ආණ්ඩුවේ හුළං හමන අත වෙනස් වෙලා -මේ යන්නේ කොයි පාරේ රාජපක්ෂ ගිය පාරේ

0

ජනාධිපතිවරයාට මේ වන විට තමන්ට ජනපති ධුරය ලබා ගැනීම සඳහා උදව් කළ කණ්ඩායම් සහ එම ධුරය ලබා ගැනීමේදී ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල අමතක වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව පවසයි.පසුගියදා පැවැති මාධ්‍ය හමුවක් අමතමින් දුමින්ද නාගමුව සදහන් කළේ රාජපක්ෂ පාලනය හැසිරුණු අකාරයටම වත්මන් යහපාලන ආණ්ඩුවද හැසිරෙමින් සිටින බවයි.

“යහපාලන ආණ්ඩුව බලයට ආවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සහ විධායක ජනපති ධුරය අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු වෙලා. නමුත් මේ වන විට ආර්ථීක සංවර්ධනය කියලා එකක් ඉස්සරහට දාගෙන දුන්න පොරොන්දු අමතක කරලා හැසිරෙන්නේ. ශිෂ්‍යයින් මර්දනය කරන්න උසාවිවලින් නියෝග ගන්නවා.”

“රාජපක්ෂ පාලනය හැසිරුණේ මේ විදියට. මොකද වුණේ. ජනතා නැගිටීම් හමුවේ යන්න වුණා නේද? මේ ආණ්ඩුවටත් වෙන්නේ ඒකමයි. කොයිතරම් මැරබලය යොÞගෙන මර්දනය කළත් ජනතා නැගිටීම හමුවේ ප්‍රතික්ෂේප වෙනවා. දැන් ආණ්ඩුවේ හුළං හමන අත වෙනස් වෙලයි තියෙන්නේ. ජනතාව තුළ ආණ්ඩු විරෝධය බරපතළ විදියට තියෙනවා.”

“පාසල්වල වහළ කැඩිලා වැටිලා ළමයි මැරෙනවා. ඇමැතිවරු සැප වාහන ගන්න මිලියන කෝටි ගණන් ජනතා මුදල් වියදම් කරනවා. අධ්‍යාපනයට වියදම් කරන්නේ සුළු මුදලක්. රජය නිදහස් අධ්‍යාපනය සුරකිනවා කියන්නේ පට්ටපල් බොරුවක්.”