ලබන යම් ප්‍රදේශයක කටයුතු කරන වෙනත් යම් පළාත් සභාවකින් හෝ පළාත් පාලන ආයතනයකින්, රජයේ ආයතනයකින් හෝ යම් නිලධරයකුගෙන් ලිපි ගනුදෙනු ලබන හෝ ඒවා හෝ එම නිලධරයා සමග වැඩ කටයුතු කරන යම් පළාත් සභාවකින්, පළාත් පාලන ආයතනයකින්, රජයේ ආයතනයකින් හෝ යම් නිලධරයකුගෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි ගනුදෙනු ලබා ගැනීමට, නිවේදන හුවමාරු කර ගැනීමට සහ වැඩ කටයුතු කිරීමට හිමිකම ලැබිය යුතු ය.

(5) රජයේ සේවයට, අධිකරණ සේවයට, පළාත්බද රජයේ සේවයට, පළාත් පාලන සේවයට හෝ රජයේ යම් ආයතනයකට තැනැත්තන් ඇතුළත් කර ගැනීම සඳහා පැවැත්වෙන යම් විභාගයක § සිංහල හෝ දෙමළ හෝ තමන් තෝරා ගන්නා භාෂාවක හෝ මාධ්‍යයකින් වුව ද පරීක්ෂා කරනු ලැබීමට යම් තැනැත්තකුට හිමිකම් ඇත්තේ ය. තව ද, තම ධුරයේ කාර්ය ඉටු කිරීම සඳහා සිංහල හෝ දෙමළ පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් ඒ තැනැත්තාට තිබීම සාධාරණව අවශ්‍ය වන අවස්ථාවන්හි, එවැනි යම් සේවයකට හෝ රජයේ යම් ආයතනයකට හෝ ඇතුළත් කර ගනු ලැබීමෙන් පසු සාධාරණ කාලයක් ඇතුළත එසේ අවස්ථාචෝචිත පදිසිංහල හෝ දෙමළ භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් ඔහු විසින් ලබා ගත යුතු යයි නියම කිරීමේ කොන්දේසියට එකී හිමිකම යටත් වන්නේ ය :

එසේ වුව ද යම් තැනැත්තකු බඳවා ගනු ලබන ධුරයෙහි කිසිදු කර්තව්‍යයක් සිංහල හෝ දෙමළ භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් ඇත්තේ නම් මිස ඉටු කළ නොහැකි වන අවස්ථාවල දීඑවැනි යම් සේවයකට හෝ රජයේ යම් ආයතනයකට ඇතුළත් කරගැනීමේ කොන්දේසියක් වශයෙන් සිංහල හෝ දෙමළ භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් යම් තැනැත්තකුට තිබිය යුතු යයි නියම කරනු ලැබිය හැක්කේ ය.

(6) මෙම ව්‍යවස්ථාවෙහි –

“නිලධරයා” යන්නෙන් ජනාධිපතිවරයා, යම් අමාත්‍යවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, ආණ්ඩුකාරවරයෙක්, ප්‍රධාන අමාත්‍යවරයෙක්, පළාත් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් හෝ රජයේ ආයතනයක හෝ පළාත් පාලන ආයතනයක හෝ පළාත් සභාවක යම් නිලධරයෙක් අදහස් වේ.

“රජයේ ආයතනය” යන්නෙන්, ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක්, රාජ්‍ය සංස්ථාවක් හෝ ව්‍යවස්ථාපිත ආයතනයක් අදහස් වේ.

16 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 ව්‍යවස්ථාව තීරණාත්මක ලෙස වෙනස්කමකට ලක් කළේය. ඒ වෙනස්කම සිදු කර ඇත්තේ මුළු රටේම සිංහල සහ දෙමළ භාෂා අයිතිය සහතික කිරීමට නොව  මුළු රටේම ඉංග්‍රීසි බස ආරක්ෂා කර දීමට බව 22.2, 22.3, 22.4 සහ 22.5 ව්‍යවස්ථා  අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙයි.

මුළු රටේම ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරිමට, පර්වර්තන ලබා ගැනීමට, ලිපි ගණුදෙනු කිරීමට නිදහස ලබා ගැනීමට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වැනි සංශෝධනය මගින් නිදහස ලබා ගත් ඉංග්‍රීසී ජාතිවාදීන් මුළු රටේම සිංහලෙන් කටයුතු කිරීමේ නිදහස, පර්වර්තන ලබා ගැනීමට, ලිපි ගණුදෙනු කිරීමට ඇති නිදහස සිංහල ජනතාවගෙන් පැහැරගෙන ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22.2 සහ 22.3 ව්‍යවස්ථා පරිශීලනය කිරීමේදී තහවුරු වෙයි.

ඒ අනුව පැහැදිලි වන්නේ ලොව පුරා සිටින මිලියන 16ක්  පමණ වන සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති ක්‍රමය තුළ බරපතල ලෙස අහිමි කිරීමට ලක්කර ඇති බවයි. මෙය නිවැරදි කිරීම සදහා මගපෙන්වීමට යූ.ආර්. ද සිල්වා අභිනව නීතීඥ සංගම් සභාපතිවරයාට හැකියාව ඇත.

කියවන්න

16 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උතුරට විසදුමක් නොව යටත්විජිතත්වයට රට ගෙනයාමකි

http://lankanewsalert.com/archives/61643

සත්‍ය එළිදරව්වීම යටපත් කිරීම සදහා ලංකාවේ ඉංග්‍රීසි භාෂාව භාවිතා කරයිද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.1 ව්‍යවස්ථාව මගින් අධිකරණ භාෂාව සිංහල බවට මතුපිටින් මවා පෑමක් සිදු කළද එහි 24.4 ව්‍යවස්ථාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ අධිකරණ භාෂාව ඉංග්‍රීසියම බවට නැවත හරවා ගත්තේ ය.

  1. 1 ව්‍යවස්ථාව

ශ්‍රී ලංකාව මුළුල්ලේ ම අධිකරණවල භාෂා සිංහල සහ දෙමළ භාෂා විය යුතු අතර, දෙමළ භාෂාව පරිපාලන භාෂාව වන යම් ප්‍රදේශයක හැර, ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රදේශවල පිහිටි අධිකරණවල සිංහල භාෂාව අධිකරණ භාෂාව වශයෙන් භාවිත කළ යුත්තේය. නඩු වාර්තාව සහ නඩු කටයුතු අධිකරණයේ භාෂාවෙන් විය යුතු ය. යම් අධිකරණයකින් අභියාචනයක් ඉදිරිපත් කරන අවස්ථාවක, අභියාචනය විභාග කරනු ලබන අධිකරණයේ භාෂාව, අභියාචනය ඉදිරිපත් කරනු ලැබුවේ යම් අධිකරණයකින් ද, ඒ අධිකරණයේ භාෂාව නොවන වෙනත් භාෂාවක් වන විට, අභියාචනය විභාග කරනු ලබන අධිකරණයේ භාෂාවෙන් ද වාර්තා පිළියෙළ කළ යුතු ය:

එසේ වුව ද, යම් අධිකරණයක නඩු වාර්තාව තබා ගැනීම ද, නඩු කටයුතු පවත්වා ගෙන යාම ද අධිකරණයේ භාෂාව නොවන භාෂාවකින් ද විය යුතු යැයි, අධිකරණ විෂයය භාර අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වය ඇතිව විධාන කළ හැක්කේ ය.

  1. 4 ව්‍යවස්ථාව (16 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු)

අධිකරණ විෂයය භාර අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වය ඇතිව සියලු කාර්ය සඳහා නැතහොත් ඔහු විසින් නිශ්චය කොට දක්වන යම් යම් කාර්ය සඳහා නඩු වාර්තාවක හෝ නඩු කටයුත්තක දීනැතහොත් නඩු වාර්තාවක් හෝ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාව යම් අධිකරණයක භාවිත කිරීමට අවසර දෙමින් විධාන නිකුත් කරනු ලැබිය හැක්කේ ය. එවැනි විධාන ක්‍රියාත්මක කිරීමට සෑම විනිශ්චයකාරවරයෙක් ම බැදීසිටින්නේ ය.

ඒ අනුව 24.1 ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා සම්බන්ධව විධානයක් පනවා 24.4 ව්‍යවස්ථාව මගින් එයට පටහැනි විධානයක් පනවා 24.1 ව්‍යවස්ථාවේ විධානයේ අරමුණට පටහැනිව ක්‍රියාකිරීමට අධිකරණ විෂය භාර ඇමතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය බලය පිරිනමා ඇත. දකුණතින් ජනතාවට දෙන දෙයක් වම් අතින් ආපසු ගැනීමක් මෙහිදී සිදුකර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.1 ව්‍යවස්ථාවේ අරමුණ වන්නේ අධිකරණයේ සහනය පතා පැමිණෙන ජනතාවට වැටහෙන භාෂාවෙන් නීති කෘත්‍යයන් පවත්වා ගැනීමත් අධිකරණයේ සත්‍ය ජනතාව හමුවේ තැබීම ජනතාවගේ අයිතිවාසිකමක් බව පිළිගෙන ඇති බවයි. නමුත් 24.4 ව්‍යවස්ථාව මගින් පැහැදිලි වන්නේ ජනතාවට වැටහෙන භාෂාවෙන් නීති කෘත්‍යයන් පවත්වා නො ගැනීමත්, අධිකරණයේ සිදුවන සත්‍ය ජනතාව හමුවෙන් වසන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවයි. එනම් නීතිමය වශයෙන් ජනතාව අදුරේ තැබීමට ලංකාවේ යම් සීමිත පිරිසකට අවශ්‍යව තිබූ බවයි. ඒ ඉංග්‍රීසි ජාතිවාදීන් ය. සිංහල සහ දෙමළ ජනතාව ජාතිවාදීන් ලෙස නාමකරණය කරමින් බොර දියේ මාළු බාන්නේ මේ ඉංග්‍රීසි ජාතිවාදීන් ම මිස වෙන අය නො වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාවේ ඇති නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්වීමට අදාල විධිවිධාන වල අදාලත්වය.

106 ව්‍යවස්ථාව

  1. (1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයටතේ පිහිටුවන ලද නැතහොත් පාර්ලිමේන්තුව විසින් නියම කොට පිහිටුවන ලද සෑම අධිකරණයක ම, සෑම විනිශ්චය අධිකාරයක ම හෝ වෙනත් සෑම ආයතනයක ම නඩු විභාග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේවිධිවිධානවලට යටත්ව ප්‍රසිද්ධියේ පැවැත්විය යුත්තේ ය. සියලූ තැනැත්තන්ට, ඒ නඩු විභාගවලට නිදහසේ පැමිණ සිටීමට හිමිකම් ඇත්තේ ය.

(2) එවැනි යම් අධිකරණයක, විනිශ්චය අධිකාරයක හෝ වෙනත් ආයතනයක විනිශ්චයකාරවරයකු හෝ මූලාසනාරූඨ නිලධරයකු විසින්, යෝග්‍ය යයි තමා සලකන කවර අවස්ථාවක දීවුව ද ස්වකීය අභිමතය පරිදි

 

(අ) පවුලේ අනෝන්‍ය සම්බන්ධතා පිළිබඳ වූ නඩු කටයුතුවල දීහෝ

(ආ) ලිංගික කාරණා පිළිබඳ වූ නඩු කටයුතුවල දීහෝ

(ඇ) රාජ්‍ය ආරක්ෂාව හෝ මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිසහෝ

(ඈ) ඒ අධිකරණයේ, විනිශ්චය අධිකාරයේ හෝ වෙනත් ආයතනයේ සීමාව ඇතුළත යථා පැවැත්ම සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස, ඒ අධිකරණයේ, විනිශ්චය අධිකරණයේ හෝ වෙනත් ආයතනයේ නඩු කටයුතුවලට කෙළින් ම සම්බන්ධතාවක් නොමැති තැනැත්තන් ඉන් බැහැර කළ හැක්කේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාව අනුව සීමිත අවස්ථාවක දී හැරුණුවිට නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්විය යුත්තේ ය.

නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්වීම යනු අධිකරණ ශාලාවටනිදහසේ පැමිණ සිටීමට හිමිකමපමණක් විය නොහැකිය. රටේ ජනතාවගේ භාෂාවෙන් නඩු කටයුතු පැවැත්වීමත් නඩු කටයුතු තමන්ට වැටහෙන භාෂාවෙන් පැවැත්වීමත් එකී ව්‍යවස්ථාවට අන්තර්ගත වීම අවශ්‍ය වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වන ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්තික සමාජවාදීජනරජයකි. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදීජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ. එසේ නම් ශ්‍රී ලංකාවේ ජනතාවගේ භාෂාවක් නොවන භාෂාවකින් ලාංකිකයන්ගේ නඩු විභාග කිරීමත්, නඩු තීන්දු ලබා දීමත් යුක්තිය කිරීමක් වෙයිද?

ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාව අනුව නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු බව දක්වා තිබුණද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු කටයුතු ප්‍රසිද්ධියේ පවත්වන්නේ ඉංග්‍රීසි භාෂාව දන්නා අයට වැඩි වාසි අත්වන ආකාරයට හෙයින්ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේසත්‍ය එළිදරව්වන්නේ ඉංග්‍රීසි භාෂාව දන්නා ඉතා සුළු පිරිසකට පමණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු කටයුතුවල සත්‍ය සිංහල ජනතාවට එළි දරව්වන ආකාරයක් වර්තමානයේ පවා නැත.

ලොව දියුණු රටවල අධිකරණ එම රටවල බහුතර ජනතාවට නොතේරෙන ලෙස හෝ නොවැටහෙන ලෙස නඩු තීන්දු දෙන්නේ නැත. එංගලන්තයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ, චීනයේ, දකුණු කොරියාවේ, ප්‍රංශයේ, ජර්මනියේ , ජපානයේ හෝ ඉතාලියේ අධිකරණ ඒ රටවල බහුතර ජනතාවට නොතේරෙන භාෂාවෙන් අධිකරණ තීන්දු ලබා දී එම තීන්දු වලින් ජනතාව පාලනය කරන්නේ නැත. ලංකාවේ තත්ත්වය එසේ නොවේ. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය අනුගමනය කරමින් සිය තීන්දු මගින් අධිකරණ බැද තැබුවද ඒවා ජනතාවගේ අධිකරණ කටයුතු වලදී පාර්ලිමේන්තුව පනවන නීති හා සමාන බලධාරීත්වයක් ලබා ගත්තද එකී බලධාරී තීන්දු ලබා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.1 ව්‍යවස්ථාව අනුව හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.1 ව්‍යවස්ථාවේ දැක්වෙන නීති පනවන භාෂාවෙන් හෝ නො වේ.

වත්මන් සභාපතිවරයාගේ නීතීඥ වෘත්තීය භූමිකාව සංහිදියාව සදහා මෙවෙලමකි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වත්මන් සභාපතිවරයා වෙනත් පූර්වගාමී සභාපතිවරු මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ නඩු මෙහෙයවමින් නීතීඥ සංගම් සභාපතිධූරයට පත් වූවෙක් නො වේ. වත්මන් සභාපතිවරයා මහාධිකරණයේ නඩු මෙහෙයවන දක්ෂ නීතීඥවරයෙකි. එනයින්ම ඔහු, ඔහුගේ සේවාදායකයින්ට වැටහෙන භාෂාවෙන් නඩු මෙහෙයවීමේ අත්දැකීම් සහ පරිචය සහිත, සිය සේවාදායකයින්ට කියවිය හැකි භාෂාවෙන් අධිකරණ තීන්දු ලබා ගෙන ඇති ජේ්‍යෂ්ඨ නීතීඥවරයෙකි. එකී අත්දැකීම් සහිත නීතීඥ සංගම් සභාපතිවරයා සිය සේවාදායකයින්ට නඩු කටයුතුවලදී ලබා දී ඇති සහනයන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේඉංග්‍රීසි භාෂාව නොදන්නා නඩු කියන්නවුන්ටද ලබා දීමට අවශ්‍ය සාධනීය පියවර ගන්නේ නම් එය රට,  ජනතාව සහ නීතීඥ වෘත්තීය පැත්තෙන් සුභදායක වනු ඇත.

