Home / Featured / අද මීතොටමුල්ල ඉරණම හෙට ජා ඇළට …කසල ප්‍රශ්නය උග්‍ර වේ …ආණ්ඩුව මුතුරාජවෙල අභය භුමිය වනසයි

අද මීතොටමුල්ල ඉරණම හෙට ජා ඇළට …කසල ප්‍රශ්නය උග්‍ර වේ …ආණ්ඩුව මුතුරාජවෙල අභය භුමිය වනසයි

මීතොටමුල්ල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් පසු කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුල ජනනය වන කසල ගම්පහ ජාඇළ ප්‍රදේශයේ මුතුරාජවෙල අභය භූමියට අයත් ඉඩමකට බැහැර කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව ජෛව විවිධත්වය සංරක්ෂණ හා පර්යේෂණ කවය පවසයි.එම සංසදය මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක මේ බව දැක් වෙනවා.

එම සම්පූර්ණ නිවේදනය පහත දක්වා ඇත.
ජෛව විවිධත්වය සංරක්ෂණ හා පර්යේෂණ කවය
අංක 55/1, පරණකන්ද
වත්තල

2017.04.19

මුතුරාජවෙල අභයභූමියට කසල බැහැර කිරීමට විරෝධය දැක්වීම

මීතොටමුල්ල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් පසු කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුල ජනනය වන කසල ගම්පහ ජාඇළ ප්‍රදේශයේ මුතුරාජවෙල අභය භූමියට අයත් ඉඩමකට බැහැර කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව අප සංවිධානය වෙත වාර්තාවී ඇත.

නමුත් මෙකී අක්‍රමවත් කසල බැහැරලීම සිදුකිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් දිවයිනේ අගනුවර ආසන්න ඉතා වැදගත් තෙත්බිම් පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල අභය භුමියේ වනජීවී ප්‍රජාවට බරපතල බලපෑම් සිදුවන අතරම ඒ මගින් සැලසුණු ඉමහත් සේවාව නොලැබී යාමෙන් ආශ්‍රිත ජනතාවටද දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවන බව අවධාරණය කරණ අතර ඊට අප සංවිධානය දැඩි විරෝධය පළ කරමු.

1989 වසරේදී ආසියානු තෙත්බිම් නාමාවලියේ අන්තර්ජාතිකව වැදගත් වන ශ්‍රි ලංකාවේ තෙත්බිම් 41 අතරට ඇතුළත් කරන ලද මුතුරාජවෙල තෙත්බිමට අයත් හෙක්ටයාර් 1029ක භූමි ප්‍රමාණයක් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනත යටතේ 1996 ඔක්තෝබර් මස 31 වැනි දින අංක 947/13 දරන ගැසට් නිවේදනය අනුව අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. මෙහි දැනට වාර්තාවී ඇති සත්ව කාණ්ඩ 07 කට අයත් විශේෂ 449 ක වනජීවීන් ප්‍රමාණය මෙහි ජෛවවිද්‍යාත්මක අගය කියාපාන අතරම ඒ අතරින් විශේෂ 26 ශ්‍රි ලංකාවට අවේණික වීමද සුවිශේෂී කරුණකි.

මෙහි ඇති පාරිසරික වැදගත්කමට නොදෙවැනි ආර්ථික හා සමාජීය වටිනාකම් රැසක්ද මුතුරාජවෙල මගින් ජනතාවට සැලසෙයි. නමුත් එතරම් වටිනාකම් රැසකින් සමන්විත මුතුරාජවෙල තෙත්බිමේ ස්ථිරසාර පැවැත්ම තහවුරු කිරීමට බලධාරීන් තවමත් කටයුතු නොකිරීම ජාතියේ අවාසනාවකි.

එබැවින් මුතුරාජවෙල අභයභූමිය කසල වලින් දුෂණය කර වනසා දැමීමේ උත්සාහය හකුලා ගන්නා ලෙස අප ආණ්ඩුවට බලකර සිටිමු.

මීට විශ්වාසී,
සුපුන් ළහිරු ප්‍රකාශ්
සභාපති

Check Also

රටේ ආර්ථිකයම මෛත්‍රි යටතට …ආර්ථික අනු කමිටු මුලසුනෙන් රනිල් ඉවතට

රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා කැබිනට්‌ අනුකමිටුවේ නව ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *