ආණ්ඩුවේ නරිවාදම්..දෙකොනින් යයි….තවත් දුම්වැටි නිෂ්පාදන සමාගමක් ලියාපදිංචියට

1

ශ්‍රී ලංකාව තුළ තවත් දුම්වැටි නිෂ්පාදන සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වන බැවින් මේ පිළිබඳ සොයා බලා ඒ පිටුපස සිටින ජාවාරම්කරුවන් රටට හෙළිකිරීමට ක්‍රියා කරන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළ බව, එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

රට තුළ දුම්කොළ හා දුම්වැටි නිවාරණය සඳහා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග සඳහා තම සංගමය කොන්දේසි විරහිතව සහයෝගය ලබාදුන් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස, මේ වන විට දුම්වැටි පාලනය සඳහා සාධනීය පියවර කිහිපයක් ගැනීමට හැකිව ඇතැයි පෙන්වා දෙන වෛද්‍ය නවීන් ද සොයිසා, ජනාධිපතිවරයා පවා දුම්වැටි පාලනය සඳහා ක්‍රියා කරමින් සිටියදී මෙසේ තවත් දුම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමට යෑම බරපතළ වැරැද්දක් බවත්, දුම්වැටි නිවාරණ ක්‍රියාවලිය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියේදීත් දැඩිව පෙනී සිටින බවත් අවධාරණය කෙළේය.

මේ අතර දිවයින පුරා පාසල් අවට දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යෝජනා කර ඇති අතර පාසලක් පිහිටා ඇති භූමියක සිට මීටර් 500ක් දක්වා දුර ප්‍රමාණයක් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කිරීමට යෝජනා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

දුම්කොළ භාවිතය අවම කිරීම පිළිබඳව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් පැවැත්වූ වැඩමුළුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කළේ දුම්කොළ භාවිතය අවම කිරීම සඳහා වත්මන් රජය මේ වන විටත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි.