Home / දවසේ පුවත / පාර්ලිමේන්තුවත්, අධිකරණයත් රටේ බහුතර ජනතාවගෙන් සගවා නීති සෑදීම ද නීතියේ පාලනයට ඇතුළත් ද?

පාර්ලිමේන්තුවත්, අධිකරණයත් රටේ බහුතර ජනතාවගෙන් සගවා නීති සෑදීම ද නීතියේ පාලනයට ඇතුළත් ද?

නීතිය නො දැනීම සමාවට කරුණක් නොවන හෙයින් නීති සෑදීම කරණු ලබන්නේ රටක ජනතාවට කියවා තේරුම්ගත හැකි ආකාරයට ය. එමෙන්ව පනවනු ලබන නීති ප්‍රසිද්ධ කිරීමද සිදු කරන අතර එකී නීති සදහා ප්‍රජාවට පහසුවෙන් ප්‍රවේශය වීමට ඇති අවස්ථාවද තහවුරු කරයි. නිතියේ පාලනය( Rule Of Law)සම්බන්ධව අත්‍යවශ්‍ය අංගයක් වන්නේ ජනතාවට නීතියට ප්‍රවේශ වීමට ඇති අයිතිය රජයන් විසින් තහවුරු කිරීමයි. ඒ සදහා ලංකාව අනුගමනය කරන මාර්ගය වන්නේ පාර්ලිමේන්තුව පනවන නීති ගැසට් පතේ පළ කිරීමත්, අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබා දෙන නඩු තීන්දු එම ආයතනවල වෙබ් අඩවියේ පළ කර අන්තර්ජාලයට ඇතුල් කිරීමත් නව නීති වාර්තා සහ ශ්‍රී ලංකා නීති වාර්තා ලෙස ප්‍රකාශයට පත් කිරීමත් ය.

නීති සෑදීම

රටක නීති සාදන්නේ පාර්ලිමේන්තුව පමණක් නො වේ. ඉහළ අධිකරණද පාර්ලිමේන්තුව පනවන පනත් අර්ථනිරෑපණය කිරීමෙන් නීති සාදයි. පාර්ලිමේන්තුව පනවන නීතිවලින් මෙන්ම ඉහළ අධිකරණ වන අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නඩු තීන්දුවලින්ද සෑම තැනැත්තෙකුම බැදීමට ලක්වේ. පාර්ලිමේන්තුව සම්මත කරන නීති වලින් බැහැර වන බවට කිසිවෙකුට කීමට අවස්ථාවක් නැතිවා මෙන්ම අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ තමන් පාර්ශවයක් නොවුණබවත්, එම අධිකරණ විසින් ලබා දෙන නඩු තීන්දු වලින් බැහැරවන බවට හෝ බැදී නොසිටින බවට කිසිවෙකුට කීමට අවස්ථාවක් නැත. ඒ අනුව ලංකාවේ නීති සාදන ආයතන 3ක් දක්නට ඇත.

  1. පාර්ලිමේන්තුව
  2. අභියාචනාධිකරණය
  3. ශ්‍රේෂ්ඨාධිකරණය

ඒ ආයතන 3යි.

සංවර්ධනය වූ රටවල නීති සාදන ආකාරය

සංවර්ධනය වූ රටවල් ලෙස සැළකෙන ඇ. එ. ජනපදය, චීනය, ප්‍රංශය, රැසියාව, එංගලන්තය, ඉතාලිය, ජර්මනිය, ජපානය වැනි රටවල නීති පනවන ආයතන 2ම නීති පනවන්නේ එම රටවල බහුතර ජනතාවගේ භාෂාවෙනි. ඒ අනුව එම රටවල් ශිෂ්ට ලෙසත්, පිළිගත් නිර්ණායක අනුවත්, රටට හිතවත් ලෙසත්, නීතිය නොදැනීම සමාවට කණක් නොවේ යන මූලධර්මය මත පිහිටා නීති පැනවීම සිදු කරයි.

ලංකාවේ නීති සාදන ආකාරය

ලංකාවේ නීති සාදන ආයතන 3ක් ඇත.

  1. පාර්ලිමේන්තුව
  2. අභියාචනාධිකරණය
  3. ශ්‍රේෂ්ඨාධිකරණය

පාර්ලිමේන්තුව නීති පනවන්නේ පනත් සෑදීමෙනි. අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය නීති සාදන්නේ එකී පාර්ලිමේන්තුව සාදන පනත්වලට ජීවය සහ අර්ථය දීමෙනි.

1815 බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කරගත් අවස්ථාවේ සිට නිදහස ලැබෙන අවස්ථාව දක්වාන නීති පනවන ලද්දේ සහ රාජාධිකරණය නඩු තීන්දු ලබා දෙන ලද්දේ ඉංග්‍රීසි භාෂවෙනි. මෙය ප්‍රජාව පාලනය කිරීමට නීති පනවන ලොව පිළිගත් ක්‍රමය නො වේ. රටක ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ සහ පාර්ලිමේන්තුව සම්මත කරන පනත් නොලියවෙන අවස්ථාවක එය නිදහස්, ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක තත්ත්වය ලගා කර නො ගන්නා අතර එවැනි අවස්ථා ඒකාධිපති ස්වරෑපයේ නීති පැනවීම් වෙයි.

එංගලන්තය එදා ලංකාවේ ජනතාවට සගවා නීති පනවන ලද්දේ වුවද වර්තමානයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුවට ජනතාවට සගවා නීති පැනවීම වළක්වා ඇත.ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුව පනවන නීති (පනත්) සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් පනවනු ලබයි. එහෙයින් පාර්ලිමේන්තුව පනවන නීතිය නො දන්නවා යැයි කියා පැවසීමමට ලංකාවේ කිසිම පුරවැසියකුට හැකියාවක් නැත. එහෙයින් පාර්ලිමේන්තුව පනවන නීති කියවා දැනගෙන ඒ අනුව තම චර්යාව හැඩගස්සවා ගැනීමට සෑම තැනැත්තