Home / Featured / මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ රාජපක්ෂලාගේ වරදින්… අවුරුදු 69 ක් ආණ්ඩු රටට කල දෙයක් නෑ

මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ රාජපක්ෂලාගේ වරදින්… අවුරුදු 69 ක් ආණ්ඩු රටට කල දෙයක් නෑ

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ පළමු වගඋත්තරකරුවන් වෙන්නේ රාජපක්‍ෂ ආණ්ඩුව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් , විජිත හේරත් පවසනවා. අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්,

“කැළි කසල කියන්නේ රටකට ජාතික ප‍්‍රශ්නයක්. නමුත් අපේ රටේ ආණ්ඩු එම ජාතික ප‍්‍රශ්නයට ජාතික මැදිහත්වීමක් සිදුකළේ නැහැ. ගෙවුණු අවුරුදු 69 පුරා කිසිදු ආණ්ඩුවක් මේ ප‍්‍රශ්නයට ජාතික මට්ටෙමින් මැදිහත් වුණේ නැහැ.ශ්‍රිලනිපය ප‍්‍රමුඛ ආණ්ඩු, එජාපය ප‍්‍රමුඛ ආණ්ඩු රටේ කුණු ප‍්‍රශ්නයට විසඳුමක් දුන්නේ නැහැ කුණු ප‍්‍රතිචකී‍්‍රකරණය සඳහා වැඩපිළිවෙළක් හැදුවේ නැහැ. හැම මොහොතෙම සිදුකළේ පැලැස්තර උත්තර ගේන එක විතරයි. එක තැනක කුණු තවත් තැනකට ගිහින් දැම්මා.

2008දී කොළොන්නාවේ මීතොටමුල්ලට කොළඹ නගරයේ කුණු දැමීම ආරම්භ කළා. 1979 සිට මීතොටමුල්ලට දැම්මේ කොළොන්නාව නගර සභාවේ කුණු පමණයි. කොළඹ කුණු දාපු බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ නීතිමය ප‍්‍රශ්නයක් නිසා මීතොටමුල්ල තෝරාගත්තා. ඒ අවස්ථාවේදී එම ප‍්‍රදේශය ජනාකීර්ණ ප‍්‍රදේශයක් වී තිබුණු නිසා කුණු දාන්න එපා කියලා ජනතාව විරුද්ධ වුණා. කුණු දාන එක ගැන කොළොන්නාව නගර සභාවට ආපු විශේෂ යෝජනාවට විරුද්ධ වුණේ ජවිපෙ මන්තී‍්‍ර ධම්මික විජයමුණි සහෝදරයා විතරයි. අනෙක් පක්‍ෂ දෙකේ මන්තී‍්‍රවරු සියලූ දෙනාම කුණු දාන එකට පක්‍ෂව අත ඉස්සුවා. ජනතාව ඊට විරුද්ධව උද්ඝෝෂණ කළා. ඝෝඨාභය රාජපක්‍ෂ හමුදාව පොලීසිය දාලා මිනිස්සු බිය වද්දලා කුණු දැම්මා. වසර ගණනකට පසුව එම ප‍්‍රදේශය කුණු කන්දක් බවට පත්වුණා. අවසානයේ ඒ කුණු කන්ද කඩා වැටිලා විශාල ඛේදවාචකයක් ඇතිවුණා.

මේ තත්වය ආණ්ඩුව විසින් පාලනය කළ යුතුව තිබුණා.කොළොන්නාව නගර සභාව, බස්නාහිර පළාත් සභාව, ආණ්ඩුව මෙම ප‍්‍රශ්නය සැලකිල්ලට ලක්කළේ නැහැ. ප‍්‍රධාන ප‍්‍රශ්නය තමයි, අපේ රටේ තියෙන කුණු මාෆියාව. මෙම කුණුවලින් සල්ලි හම්බකරන දේශපාලනඥයින් සහ නිලධාරීන් පැලැන්තියක් ඉන්නවා. ඔවුන් කුණු ඉල්ලමක් කරගෙන මුදල් හම්බ කරනවා. ඒ නිසයි මේ තරම් කුණු ප‍්‍රශ්නයක් වෙලා තියෙද්දී කුණු කඳු ගොඩගැහෙන්නේ. එකතුවෙන කුණු කසළ ජන ශූන්‍ය ප‍්‍රදේශයකට බැහැර කරලා ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්න පුළුවන්. නමුත් කුණු ඉල්ලමක් කරගත්තු දේශපාලනඥයින්ගේ බලපෑම් නිසා මේ ප‍්‍රශ්නයට විසඳුම් හොයන්න බැරිවෙලා තිබෙනවා.

