Home / Featured / ඉර හඳ පවතිනතුරු රණවිරුවන් උපහාරය දැක්විය යුතුයි-ම්ලේච්ඡ ත්‍රස්‌තවාදින් ජනතාව මරා දැම්මේ සුර සැප විඳීන්න

ඉර හඳ පවතිනතුරු රණවිරුවන් උපහාරය දැක්විය යුතුයි-ම්ලේච්ඡ ත්‍රස්‌තවාදින් ජනතාව මරා දැම්මේ සුර සැප විඳීන්න

රණවිරුවන් වෙනුවෙන් කරනු ලබන උපහාරය එක්‌ දිනක පැය කිහිපයක්‌ නොව, ඉර හඳ පවතිනතුරු සමස්‌ත ශ්‍රී ලංකා වාසීන් විසින් සිදු කළ යුතු යුතුකමක්‌ හා වගකීමක්‌ බව තරයේම මතක තබාගත යුතු බව දකුණු පළාත් ආණ්‌ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්‌කාර පවසයි.දකුණු පළාත් රණවිරු සැමරුම් උත්සවයට එක්වෙමින් දකුණු පළාත් ආණ්‌ඩුකාරවරයා සදහන් කළේ රණවිරුවන් කැපකිරිම් කළේ රටට උදා වී තිබූ මරණ භය නැති කර දැමීමට බවයි.

දේශපාලන වශයෙන් ඉතාමත් බංකොලොත් මිනීමරු ත්‍රස්‌තවාදී කණ්‌ඩායමක්‌ වූ කොටි සංවිධානය තම අරමුණු ඉටු කර ගැනීම සඳහා මහා මිනිස්‌ සංහාරයක්‌ ඇති කළේ ද්‍රවිඩ ජනතාවගේ විමුක්‌තිය උදෙසාවත් උතුරු නැගෙනහිර ජනතාවගේ නිදහස උදෙසාවත් නොව, ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය පතුරවමින් මහා පරිමාණයෙන් මුදල් රැස්‌ කර තම නායකයන්ට සුර සැප විඳීමට බවයි දකුණු පළාත් ආණ්‌ඩුකාරවරයා පෙන්වා දුන්නේ.

“ම්ලේච්ඡ ත්‍රස්‌තවාදින් අපේ රණවිරුවන් වගේම දෙමළ පොලිස්‌ නිලධාරීන්ද මුතාලීෆ් වැනි මුස්‌ලිම් හමුදා නිලධාරීන්ද මරා දැමීම සිදු කරනු ලැබුවා. ඉවක්‌ බවක්‌ නැතිව ජනතාව මරා දමමින් රටේ මර්මස්‌ථාන විනාශ කරමින් සිදු කළ ඒ දැවැන්ත ත්‍රස්‌තවාදී උවදුර මුලින් උපුටා දමන්නට නායකත්වය ගත්තේ අපේ රණවිරුවන්. “

“තම දෙමාපියන්, බිරිඳ, දරුවන්, සහෝදර සහෝදරියන් අමතක කර මරණය පෙනි පෙනී අනන්ත දුක්‌ විඳගෙන අපේ මේ රණවිරුවන් සටන් කළේ ඔවුන්ගේ මව් දෙමාපියන්, බිරිඳ, දරුවන් නිසා නොව සමස්‌ත ශ්‍රී ලංකාවේ අම්මාවරුන්, පියවරුන් සහ දරුවන් උදෙසායි…”

“ඒ නිසා මේ රණවිරුවන් වෙනුවෙන් කරන උපහාරය එක්‌ දිනක පැය කීපයක්‌ නොව ඉර හඳ පවතින තුරු සමස්‌ත ශ්‍රී ලංකා වාසීන් විසින් සිදු කළ යුතු යුතුකමක්‌ හා වගකීමක්‌ වෙනවා. අපි අපගේ ආගම සිහි කරන ආගමික වතාවත් කරන සෑම අවස්‌ථාවක්‌ අවසානයේදීම තම තමන්ගේ ආගමට අනුව දෑත් ඔසවා මේ රණවිරුවන් සිහිපත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ”

Check Also

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් වෙයි….ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රීයේ!…තෙල් බෙදාහැරීම ගුවන් හමුදාව අතට

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම්වරයා ...