සියලුම නීතී සහ අනුනීති රාජ්‍යභාෂාවෙන් ලබා ගැනීමේ අයිතිය

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවන ලද අවධියේ සිටම මේ දක්වා සංශෝධනය නොවූ ව්‍යවස්ථාවකි 23.4 ව්‍යවස්ථාව . එහි මෙසේ දැක්වේ.

23 (4) ව්‍යවස්ථාවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වීමට පෙරාතුව බලාත්මක වූ සියලු නීති සහ අනු නීති හැකිතාක් ඉක්මනින් සිංහල සහ දෙමළ භාෂාවලින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුත්තේ ය.

1978ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 සැප්තැම්බර් මස 07වැනි දින අංක 332/11 ගැසට් පත්‍රය මගින් බලාත්මක කළ දිනයේ සිට මේ දක්වා වසර 40කට ආසන්න කාලයක් ගත වුවද 1978 සිට මේ දක්වා ශ්‍රීලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරයට පත් කිසිම සභාපතිවරයකු මේ ව්‍යවස්ථාව මගින් ජනතාවට ලබා දී ඇති සහනය ලබා ගැනීමට කටයුතු කර නැත.1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 ව්‍යවස්ථාව බලාත්මක කර ගැනීමත්,  ඇති සියළු නීති රාජ්‍ය භාෂාවෙන් ලබා දීමටසළස්වා ඇති නීති ප්‍රතිපාදන වහාම ක්‍රියාත්මක කර ගැනීමටද වත්මන් සභාපතිවරයාට සිය ධූරයේ බලතල යොදා ගත හැකිය.

ඉහත කරුණු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විධිවිධාන අනුව පැහැදිලි වන්නේ ඉංග්‍රීසිය ජාතිවාදී ආකාරයට ලංකාවේ විධායකයේ, ව්‍යවස්ථාදාකයේ සහ අධිකරණයේ මුල්බැස ගෙන ඇති බවත් ජාතීන් අතර සංහිදියාවට, යුක්තිය ඉටුකිරීමේ ප්‍රවේශයට, රටේ සංවර්ධනයට, රටේ අනන්‍යතාවයට එය අහිතකර ලෙස බලපා ඇති බවයි. මෙය ජයගන්නා අකාරය මත යූ.ආර්. ද සිල්වා මහතාගේ සභාපති ධූරයේ විශ්වාසනීයත්වය තහවුරු කරනු ඇත.

සාරාංශය

ඉහත කරුණු අනුව වත්මන් නීතීඥ සංගම් සභාපතිවරයා විසින් ඉටුකරනු ඇතැයි බලාපොරොත්වන මූලික ඉලක්ක 4ක් පෙළ ගැස්විය හැකිය. එනම්

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නියමකර ඇති ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීමට සහාය දීම
  2. 16 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහිමිකර ඇති සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වහාම ලබා ගැනීමට සක්‍රීයලෙස මැදිහත් වීම.
  1. ජනතාවට තේරෙන භාෂාවෙන් නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්වීමට අදාල සක්‍රීය මැදිහත් වීම සිදු කිරීම.
  2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වීමට පෙරාතුව බලාත්මක වූ සියලු නීති සහ අනු නීති හැකිතාක් ඉක්මනින් රාජ්‍යභාෂාවෙන් ලබා ගැනීමට සක්‍රීය ලෙස මැදිහත් වීම.

 

නීතීඥ අරුණ ලක්සිරිඋණවටුනB.Sc(Col),PGDC(Col)

[email protected]

2017.03.30

Check Also

ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුබපැතුම්

අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකි බව ...