එයා තමයි මේක කෑවේ…මම හොඳටම දන්නවා…- පුත්තලමට කසළ දැමිම අන්තිම අසාර්ථක ව්‍යාපෘතියක්

0

පසුගිය ආණ්ඩුව විසින් මීතොටමුල්ල කැළි කසළ පුත්තලමට ගෙනයෑමට සිදු කළ ව්‍යාපෘතිය අති අසාර්ථක ව්‍යාපෘතියක් බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පවසයි.ඊයේ (20) මල්වතු මහා නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් හමුවු අවස්ථාවේ නියෝජ්‍ය කතානායක වරයා සදහන් කළේ හිටපු ජනාධිපතිවරයා කුණු සම්බන්ධයෙන් ක්‍රියාත්මක කල ව්‍යාපෘති සියල්ලම අසාර්ථක වු බවයි.

මල්වතු මහා නාහිමි, හිටපු ජනාධිපතිවරයා මේ කසළ ප්‍රශ්නය සඳහා යම් වැඩපිළිවෙළක් සහ ව්‍යාපෘති සකස් කර තිබුණ බවට කල ප්‍රකාශ සම්බන්ධයෙන් නී කතානායකවරයාගෙන් විමසා සිටියා…

එහිදි අදහස් දැක්වු නියෝජ්‍ය කතානායකවරයා

“එයා තමයි මේක කෑවේ. මේ සඳහා ව්‍යාපෘති හතරක් පමණ සාදා තිබුණා. නමුත් එයා කිසි දෙයක් කළේ නැහැ. මම හොඳටම දන්නවා. මේ පිළිබඳය ඇති ප්‍රශ්න දන්නේ නගරයේ ඉන්න අපිනේ. එයා කිසිදෙයක් කළේ නැහැ. ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් අල්ලාගෙන එයා මෙය බොහොම සැහැල්ලුවට අරගෙන විසඳුමකට ගියේ නැහැ. අන්තිමට ගෝඨාභය මහත්තයාට කීවා මේවා ගිහින් පුත්තලමේ දාන්න කියලා. පුත්තලමට කසළ දාන්න වෙනම කෝච්චියක් යන්න වෙනවා. කෝච්චියකින් කසළ ටොන් එකක් ගෙන යන්න රුපියල් අටදහසක් වැය වනවා. නගරයේ කසළවලට යම් විසඳුමක් දෙන්න එතරම් මුදලක් යන්නේ නැහැ. පුත්තලමේ සිට තවත් කිලෝමීටර් ගණනාවක් මෙය ප්‍රතික්‍රීයකරණය කරන තැනට ගෙන යන්න ඕනෙ. ඒ නිසා මෙය සාර්ථක ව්‍යපාතියක් වෙන්නේ නැහැ. දැන් බොරුවට කියනවා අප විසඳුමක් දුන්නා. පුත්තලමට කසළ දාන්න සැලසුම් කළා කියලා. එය අන්තිම අසාර්ථක ව්‍යාපෘතියක්.”

“අපේ රට කුඩා දුපතක්. දැන් මෙහි මිලියන විස්සක් පමණ ජනතාව ඉන්නවා. මේ ජනගහනය එන්න එන්නම වැඩි වනවා. එවිට කැළි කසළ ප්‍රශ්නයත් වැඩි වනවා. අප ඒ සඳහා විසඳුම් සොයන්න ඕනෙ. කසළ ගෙනත් වතුරේ නවත්වා තියෙන නැවකට දාලා පුලුස්සන ව්‍යාපෘතියක් එංගලන්තයෙන් ගෙනාවා. ඒ අය ණයත් දෙන්න හැදුවා. වතුරේ පුලුස්සන නිසා රස්නෙ අඩුයි. ඒවාගේ ව්‍යාපෘති ගේන විට බලනවා කවුද ලංකාවේ ඒජන්ට්. මේකට කීයක් යනවද. කොමිස් එක කීයද කියල. ඒ කාලෙ ඒවනේ බැලුවේ. එදා මේ කටයුතු සාර්ථක කරගන්න දුන්නේ නැහැ. මේවාට කෙටි විසඳුම් දීලා හරියන්නේ නැහැ. මීට පෙරත් කසළ වෙන් කළානෙ. ඒ වෙන් කළ ඒවත් දැම්මේ එකම තැනට. ඒවා එකම කුණු ගොඩේ දැම්මේ. ඉතින් එදා මේ සඳහා දිගු කාලීන සැලැස්මක් තිබුණෙත් නැහැ.”

“ඒ නිසා මම ජනාධිපතිවරයාට යෝජනා කළේ අප වෙනම රජයට අයත් ආයතනයක් ස්ථාපිත කරලා නගර සභාව, පරිසර අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, මුදල් අමාත්‍යාංශය වැනි ආයතන සමඟ ඒකාබද්ධ කර එයට සම්පූර්ණ බලය දිය යුතුයි කියලා. මෙම කසළ ප්‍රශ්නය විසඳන්න දැන් එක් එක්කෙනා මෙය කරන්න ගිය විට මෙයට විසඳුම් සොයන්න බැහැ. ලුණු සංස්ථාව, තුනී ලෑලි සංස්ථාව වගේ ආයතන ස්ථාපිත කළා වගේ රජයට සියයට සියයක් අයත් ආයතන හදන්න ඕනෙ, එහි නිලධාරීන්ට වගකීමක් දීලා විසඳුමක් සොයන්න කියන්න ඕනෙ.”

“ලංකාවෙම කසළ ටොන් හයදහසකට වඩා එකතු කරනවා. කොළඹ කසළ ටොන් එක්දහස් හයසියයක් පමණ එකතු වනවා. නාගරිකකරණය වෙන්න වෙන්න කසළ ප්‍රමාණය වැඩි වනවා. ඒ නිසා ටොන් විසිදහසක් පමණ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න අප හිතන්න ඕනෙ. අද කොළඹ තියෙන කසළ ප්‍රශ්නය තව ටික දිනකින් නුවරට එනවා. අප දියුණු වන්න, වන්න ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වනවා. එදා අපේ වත්තේ වැළලූ කුණු අද පාරට එනවා. දිනෙන් දින භාණ්ඩ ලබා ගන්නා විට නොයෙකුත් ඇසුරුම් එනවා. ඒ සඳහා පිළියමක් අවශ්‍යයි. අදටත් මේ සඳහා දීර්ඝ කාලීන විසඳුමක් තිබෙනවා කියා මම නම් හිතන්නේ නැහැ.”