Home / ප‍්‍රාදේශිය / විශේෂ අවශ්‍යතා දරුවන්ට කෙනහිලිකම්- ආනන්ද ජාතික පාසැල මානව හිමිකම් කොමිෂම ඉදිරියේ දඩුවම් ලබයි

විශේෂ අවශ්‍යතා දරුවන්ට කෙනහිලිකම්- ආනන්ද ජාතික පාසැල මානව හිමිකම් කොමිෂම ඉදිරියේ දඩුවම් ලබයි

හලාවත ආනන්ද ජාතික පාසැලේ විශේෂ අධ්‍යාපන ඒකකයට සිය දරුවා නැවත ඇතුලත් කරගන්නා ලෙසට මානව හිමිකම් කොමිෂමේ දි ඊයේ, (2017 මැයි 16) පැවැති විමර්ශනයේදි අදාළ විමර්ශන නිළධාරියා විසින් පාසැලේ විශේෂ අධ්‍යාපන අංශ භාර ගුරුවරියට නියෝග කළේ යැයි හිංසනයට ලක්වු දැරියගේ පියා වන චමිල ප‍්‍රසන්න මාධ්‍යයට ප‍්‍රකාශ කළේය.

වසර අටක පමණ කාලයක් තුළ නොයෙකුත් ආකාරයේ හිංසාවලට මුහුණු දී , 2016 වසරේ සිට පාසැල් අධ්‍යාපනය අහිමි වී සිටී හලාවත චාමි අමාෂා දැරිය, ඊයේ සිට සති දෙකක කාලසීමාව තුළදී කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ අනුමැතිය ලබාගනිමින් යළිත් ආනන්ද ජාතික පාසැලේ විශේෂ අධ්‍යාපන ඒකකයට ඇතුලත් කරගන්නා ලෙසට, ඊයේ් සිදුකළ විමර්ශනයේදි මානව හිමිකම් කොමිෂමේන් නිර්දේශ වි ඇත.

විශේෂ අවධානයක් ලබාදෙමින් මෙහෙයවිය යුතුව ඇති මන්ද මානසීකත්වයෙන් පෙළෙන දරුවෙකු හට හිංසා පැමිණවීමත් විශේෂ අධ්‍යාපන ඒකකය තුළ අධ්‍යාපනය ලැබිය යුතුවු එම දරුවා බලහත්කාරයෙන් පාසැලේ සාමාන්‍ය ශ්‍රේනිවලට අනුගත කිරීම පිළිබඳවත් ඒ තුළින් දරුවාට සිදුවී ඇති හිංසා පිළිබඳවත් ඊයේ කොළඹ පිහිටි මානව හිමිකම් කොමිසමේදි විමර්ශනයක් පැවැත්විණි.

එම විමර්ශනය සඳහා පැමිණිළිකාර පාර්ශවය වෙනුවෙන් අදාළ දැරියගේ පියා වන හලාවත සුදුවැල්ලේ පදිංචි එල් චමිල ප‍්‍රසන්න පැමිණ සිටි අතර, වගඋත්තකරුවන් වෙනුවෙන් හලාවත ආනන්ද ජාතික පාසැලේ නියෝජ්‍ය විදුහල්පති සහ එම පාසැලේ විශේෂ අධ්‍යාපන ඒකකය භාර ගුරුවරිය පැමිණ සිටි අතර අධ්‍යාපන අමාත්‍යංශය නියෝජනය කරමින් කිසිවෙක් පැමිණ සිටියේ නැත.

මානව හිමිකම් කොමිෂමේ කාමර අංක 01 හි පැවැති එම විමර්ශනයෙන් පසුව, විමර්ශනය පිළිබඳවත් සිද්ධිය පිළිබවත් චාමි අමාෂා දැරියගේ පියා වන චමිල ප‍්‍රසන්න මෙසේ විස්තර කළේය.

