Home / Featured / “වගා බදු අරමුදල”…කෝටි 600 ගාණකට වෙච්චි දෙයක් නෑ … ඇත්තේ කෝටි 150 යි …අගමැතිට චෝදනා

“වගා බදු අරමුදල”…කෝටි 600 ගාණකට වෙච්චි දෙයක් නෑ … ඇත්තේ කෝටි 150 යි …අගමැතිට චෝදනා

වගා හානිවීමත් සමඟ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නායකත්වයෙන් ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය හා රාජ්‍ය නොවන මූල්‍ය ආයතනවල දායකත්වයෙන් 2013 වසරේදී ගොඩ නැගූ “වගා බදු අරමුදල” නම් අරමුදලේ තිබියයුතු රුපියල් කෝටි 600කට වැඩි  මුදල මේ වනවිට ආගිය අතක් නැතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කරයි.

අද (21) පෙරවරුවේ දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මෙම අරමුදල වගා හානිවන ගොවීන්ට වන්දි ගෙවීම සඳහා වගා රක්ෂණයක් ස්වරූපයෙන් පැවති බවත් එම අරමුදලට සෑම රාජ්‍ය හා රාජ්‍ය නොවන මූල්‍ය ආයතනයකින්ම අවුරුද්දකට එම මූල්‍ය ආයතනයේ ලාභයෙන් 1%ක් බැර කරන බවත් ඒ අනුව අවුරුද්දකට රුපියල් කෝටි 160කට ආසන්න මුදලක් එකතුවන බවත් නාමල් කරුණාරත්න අනාවරණය කළා .

ඒ අනුව 2012 වසරේ සිට මේ දක්වා වසර 05කට ආසන්න කාලයක් එම අරමුදල පවත්වාගෙන පැමිණි අතර ඒ අතරතුර කාලය තුළ ඉන් කිසිඳු මුදලක් ගෙන නැති බවත් ඒ අනුව මේ වනවිට රුපියල් 700කට ආසන්න මුදලක් තිබිය යුතු නමුත් මෙවර වගා වන්දි ගෙවීමට යාමේදී එහි තිබී ඇත්තේ රුපියල් කෝටි 150ක් පමණක් බවත් ඔහු පවසයි.

මෙම අරමුදල මුදල් අමාත්‍යාංශය යටතේ පැවති අතර මේ වනවිට එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ පවතින බවත් එම මුදල්වලට සම්පූර්ණයෙන්ම අග්‍රාමාත්‍යවරයා වගකිව යුතු බවත් නාමල් කරුණාරත්න අවධාරණය කරයි.

මෙම අරමුදල සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් එමෙන්ම මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවට පැමිණිලි කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම පසුගිය අලුත් අවුරුදු සමයට පෙර ගෙවූ රුපියල් දසදහසක වගා වන්දි මුදලින් රක්ෂණ ගාස්තු ලෙස සඳහන් කරමින් රුපියල් 1,350ක මුදලක් කපාගෙන ඇති බවත් එම කපා ගත් මුදලද සහිතව ඉතිරි මාස 03ට අදාළව රුපියල් තිස්දහසක මුදල වහාම ගෙවිය යුතු බවත් එම මාධ්‍ය හමුවේදී නාමල් කරුණාරත්න අවධාරණය කළේ ය.

මෙවර යල කන්නය මේ වනවිට ආරම්භ වී ඇති බවත් දැන් ගොයමට දින 55ක් ගතවී ඇතත් මෙතෙක් පොහොර සඳහා මුදල් බැංකු ගත කර නැති බැවින් පොහොර යෙදීමට නොහැකි වීමෙන් ගොයම බාල වෙමින් පවතින බවත් එහිදි ප්‍රකාශ කළේය.

පසුගිය කන්න දෙකකදීම පොහොර සහනාධාරය නොලැබුණු බැවින් මෙවර යල කන්නය සඳහා පොහොර සහනාධාරය දෙගුණයක් කර ලබා දියයුතු බවත් කවුඩුල්ල ව්‍යාපාරයේ අක්කර දහඅටදහසක් වගා කර ඇති බවත් ඒ සඳහා පොහොර ලබාදීමට ආණ්ඩුව අසාර්ථක වී ඇති බවත් නාමල් කරුණාරත්න පෙන්වා දෙයි.

ආණ්ඩුවේ පොහොර බෙදීමේ වැඩපිළිවෙල අසාර්ථක බව සඳහන් කරමින් තමන් ගෙන ගිය අරගලය සාධාරණ බව මෙමගින්ම ඔප්පුවන බවත් ආණ්ඩුව විසින්ම තම අසාර්ථක බව මේ වනවිට ඔප්පු කර හමාර බවත් එහිදී නාමල් කරුණාරත්න අවධාරණය කළේ ය.

මාදුරුඔය ජලාශයේ ජලය එම ගොවි ජනතාවට අවශය ප්‍රමාණයට ලබා දීමට ආණ්ඩුව ලබන 23වනදා පෙර තවදුරටත් කටයුතු නොකරන්නේනම් ලබන 23වනදා එම ජලාශයෙන් වගා කටයුතු සිදු කරන ගොවිජනතාව සමග අම්පාර නගරයේ දැවැන්ත විරෝධතාවයක් සිදු කරන බවත් ආණ්ඩුව ඊටද කන් නොදුනහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.

Check Also

ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුබපැතුම්

අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකි බව ...