අද මහ ඇමතිවරු, ආණ්ඩුවේ ඇමතිවරු එක එක කතා කියනවා. බස්නාහිර මහ ඇමතිවරයා මෙගා පොලිස් ඇමතිවරයාට වගකීම පවරනවා. බි‍්‍රතාන්‍ය සමාගමක් ඉදිරිපත් කරපු ව්‍යාපෘතිය චම්පික රණවක ප‍්‍රතික්‍ෂෙප කළා කියලා මහ ඇමති කියනවා. ඇමතිවරු කඹ අදිනවා. මහ ඇමති එකක්, මෙගා පොලිස් ඇමති තව එකක් කියනවා. මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන්න සමාගම් 108ක් ඉල්ලූම් කළා. මෙම කුණු දහනය කොට විදුලිය නිපදවන්න, ජීව වායුව හදන්න, පොහොර හදන්න, ඔවුන් ව්‍යාපෘති ගණනාවක් ඉදිරිපත් කළා. ලැබෙන ලාභයෙන් ආණ්ඩුවට කොටසක් ගෙවන්නත් යෝජනා වුණා. නමුත් ඒ කිසිවක් කි‍්‍රයාත්මක වුණේ නැහැ. මීතොටමුල්ලට විතරක් නෙවෙයි බ්ලූමැන්ඩල්වලටත් වුණේ එකම දෙයක්. මේ ප‍්‍රදේශවල පමණක් නොවෙයි රටේ විවිධ ප‍්‍රදේශවල කුණු ප‍්‍රශ්නය උග‍්‍ර වෙමින් තිබෙනවා. කුණු මාෆියාව නිසා උත්තර හොයන්න බැරිවෙලා තියෙනවා. ආණ්ඩුව තමයි මේ මාෆියාව පරද්දලා විසඳුම් දෙන්න ඕන. නමුත් මේ ආණ්ඩු අවුරුදු 69ක් තිස්සේ කළේ එකිනෙකාට බැන ගන්න එකයි කඹ අදින එකයි විතරයි.

දැන් ආණ්ඩුව විසඳුමක් කියලා තවත් පැලැස්තරයක් අලවන්න යනවා. මේ කුණු තව ස්ථානයකට ගෙනිහින් දාන්න යනවා. කලින් ආණ්ඩුව පුත්තලමට ගෙනියන්න හැදුවා. මේ ආණ්ඩුව ඒකල ඔතේ කැලේට කුණු දාන්න හදනවා. එම ප‍්‍රදේශයත් ජනාකීර්ණ ප‍්‍රදේශයක්. අනෙක් පැත්තෙන් අත්තනගලූ ඔය තියෙනවා. සුළු වැස්සකටත් ගංවතුරෙන් යට වෙනවා. ඒ නිසා අනතුරක් තිබෙනවා. ඒ නිසයි ඒකල ජනතාව මීතොටමුල්ලේ කුණු එපා කියන්නේ. ආණ්ඩුව කරන්න හදන්නේ මීතොටමුල්ලේ ප‍්‍රශ්නය ඒකලට ගෙනියන එකයි. ඒක උත්තරයක් නෙවෙයි. අනෙක් පැත්තෙන් කොළඹ කුණු කරදියානට ගෙනියන්න හදනවා. එතැනත් ටොන් ලක්‍ෂ ගාණක කුණු එකතු වෙලා. කරදියානත් ජනාවාසකරණය වූ ප‍්‍රදේශයක්. අනෙක් පැත්තෙන් බොල්ගොඩ ඔය. ඒ නිසා තමයි පක්‍ෂ භේදයක් නැතිව පොදු ජනතාව මේකට විරුද්ධ වෙන්නේ. ආණ්ඩුවේ නායකයෝ කියනවා, මේක දේශපාලන උසිගැන්වීමක් කියලා. ඒ චෝදනාවලින් ආණ්ඩුව කියන්න හදන්නේ තමන්ගේ බැරිකමයි. තමන්ට ස්ථිර විසඳුමක් නැතිකමයි. මේක හරියට තමන්ගේ වත්තේ කුණු අනුන්ගේ වත්තට දාලා බේරෙන්න හදනවා වගේ වැඩක්. ඒකෙන් ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ අපි 2002දී තිස්ස ප‍්‍රාදේශීය සභාවේ බලය ගත්තා. ඒ වෙලාවේ ප‍්‍රාදේශීය සභාවට තිබූ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තමයි කැළි කසල ප‍්‍රශ්නය. ප‍්‍රාදේශය සභාවක් ලෙස පළමු වතාවට කසල ප‍්‍රතිචකී‍්‍රයකරණය අපි ආම්භ කළා. ‘උඩුගම් බලා යන පරිසර ව්‍යාපෘතිය‘ ලෙස අපි ඒක නම් කළා. මුලින්ම අපි කළේ අක්කර 10ක ජනශූන්‍ය ප‍්‍රදේශයක් තෝරා ගත්තු එක. ඉන් පසුව වන අලි එන එක නවත්වන්න ඉඩම වට කරලා විදුලි වැටක් ගැහුවා. පසුව කුණු වෙන් කරලා එම ඉඩමට ගිහින් දැම්මා. ටැංකි 04ක් නිර්මාණය කරලා එකතු වුණු කුණු ප‍්‍රතිචක‍්‍රීයකරණය කරලා කාබනික පොහොර හැදුවා. කාබනික පොහොර මල්ලක් රු. 25 ගණනේ සහන මිලකට දුන්නා. අපි කසළ ප‍්‍රතිචකී‍්‍රයකරණය පිළිබඳ ආදර්ශයක් දුන්නා.විවිධ ප‍්‍රාදේශීය සභා ගෙන්වලා තිස්ස ප‍්‍රාදේශීය සභාවේ කසළ ප‍්‍රතිචකී‍්‍රයකරණ ව්‍යාපෘතිය පෙන්වුවා. අද වන විටත් ඇතැම් ප‍්‍රාදේශීය සභා, නගර සභා යම් තරමකට මේ ප‍්‍රශ්නයට විසඳුම් හොයාගෙන තියෙනවා. නමුත් ආණ්ඩුවට විසඳුමක් හොයාගන්න බැරිවෙලා තිබෙනවා. අද කයිවාරු ගහන රාජපක්‍ෂ ආණ්ඩුව එදා තිස්ස ප‍්‍රාදේශීය සභාවේ කසළ ප‍්‍රතිචකී‍්‍රයකරණ ව්‍යාපෘතිය විනාශ කරලා දැම්මා.

රාජපක්‍ෂලා ගොඩගහපු කුණු තමයි අද මීතොටමුල්ලේ තියෙන්නේ. ගෝඨාභය කොළඹ ලස්සන කරනවා කියලා මීතොටමුල්ලේ කුණු පිරෙව්වා. මෙහි පළමු වගඋත්තරකරුවන් වෙන්නේ රාජපක්‍ෂ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව රාජපක්‍ෂලා ගොඩගහපු කුණු පවත්වාගෙන ගියා. මෙම කුණු ප‍්‍රශ්නයට විද්‍යාත්මක විසඳුමක් තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් මෙම විද්‍යාත්මක විසඳුම් යොදාගෙන තිබෙනවා. සමාජවාදී කියුබාව, මෙම විසඳුම් පාවිච්චි කරලා සම්පූර්ණයෙන් ඩෙංගු මර්දනය කළා. ළදරු පාසැලේ සිට වැඩිහිටියන් දක්වා කසල කළමනාකරණය පිළිබඳ දැනුවත් කරනවා. ඒ විදිහටම අපි තිස්ස ප‍්‍රාදේශීය සභාවේ ළදරු පාසැල්වල කසළ කළමනාකරණය පිළිබඳ දරුවන්ට ඉගැන්වුවා. මේවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, අධ්‍යාපනය ලබාදීම ආණ්ඩුව විසින් කළ යුතුයි. දිරාපත්වන කුණු, දිරාපත් නොවන කුණු වෙන් කිරීමට ජනතාව දැනුවත් කළ යුතුයි. පාසැල් තුළ විෂය නිර්දේශවලට කසල ප‍්‍රතිචකී‍්‍රයකරණය පිළිබඳ කරුණු ඇතුළත් කළ යුතුයි. ඊට සමගාමීව ආණ්ඩුව කසළ ප‍්‍රතිචක‍්‍රීයකරණයට යාන්ත‍්‍රණයක් සකස් කළ යුතුයි. මේ කරුණු දෙකම එකතු වන විට තමයි සැබෑ උත්තරයක් ලැබෙන්නේ.