“අධ්‍යාපන අමාත්‍යංශයෙන් කිසිම නිළධාරියෙක් පැමිණියේ නැහැ. ආනන්ද ජාතික පාසැලේ විදුහල්පති පැමිණියෙත් නැහැ. නමුත් නියෝජ්‍ය විදුහල්පති සහ විශේෂ අධ්‍යාපන ඒකකය භාර ගුරුතුමිය විමර්ෂනයට පැමිණ සිටියා. අධ්‍යාපන අමාත්‍යංශයෙන් පැමිණ නොසිටියත්, මෙම විමර්ශනය සිදුකළ මානව හිමිකම් කොමිෂමේ අදාළ කොමසාරිස්වරයා ඉතාම නිවරැදිව අපක්‍ෂපාතිව මෙම විමර්ශන සිදුකරමින් මගේ දරුවාට සාධාරණය ඉටුකිරිම ගැන මානව හිමිකම් කොමිෂමට මා ස්තුතිවන්ත වෙනවා.” යැයි දැරියගේ පියා වන චමිල ප‍්‍රසන්න පැවසීය.

එමෙන්ම, විශේෂ අධ්‍යාපන ඒකකයේ අධ්‍යාපනය ලබන දරුවන් අන්තර්කරණය කිරීම සඳහා නිකුත්කර ඇති චක‍්‍රලේඛය අහෝසිකර නැවත සැළකිල්ලට භා ජනයකර විවිධ ආකාරයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අසාධාරණයක් නොවන ආකාරයට එම චක‍්‍රලේඛය නැවත සකස්කරවන ලෙසට මොහු ජනාධිපතිවරයාගෙන් ද අගමැතිවරයාගෙන් ද අධ්‍යාපන ඇමතිවරයාගෙන් ද ඉල්ලා සිටියි.

අද දින මෙකී විමර්ශනයට පැමිණි අංශ භාර ගුරුවරිය විසින් මන්ද මානසිකත්වයෙන් පෙළෙන තමන්ගේ මෙම දැරියට, ඉසිලිය නොහැකි ආකාරයේ හිංසාවන් , අසාධාරණකම් සිදුකළ බවත් , දැරිය කෙරෙහි නිසි අවධානයක් ලබා නොදීම නිසා දිනක් පාසැල නිම වු පසුව දැරිය නැතිවුණු අවස්ථාවක් පවා තිබු බවත් සඳහන්කළ චමිල ප‍්‍රසන්න, දැරියගේ මන්ද මානසීකත්ව ස්වභාවය මත අධික ශබ්ද, බාහිර බලපෑම්, බිය දැනීම් හා තැතිගැනිම් වැනි අවස්ථාවලදි දියණියට ශරීරකෘතිය සිදුකරන්නට සිදුවන බවත්, එහිදි දියණිය වැසිකිළියට දමා අගුළු ලා ඇය පවිත‍්‍ර කරවීම සඳහා දුරකථන ඇමතුම් ලබා දී මාගේ බිරිඳ ගෙන්වාගෙන දැරිය පිරිසිදු කරවන බවත් මෙවැනි තත්ත්වයන් ඉතාම ශෝචනීය බැවින් දැරියට මුහුණ දෙන්නට සිදුවුණු සියලූම පීඩාවන් සම්බන්ධව සාකච්ඡා මාර්ගයෙන් පාසැල තුළින් ම විසඳා ගන්නට දැරු සියලූ උත්සාහයන් නිෂ්පල වු බැවින් මෙසේ මානව හිමිකම් කොමිෂමේ පිහිට පතන්නට සිදුවු බව දැරියගේ පියා වන චමිල ප‍්‍රසන්න මාධ්‍යයට පැහැදිළි කළේය.

ආනන්ද ජාතික පාසැලේ අධ්‍යාපනය හදාරන විශේෂ අවශ්‍යතා සහිත අනෙකුත් දරුවන්ට ද මෙවැනි ආකාරයේ යම් යම් පීඩාවන්වලට මුහුණ දෙන්නට සිදුවී ඇති බව සඳහන් කළ මොහු, දරුවන්ට පාසැල අහිමි වේය යන බිය නිසා එකී දෙමාපියන් නිශ්ශබ්දව සිටින බව පැවසීය.

ඡායාරූප සහ සටහන – මෙලනි මානෙල් පෙරේරා

Check Also

වටවල ප්‍රාදේශිය රෝහලේ නේවාසික රෝගීන්ට කන්න නෑ … සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරීන්ටත් වගේ වගක් නෑ ‘ රෝගින් වරු ගණන් කුස ගින්නේ …

  මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය කෙරෙන වටවල ප්‍රාදේශිය රෝහලේ නේවාසික රෝගීන් සඳහා දෛනිකව ...