හමුදාව ලවා මීතොටමුල්ල ගොඩ ගන්න …ජනපතිගෙන් උපදෙස්

0

මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් ජනතාව, නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරමින් පූර්ණ හානි සිදුවූ නිවාස අහිමි පවුල් 98 කට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ හෙට (20) දින ආරම්භ කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.

විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ අද (19) පෙරවරුවේ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මීතොටමුල්ල ප්‍රදේශයේ අවදානම් කලාපයේ සිටින පිරිස ඉවත් කිරීමට මූලිකත්වය ලබාදෙමින් ඔවුන්ට අවශ්‍ය යටිතළ පහසුකම් සැලසීමේ කටයුතු ශක්තිමත් කරන ලෙසට ද ජනාධිපතිවරයා එහිදී නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ මෙහෙයවීමෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත ප්‍රදේශයේ කුණු ඉවත් කිරීමේ කටයුතු සිදුකිරීමට හා අනවසර පදිංචි කිරීම් තහනම් කිරීමට ද ජනාධිපතිතුවරයා උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම විපතට පත් ජනතාවට වන්දි ලබාදීමේ කටයුතු පිළිබඳව ද දැඩි අවධානය යොමුකරමින් අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවත් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මේ දක්වා සියලූ ආයතන මගින් ලබාදුන් සහය ඉදිරියටත් බලාපොරොත්තුවන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මීතොටමුල්ල හදිසි ආපදා තත්වය පිළිබඳ මීළග ප්‍රගති සමාලෝචන රැස්වීම ලබන 21 වනදා පෙරවරුවේ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ දී නැවත පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, සාගල රත්නායක, වජිර අබේවර්ධන, ඒ.එච්.එම් ෆවුසි, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන අය සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.