Home / Featured / ශ්‍රි පාදස්ථානයේ බුදුපිළිමයක් තැන්පත් කිරීමට තහනමක් ! බුදුන් වදින්නවත් නිදහසක් නැති රටක්

ශ්‍රි පාදස්ථානයේ බුදුපිළිමයක් තැන්පත් කිරීමට තහනමක් ! බුදුන් වදින්නවත් නිදහසක් නැති රටක්

“සිංහලේ ජාතික සංවිධාන‍යේ සභාපති සාලිය පී.රණවක මහතා ඇතුළු පිරිසක් නීති විරෝධී අයුරින් ශ්‍රි පාද උඩ මළුවේ බුදු පිළිම වහන්සේ නමක් අද (25) තැන්පත් කිරීමට සූදානම් වන බව පවසමින් සිරිපාගම පොලිස්ථානාධිපතිවරයා විසින් රත්නපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් එය වලක්වන ලෙස කරන ලද ඉල්ලීමට රත්නපුර අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් සාලිය පී රණවක මහතාට බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම තහනම් කරමින් නියෝගයක් ලබා දී ඇත.

නල්ලතන්නිය පොලිස්ථානය මගින් හැටන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණය මගින් කරන ලද ඉල්ලීමකට,මහෙස්ත්‍රාත් අයි.පී.ඩී. ලියනගේ විසින් සිංහලේ ජාතික සංවිධානයේ සාමාජිකයන් යැයි කියන පිරිසට සාමකාමීව සිය ආගමික මතයක් දැරීමේ නිදහස භාවිතා කරමින් ශ්‍රි පාදස්ථානය වෙත ගමන් කිරීම බාධාවක් නොමැති අතර කෙසේ නමුත් එසේ ගමන් කිරීමේදී මාවුස්සාකැලේ මාර්ග බාධකය නල්ලතන්නිය මුල්ගම සන්ධිය, නල්ලතන්නිය නගරය,ගගුලතැන්න,රතු අම්බලම හා ඉදිකටුපාන දක්වා හැටන් අධිකරණ කළාපයට අයත් ඉදිකටුපාන දක්වා ගමන් කිරීමේදී ප්‍රදේශයේ ජනතාවට හා සියලු ආගමික වන්දනාකරුවන්ට කිසිදු අවහිරයක් හෝ සාමය කඩවන හෝ ආගමික ගැටුම්කාරී තත්වයක් ඇතිවන අයුරින් කටයුතු කිරීම වළක්වාලමින් සිංහලේ ජාතික සංවිධානය නැමති සංවිධානයේ සභාපති සාලිය ටී.රණවක ඇතුලු එම ගමන සදහා සහභාගී වන සාමාජිකයන්ට අණ කරන ආඥාවක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තිය යටතේ නිකුත් කොට නියම කරන බව මහෙස්ත්‍රාත් නියෝගය හැටන් අධිකරණයේ පිස්කල් නියෝජිත යූ.එල්.ප්‍රියන්ත මහතා විසින් සාලිය ටී. රණවක මහතාට නල්ලතන්නිය -ශ්‍රිපාද මාර්ගයේ කල්ප වෘක්ෂ විහාරය භාර දෙන ලදී.

මෙහිදී මාධ්‍යට අදහස් දක්වමින් සාලිය ටී. රණවක මහතා කියා සිටියේ, ශ්‍රි පාදස්ථානය හා දළදා මාළිගාව බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් ලෙස සළකන බවත්, බුදුන්වහන්සේගේ වම් ශ්‍රි පාද පත්මය ස්ථාපිත කර ඇති ශ්‍රි පාදස්ථානය බෞද්ධයන්ට අයිති සිද්ධස්ථානයක් බවත්ය. බෞද්ධයන්ට පන්සලකට බුදු පිළිමයක් වන්දනාමාන කිරීමට නොහැකියාවක් ඇති බව අද දින දැනගත් බවත්, ජාතියක් විදිහට ඒ ගැන කණගාටුවන බවත් පවසන ඒ මහතා, බුදු පිළිමය තැබීමේ සටන තමන් අත් නොහරින බවත් අධිකරණ තීන්දුවට ගරු කරමින් අද දින සාමකාමිව ශ්‍රි පාදස්ථානය වන්දනාමාන කිරීමට ශ්‍රි පාදස්ථානය වෙත තමන් ඇතුලු පිරිස ගමන්කරන බවත් පැවසීය.

සිංහලේ ජාතික සංවිධානයේ සභාපති වරයා සමග මෙම අවස්ථාවට එම සංවිධානයේ 20 ක පමණ සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ.
මෙමහිදී හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය,සහකාර පොලිස් අධිකාරිවරුන් වන රංජිත් දසනායක, සමන් පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නල්ලතන්නිය නගරයට හා නල්ලතන්නිය-ශ්‍රිපාද මාර්ගයේ ශ්‍රි පාදස්ථානය දක්වා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

Check Also

වැඩවර්ජනය දිගටම….ආරක්ෂක අංශ සිරුවෙන්…..-කොලොන්නාව ඛනිජ තෙල් පර්යන්තය නොසන්සුන්

ඛණිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ...