ජනපති අණ තඹ දොහිත්තුවකට මායිම් නොකරයි … කුණු ලොරි එන මග නිදිවැද ,පොලිසියට හූ තියා පන්නයි …

0

කොළඹට එක්රැස් වන කැළි කසළ වත්තල , බෝපිටිය ප්‍රදේශයට බැහැර කිරීමට එරෙහිව එම ප්‍රදේශයේ ජනතාව අද (21) දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූවා.ප්‍රදේශයේ ආගමික නායකයින්, දේශපාලනඥයින් සහ ජනතාව එක්ව මෙම විරෝධතාව පවත්වා තිබෙනවා.

වත්තල , බෝපිටිය ,නුගපේ ප්‍රදේශය කසළ බැහැර කිරීම සදහා හදුනා ගෙන ඇති එක් ස්ථානයකී. සුපුරුදු ලෙස අද දිනයේදීත් එම ස්ථානයට කසල බැහැර කිරීම සදහා කසළ රැගත් ලොරි කිහිපයක් පැමිණියද ප්‍රදේශවාසීන්ගෙන් එල්ලවූයේ දැඩි විරෝධයකී.මාර්ගය හරස් කරමින් ප්‍රදේශවාසින් විසින් එහිදී දිගින් දිගටම විරෝධතා පැවැත්වූවා.

මහ මග නිදා ගනිමින් විරෝධතාකරුවන් එහිදී කලහාකාරි ලෙස හැසිරුණු අතර  තත්වය පාලනය කිරීම සදහා පොලිසියටද මැදිහත් වීමට සිදු විය. එහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් ඇතිවූ අතර ,ප්‍රදේශවාසීන් විසින් පොලිසියට “හූ ” කියමින් තම විරෝධය දැක්වූවා.

නමුත් එම ස්ථානයට පැමිණි පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් විරෝධතාකරුවන් එම ස්ථානයෙන්ඉවත්  කර කසළ බැහැර කිරීම සදහා අවස්ථාව ලබා දුන්නා.

අදාළ පිරිස කසළ බැහැර කිරීමට එරෙහිව මෙලෙස විරෝධතා පැවැත්වූයේ සියලුම පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදීයි.

මෙම ගැසට් නිවේදනය ඊයේ (2017-04-20) මධ්‍යම රාත‍්‍රි 12.00 සිට බලාත්මක වේ.

අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන්.

“මහජන ආරක්ෂක පනතේ 17 වන වගන්තිය ප‍්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද නියෝගයක් අනුව, ඕනෑම පළාත් පාලන ආයතනයක් විසින් කි‍්‍රයාත්මක කරන හා පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය ඉවත් කිරීම, එකතු කිරීම, ප‍්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, සකස් කිරීම, වෙන් කිරීම, බැහැර කිරීම සහ මහාමාර්ගවල ඇති අපද්‍රව්‍ය, නිවෙස්වලින් බැහැර කරන අපද්‍රව්‍ය හා ඊට සමාන කාර්යයන් පිළිබඳව ගනු ලබන කි‍්‍රයාමාර්ග මෙම නියෝගයට අදාළ වේ.

එමෙන්ම මේවා අත්‍යාවශ්‍ය සේවා බවට එමගින් නියම කර ඇත.එමගින් පහත සඳහන් කි‍්‍රයාමාර්ග ආවරණය වේ.

01- යම් කිසිවෙකු පුද්ගලයෙකුට හෝ දේපළවලට වාචිකව හෝ ලිඛිතව හිංසනයක් සිදු කිරීමෙන් එනම් තර්ජනය කිරීම, බලහත්කාරයෙන් හෝ කුමන අන්දමකින් හෝ අපහාසයකින් හෝ අන් ක‍්‍රමයකින් එම කාර්යයන්හි යෙදීම වැළැක්වීම, බාධා කිරීම, ප‍්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදකි. එමෙන්ම මෙවැනි කි‍්‍රයාවන් සඳකහා බලපෑම, ජනතාව ප‍්‍රකෝප කිරීම අන් අන්දමකින් පෙළඹවීම මගින් එවැනි සේවා පවත්වාගෙන යාමට යමෙකුට බාධා කිරීම රැකියාවෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීම නීති විරෝධි වේ. තවද මෙවැනි කාර්යයන් සඳහා රැකියා අවස්ථාවන් සැපයීම හෝ රැකියාවන් භාර ගැනීම වැළැක්වීම ද එසේම වරදකි.

මෙකී කි‍්‍රයාවන් සඳහා කිසිවෙකු ශාරිරිකව හෝ වාචිකව හෝ ලිඛිතව හෝ බලපෑම් කිරීම, දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

02- මෙම පනතේ විධිවිධාන අනුව උක්ත කි‍්‍රයාවන් කළ හෝ කරන හෝ කළේ යැයි සැක කිරීමට සාධාරණ හේතු ඇති විට ඕනෑම පොලිස් නිළධාරියෙකුට වරෙන්තු රහිතව, ඕනෑම අවස්ථාවක එවැන්නෙකු අත්අඩංගුවට ගත හැකිය.

03- මෙවැනි වරදකට හසුවූ කෙනෙකු මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරිපිට නඩු විනිශ්චයකින් පසුව බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කළ හැකි වේ.

මේ අතර කොටිකාවත්ත ප්‍රදේශයේ ස්ථානයකට කසළ බැහැර කිරීමකට එරෙහිව කොළඹ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණයෙන් එම ස්ථානයට කසළ බැහැර කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.වසර ගණනාවක පටන් එම ස්ථානයට කසළ බැහැර කර ඇති අතර එය පුද්ගලික ඉඩමක් වන බැවින් වහාම එම ස්ථානයට කසළ බැහැර කිරීමට එරෙහිව අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.