Home / Featured / තවත් දුම්වැටි සමාගමක් නෑ- GMOA මුදල් සහ වරදාන මත ප්‍රකාශ නිකුත් කරනවා

තවත් දුම්වැටි සමාගමක් නෑ- GMOA මුදල් සහ වරදාන මත ප්‍රකාශ නිකුත් කරනවා

ශ්‍රී ලංකාව තුළ තවත් දුම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමට සූදානම් බවට පසුගිය (17) දින රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න පවසයි.

ශ්‍රී ලංකාව තුළ තවත් දුම්වැටි නිෂ්පාදන සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වන බැවින් මේ පිළිබඳ සොයා බලා ඒ පිටුපස සිටින ජාවාරම්කරුවන් රටට හෙළිකිරීමට ක්‍රියා කරන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළ බව, එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පසුගියිදා අනාවරණය කළා.

එම අනාවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

මේ රජය තරම් දුම්වැටි නිවාරණය සඳහා කැපවුනු තවත් රජයක් නොමැත. දුම්බීම අවම කිරීම සඳහා දුම්කොළ සමාගම්වලින් සියයට 90ක් බදු අයකර ගැනීමට සහ දුම්වැටි අසුරණවල සියයට 80ක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීමට හා පාසල් අවට මීටර් 500ක් ඇතුළත දුම්වැටි විකිණීමත් තහනම් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයට යොමුකර තිබෙනවා. ඉදිරියේදී ප්ලේන් සිගරට් පැකට් කෙරෙහි ද අවධානය යොමුකොට තිබෙනවා. ඊට ද විවිධ බලපෑම් එල්ලවුණා. දුම්කොළ සමාගමෙන් රජයට වාර්ෂිකව ලැබෙන බදු මුදල වන්නේ රුපියල් බිලියන 100ක්.

දුම්පානය නිසා ඇතිවන රෝග සුව කිරීම සඳහා රුපියල් බිලියන 72කට වැඩි මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැය කිරීමට සිදුව තිබෙනවා. දුම් බීමෙන් පමණක් වසරකට ලෝකය පුරා පුද්ගලයන් මිලියන 30 – 40ත් අතර සංඛ්‍යාවක් මියයනවා. ශ්‍රී ලංකාවේ දුම් බීමෙන් සහ මධ්‍යසාර පානයෙන් වසරකට 25000ක් ජීවිත අහිමි කර ගනු ලබනවා. දුම්කොළ සමාගම විසින් පවසන්නේ වත්මන් රජය බදු වැඩි කිරීමෙන් පසු ලාභය සියයට 01ක් ලෙස පහත වැටී ඇති බවත්, එය පවත්වා ගැනීම ද ඉතා අසීරු තත්ත්වයක පවතින බවයි. මේ අයුරින් දුම්වැටි නිවාරණයට හා දුම්වැටි විකිණීම අධෛර්යට පත් කරන ශ්‍රී ලංකාව වැනි රටකට දුම්කොළ සමාගමක් පැමිණෙනවා යැයි කීම හාස්‍යයට කරුණක්.

පසුගිය රජය සමයේදී දුම්වැටි අසුරනවල රූප රාමු ඇතුළත් කිරීම සියයට 80 සිට සියයට 60 දක්වා පහළ දමද්දී දුම්වැටි නිවාරණයට කැපවූවා යැයි කියන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ පිරිස් හිටියේ කොහේ ද ඔවුන් එවිට ඒ පිළිබඳ කිසිදු අයුරකින් ප්‍රකාශයක්වත් නිකුත් කරගන්නවත් බැරි වුණා. වත්මන් රජය කිසිදු අවස්ථාවක තවත් දුම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමට ඉඩ දෙන්නේ නැති බව අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාව දුම්වැටි නිවාරණය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ඇගයීමට ලක්ව තිබෙන යුගයක ජනාධිපතිවරයාත් තමනුත් නිරන්තරයෙන් දුම්වැටි නිවාරණය සඳහා කැපවෙන්නේ ලැබෙන ආදායමක් පිළිබඳ සිතා නොව ජනතාව සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට බව ද සෞඛ්‍ය ඇමැතිවරයා පවසයි. ඖෂධ මිල අඩු කිරීමෙන් පසු සහ දුම්කොළ බදු මුදල් වැඩි කිරීමෙන් පසු එම සමාගම්වලින් තමන්ට ප්‍රහාර එල්ලවන බව තමා බලාපොරොත්තුවෙන් සිටි බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමහරෙකු විසින් සිදු කරන මෙවැනි විකාර රූපී කතාවන් හේතුවෙන් ඔවුන් ද මේ සමාගම්වල මුදල් සහ වරදාන මත මෙවැනි ප්‍රකාශ නිකුත් කරන බවට තමා තුළ සැකයක් මතු වන බවත් සෞඛ්‍ය ඇමැතිවරයා සදහන් කළා.

ආණ්ඩුවේ නරිවාදම්..දෙකොනින් යයි….තවත් දුම්වැටි නිෂ්පාදන සමාගමක් ලියාපදිංචියට

Check Also

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ වහාම මහනායක හිමියන්ට දෙනවා

ව්‍යවස්ථාව පිළිබඳ අනු කමිටුව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථාදායක සභාව සඳහා පමණක් බවත් එය සභාවේ ...