කසළ ප‍්‍රතිචකී‍්‍රයකරණයේ ප‍්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි, මූලාශ‍්‍රයේදී වෙන් කිරීම. අනෙක් කාරණය වෙන්නේ 3 ආර් සිස්ටම් එක. රෙඩියුස්, රී යූස් සහ රීසයිකල්. මෙම ක‍්‍රමය යටතේ කසළ කළමනාකරණය කළ යුතුයි. අපේ රටේ මහ ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, අපේ රටේ නායකයෝ ඕනෑ තරම් ලෝකයේ වෙනත් රටවල්වලට ගිහින් මේවා පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒත් ලංකාවේ කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි කුණු මාෆියාව කි‍්‍රයාත්මක වීම. කුණු ඉවත්කරන කොන්ත‍්‍රාත්තුව ගන්නේත් දේශපාලකයින්. ආණ්ඩුවත් මේ මාෆියාව පවත්වාගෙන යන කොටස්කාරයෙක්.

ඒ නිසා මේ ප‍්‍රශ්නයට උත්තරය එක තැනකින් තව තැනකට කුණු දාන එක නෙවෙයි. ජන ශූන්‍ය ප‍්‍රදේශයකට කුණු බැහැර කරලා ප‍්‍රතිචකී‍්‍රයකරණය ආරම්භ කළ යුතුයි. ඒ වගේම විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසිය යුතුයි. අපේ රටේ ජනාධිපතිවරයා විපත සිදුවූ ස්ථානයට ගියේවත් නැහැ. අගමැති ගියෙත් කට බැඳගෙන, නහය වහගෙන. ලැජ්ජයි. මියගිය අයට ලබාදුන් මිනී පෙට්ටිවල ලෑලි ගැලවෙනවා.මේ ආණ්ඩුවේ නායකයන්ට අවම සදාචාරයක්වත් නැහැ. කෝටි ගණන් ඇමතිවරුන්ට වියදම් කරනවා. ඇමතිවරයෙකුට ගේන එක වාහනයක සල්ලිවලින් මේ කසළ ප‍්‍රශ්නයට විසඳුම් හොයන්න පුළුවන්. අරණායක, සාලාව ප‍්‍රදේශවලදී විපතට පත්වූ ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුව කරපු දේවල් අපි දන්නවා. ඒ නිසා ඒ විදිහටම මීතොටමුල්ලේ ජනතාවට සිදුවෙන්න දෙන්න එපා. බොරු කයිවාරු නැතිව මේ ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදිය යුතුයි. එමෙන්ම සාධාරණ ලෙස වන්දි ගෙවීම් කළ යුතුයි.”

Check Also

අකිල විරාජ් මේ හදන්නේ පන්සල් වහන්න- හාමුදුරුවෝ පුරාවස්තු පෙන්වලා දුෂණ,වංචා කරලා

දඹුලු ලෙන් විහාරය මධ්‍යම සංස්කෘතික අරමුද‍ලට පවරා ගනිමින් පන්සල් යැපිම සදහා ලැබෙන අදායම නැතිකර දැමිම ...