Home / Featured / මීතොටමුල්ල ඝාතන සුළු පටු නොවේ …පාලකයන්ට එරෙහි නඩු -කුණු කන්දෙනුත් ගසා කාලා …එකෙකුට ගැළවීමක් නෑ

මීතොටමුල්ල ඝාතන සුළු පටු නොවේ …පාලකයන්ට එරෙහි නඩු -කුණු කන්දෙනුත් ගසා කාලා …එකෙකුට ගැළවීමක් නෑ

කුණු ඉවත් කිරීමේ ක්‍රියාවලියේ මූල්‍ය අක‍්‍රමිකතා සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.ඊයේ (20) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔවුන් මේ බව සදහන් කළා.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී නීතිඥ සුනිල් වටගල කියා සිටියේ මෙය පාලකයන්ගේ නොසැලකිලිමත්කම නිසා සිදුවූ අනියම් මිනී මැරුමක් බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සුනිල් වටගල ,

“මේ සිදුවීමෙන් පස්සේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට පවා ඒ රටවල පාරේ බැහැලා යන්න ලැජ්ජාවක් ඇතිවෙලා. විදේශගතව ඉන්න මගේ යාළුවෙක් මට කතා කරලා කිව්වා, ඒ කතාවේ ඇත්තක් තියෙනවා. ගුවන්තොටුපොළෙන් බැහැලා කොළඹට එන විදේශකයෙකුට කැළණි පාලමේදී වම බැලුවම පේන්නේ කොළොන්නාවේ කුණු කන්ද. දකුණ බැලුවාම පේන්නේ බ්ලූමැන්ඩල් කුණු කන්ද. ඉතියෝපියාවෙන් පස්සේ කුණු කන්දකට යටවෙලා මිනිස්සු මැරුණු රට ලංකාවයි. ලැජ්ජාවට කරුණක් තමයි.

කොළොන්නාවේ මෙම භූමිය කුණු දාන්න තෝරා ගත්තේ නිසි පරිසර ඇගයීම් වාර්තාවකට අනුව නොවෙයි. ඒ වගේම මේ ආණ්ඩුවට අවස්ථා 3කදී මෙම විපතෙන් ජනතාව බේරගන්න කටයුතු කරන්න තිබුණා. එක වෙලාවක මේ කුණු කන්ද ගිනි ගත්තා. ඒ මොහොතේදී මෙම කුණු කන්දේ වපසරිය පිළිබඳව නිසි ඇගයීමක් කළේ නැහැ. මෙම කුණු කන්ද තිබුණේ මඩ සහිත භූමියක. මේ මෑතකදී සුළු ගං වතුර තත්වයක් ඇතිවුණා. එහිදී අසාමාන්‍ය ලෙස නිවාස යටවුණා. ඒ වෙලාවේදීත් අපි අදාළ ආයතන දැනුවත් කළා. මෙම ස්ථානයේ අසාමාන්‍ය තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. ආසන්නම බරපතළම සිදුවීම සිදුවුණේ අප්‍රේල් 11 රාත්‍රියේ. අප්‍රේල් 12වැනිදා මම එතනට ගිහින් බැලුවා. අසාමාන්‍ය ලෙස එම ප‍්‍රදේශයේ කොටසක් ඉරි තලා ගිහින් තිබුණා. කොන්ක්‍රීට් තට්ටුවක් පැළිලා ඈත් වෙලා තිබුණා. ඒ මොහොතේදීත් අපි අදාල බලධාරීන් දැනුවත් කළා. නමුත් මේ අවස්ථා හැම එකකදීම බලධාරීන් මේ ගැන අවධානය යොමු කරන එක මගඇරියා.

මේ සිදුවීමන් මළ සිරුරු 32ක් (19) වනවිට ගොඩ අරගෙන තිබෙනවා. තවත් ගණනය නොකළ ප‍්‍රමාණයක් පොළොව යට ඉන්නවා. මේක ස්වභාවික ආපදාවක් නෙවෙයි. නොසැලකිලිමත්කම නිසා අනියම් මිනී මැරුමක්. නගර සභා ආඥා පනතේ 129 වගන්තියට අනුව කුණු ඉවත් කිරීම නගර සභාව සතු වගකීමක්. ඒ වගේම 130 වගන්තියට අනුව කසළ තම වත්කමක් බවට පත්කරගත යුතුයි. තිස්සමහාරාමය ප‍්‍රාදේශීය සභාවේදී අපි ඒක හරියටම කළා. නමුත් මීතොටමුල්ල ගත්තහම කුණු දැම්මේ කිසිදු ප‍්‍රමිතියකින් තොරවයි. ඒ වගේම ව්‍යසනය ඇතිවන බව දැනුම්දී තිිබියදී එය නොසලකා හැරලා. දණ්ඩ නීති සංග‍්‍රහයේ 298 වගන්තිය අනුව නොසලකා හැරීමෙන් මරණ සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. අවුරුදු 5ක සිර දඬුවමකට යටත් කළ හැකියි. ඒ නිසා මේ මරණ වළක්වන්න හැකියාව තිබුණා. බලධාරීන් තමන්ගේ වගකීම අත්හැරීම නිසා මිනිස්සුන්ට ජීවිත දන් දෙන්න සිදුවුණා. මේ අපරාධයට පහුගිය රාජපක්‍ෂ ආණ්ඩුව අනුබල දුන්නා. මේ ආණ්ඩුව එම ක්‍රියාව සිදුකළා. ඒ නිසා මේ ආණ්ඩු දෙකම මේ මරණවලට වගකිව යුතුයි. අපි මේ වනවිටත් මේ පිළිබඳව නීතිමය උපදෙස් ගනිමින් තිබෙනවා. මීට වගකිව යුතු පුද්ගලයින්ට නඩු පැවරීම සඳහා.

ඒ වගේම මේ සිදුවීම ගැන ජනාධිපතිරවයා සමඟ සාකච්ඡාවක් පැවැත්වුණා. නමුත් කාමරයේ ගන්නා තීරණ මහ පොළොවේ ක්‍රියාත්මක නොවන තත්වයක් මතුවෙලා තිබෙනවා. මහ ඇමතිවරයා කොළොන්නාවේ කුණු ඉවත්කිරීමට සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා කියලා සාකචඡාවේදී එකඟ වුණාට ඒක පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම ඊයේ කොළොන්නාව ප‍්‍රදේශයේ සංචාරය කරනකොට මට දැනගන්න ලැබුණා, කොළොන්නාව නගර සභාවෙන් කුණු ඉවත් කරන එක නතර කළා කියලා ජනතාව දැනුවත් කරන බව. ඒ වෙලාවේ මම නගර සභාවට ගිහින් මේ ගැන විමසුවා. ඔවුන් නගර සභා පනත උල්ලංඝනය කරලා වැඩ කරනවා. නමුත් නගර සභාවේ මේකට වගකියන කිසිවෙක් හිටියේ නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ ශීත කාමරවල ගන්නා තීරණ මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා.

මීතොටමුල්ලේ තවත් අවදානම් කලාපයක් තියෙනවා කියලා දැන් හඳුනාගෙන තිබෙනවා. දැන් හමුදාව ඇවිත් කියනවා, ඒ ප‍්‍රදේශවලින් ජනතාවට ඉවත් වෙන්න කියලා. නමුත් එහෙම කියපු පලියට ජනතාවට ඉවත් වෙන්න බැහැ. ඒ නිවාස, තට්ටු දෙකේ තුනේ කෝටි ගණන් වටිනා දේපොළ. යන්න කිව්වට වී ගබඩාවකට යන්න මේ මිනිස්සු කැමති වෙන්නේ නැහැ. තමන්ගේ කෝටි ගණන් වටිනා දේපොළ දාලා යන්න ඔවුන් කැමති නැහැ.

ආණ්ඩුව වන්දි ගෙවීම ගැන ප‍්‍රකාශයක් කර තිබුණා. මිය ගිය අයෙකුට රුපියල් ලක්‍ෂයක් සහ නිවසකට රුපියල් ලක්‍ෂ 25ක් ගෙවනවා කියලා. එය රක්‍ෂණයෙන් ලැබෙන මුදලයි. මේක ආණ්ඩුවෙන් ගෙවන මුදලක් නෙවෙයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ දේපොළ පිළිබඳව ඇත්ත සාධාරණ තක්සේරුවක් කරන්න කියලා. මේ ආණ්ඩුව ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා. අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. ජවිපෙ ජනතාවගේ පැත්තේ ඉඳිමින් මෙම ගැටලුවට විසඳුම් හොයන්න මැදිහත් වෙනවා.”

හිටපු නාගරික මන්ත‍්‍රී ධම්මික විජයමුණි අදහස් දක්වමින්…

“දහම්පුර, මීතොටමුල්ල ප‍්‍රදේශවල ජනතාව මුහුණ දීලා තිබෙන්නේ ඉතාම ශොකාකූල තත්වයකට. මිනිස් ජීවිත 32ක් අහිමි වෙලා තිබෙනවා. තවත් 30කට පමණ ආසන්න පිරිසක් අතුරුදහන් වෙලා. මෙම ස්ථානයට 1979 ඉඳලා කුණු දැම්මා. මේ මිනිස්සු කුණු කන්දක් ළඟට ඇවිත් පදිංචි වුණේ නැහැ. ආණ්ඩුව මිනිස්සු ඉන්න තැනකට කුණු ගෙනත් දැම්මා. කුඹුරක් තිබුණු ඉඩමකට තමයි ආණ්ඩුව කුණු ගෙනත් දැම්මේ. දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා තමයි මෙම ස්ථානයට කුණු දාන්න නඩු තීන්දුවක් ගත්තේ. නගර සභාවේදී මම විතරයි මේකට විරුද්ධ වුණේ. ඒ වෙලාවේදී තිබුණු තත්වය ඔබ සියලු දෙනා දන්නවා ඇති. එදා නගර සභාවේදී මට වතුර වීදුරුවෙන් පවා පහර දුන්නා. නගර සභාවේ කාර්ය මණ්ඩලය තමයි මාව බේරගත්තේ. මෙතැන්ට කුණු දාන්න කිසිදු පරිසර වාර්තාවක් නැහැ. එවකට ආරක්‍ෂක ලේකම්වරයාගේ අණකට අනුව තමයි තීන්දු තීරණ ගත්තේ. මේකේ වගඋත්තරකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවයි ප‍්‍රදේශවාසීන් කියන්නේ.

පාරම්පරිකව ජීවත් වුණු මිනිස්සු ඉන්න තැනකට කුණු ගෙනත් දාලා දැන් කියනවා එම ප‍්‍රදේශය අවදානම් කියලා. මිනිස්සුන්ට ඉවත් වෙන්න කියලා. පහුගිය ආණ්ඩුව කුණු දැම්මා. මේ ආණ්ඩුව කුණු පෙන්වලා ඡන්ද ගත්තා. ඒ ප‍්‍රදේශයේ මිනිස්සුන් ඉවත් කරන විදිහත් සාධාරණ නැහැ. ඒ නිසා අපි කොලොන්නාව ජනතාව සමඟ මේ ප‍්‍රශ්නයට විසඳුම් හොයන්න මැදිහත් වෙනවා. මේ සඳහා ඔබ සියලූ දෙනාට අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.”

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ද එක්වී සිටියා.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්,

“මේ ප‍්‍රදේශයේ ජීවත් වුණු 60කට ආසන්න පිරිසක් මෙම අනතුරට මුහුණ දුන්නු බව තමයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ. ආණ්ඩුවේ ලේඛනවලට අනුව මේ වනවිට 08 දෙනෙක් අතුරුදහන් කියලා තිබෙනවා. නමුත් මේ පිළිබඳව නිශ්චිතව තොරතුරු ලබාගන්න නොහැකි වෙලා තිබෙනවා. අවුරුදු නිසා මේ ප‍්‍රදේශයට පිටතින් ආව පිරිස් ඉන්නවා. සිද්ධිය වූ දිනයේ උත්සවයක් තිබුණා කියලත් වාර්තා වෙනවා. එනිසා මෙම සංඛ්‍යාලේඛනවල විචලනයක් තියෙන්න පුළුවන්.

විගණකාධිපතිගේ වාර්තා අනුව කුණු ඉවත් කිරීමේ ක්‍රියාවලියේ මූල්‍ය අක‍්‍රමිකතා සිදුවෙලා තියෙන බව පැහැදිලියි. කුණු එක්ක සල්ලි ගනුදෙනු වන බව සියලු දෙනාම දන්න කරුණක්. එය ඔප්පු කර ගැනීම නීතිය ඉදිරියේ තියෙන දෙයක්.

කුණු ඉවත්කිරීමේ ක්‍රියාවලියට යොදාගන්න කැටෆිලර් යන්ත‍්‍රයකට පැයකට රුපියල් 8000ක මුදලක් ගෙවනවා. එතකොට හිතාගන්න පුළුවන් මෙහිදී කොයි තරම් මුදලක් ගෙවා තිබෙනවාද කියලා. ඒත් මේ විපතට පත්වුණු ජනතාවට ගෘහ භාණ්ඩ ලබාගන්න දෙන්නේ ලක්‍ෂ දෙක හමාරයි.

දැන් ආණ්ඩුව මෙහි වගකීම ජනතාව මත පටවන්න හදනවා. අවදානම් තත්වයක් තියෙද්දී ප‍්‍රදේශවාසීන් ඉවත් වුණේ නැහැ කියලා චෝදනා කරනවා. මේවා පාරම්පරික ඉඩම්. එම ඉඩම්වලට කුණු දාලා ජනතාව එතැනින් ඉවත් කරන්න හදනවා. නමුත් ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ ජන ශූන්‍ය ප‍්‍රදේශයක් තෝරාගෙන කුණු ප‍්‍රතිචක්‍රීයකරණයට වැඩපිළිවෙළක් හදන එකයි. ඒකට මිනිස්සු විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් කුණු ගෙනත් දාපු ආණ්ඩුව මිනිස්සු වගඋත්තරකරුවන් කරන්න හදනවා. ඒක තමයි මේ ආණ්ඩුව කරන දෙවැනි සාපරාධී කටයුත්ත.”

Check Also

මල්ටි බැරල්, රොකට් උණ්ඩ නෑ, රට බෙදුම්වාදයට යනවා……. ඥාණසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

වෙඩි උණ්ඩ නොමැතිව, මල්ටි බැරල් රොකට් උණ්ඩ නොමැතිව ලියවිලි වලින් පමණක් රට බෙදුම්වාදය කරා ගෙන ...