උදය ගම්මන්පිල වැනි අය කතා කරන්නේ සිහියෙන්ද?-ඛේදවාචකයේ වගකීම වත්මන් ආණ්ඩුවේ නායකයන් විසින් භාරගත්තා

0

කියන්නෝ කෙසේ කීවත් අසන්නෝ බුද්ධිමත් බව ගම්මන්පිල මහතා ඇතුළු ඒකාබද්ධ පිලේ කට්ටිය තේරුම් ගැනීමට නුවණට හුරු බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසයි. සියඹලාව ප්‍රදේශයේ ඊයේ (19) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ පසුගියදා මීතොටමුල්ල ප්‍රදේශයේ සිදු වූ ඛේදවාචකයේ වගකීම වත්මන් ආණ්ඩුවේ නායකයන් විසින් භාරගෙන ඇති බවත්, වත්මන් ආණ්ඩුව වගකීම්වලින් බැහැර වන ආණ්ඩුවක් නොවන බවත්ය.

මීතොටමුල්ලේ සිදු වූ ඛේදවාචකයෙන්ද දේශපාලන වාසි ලබාගැනීමටත් ජනතාව ප්‍රකෝප කිරීමටත් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් ක්‍රියා කරමින් සිටින බවත් උදය ගම්මන්පිල වැනි අය කතා කරන්නේ පියවි සිහියෙන්දැයි සැකයක් මතුවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

“දැන් උදය ගම්මන්පිලලා කියන්නේ මීතොටමුල්ල ගැන ආණ්ඩුව නිහඬව සිටිනවා කියලයි. නෑ අපි නිහඬව නෑ. අපි මේ විපත ගැන බලවත් සේ කම්පාවට පත්වුණා. ඒ වගේම විපතට පත් ජනතාවගේ ජන ජීවිතය නඟාසිටුවන්න අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න ආණ්ඩුවක් විදියට අපි සූදානම්. අපි උදය ගම්මන්පිල වැනි අයගෙන් ඉල්ලා සිටින්න අවශ්‍යයි මේ වගේ විපත්තිදායක අවස්ථාවකවත් දේශපාලන වාසි ලබා නොගන්නා ලෙස. කියවන එකෙත් සීමාවක් වගේම තේරුමකුත් තියෙන්න ඕනෑ. මේ විපත පිළිබඳ රට පාලනය කරන අයට වගේම රට පාලනය කළ අයටත් වගකීමක් තියෙනවා. රටාවකට කතා කළ පමණින් ඒ වගකීමෙන් මිදෙන්න කාටවත් බෑ. ගම්මන්පිල මහත්තයා බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරයෙක් විදියට මෙහෙම අදහස් දැක්වීම ලැජ්ජාවක්. එමඟින් පේන්නේ ඔහු ජනතා සේවය නිසි පරිදි ඉටු කර නොමැති බවයි. පරිසර කටයුතු පිළිබඳ තනතුරු කිහිපයක්ම දරමින් ඔහු කටයුතු කළා. ඒ කාලෙත් මීතොටමුල්ල කුණු කන්ද ඔය විදියටම තිබුණු බව දැන් ඔහුට අමතක වීම පුදුමයක්. කියන්නෝ කෙසේ කීවත් අසන්නෝ බුද්ධිමත් බව ගම්මන්පිල මහතා ඇතුළු ඒකාබද්ධ පිලේ කට්ටිය තේරුම් ගැනීමට නුවණට හුරුයි.”

“අපි කාටවත් චෝදනා කරන්නේ නෑ. ඒ වගේම මේක චෝදනා කර කර ඉන්න සුදුසු කාලයක් නෙවෙයි. මේ උදාවී තිබෙන්නේ රට වෙනුවෙන් වැඩ කරන කාලයයි. එබැවින් මා උදය ගම්මන්පිල මහතාටත් කියන්නේ කතා කර කර චෝදනා කරමින් තැන තැන කියවමින් ඉන්නේ නැතිව මේ ගැටලුවලට විසඳුම් සෙවීමේ ක්‍රියාමාර්ගයේදී සැබෑ ජනතා නියෝජිතයෙකුගේ යුතුකම ඉටු කරන ලෙසයි”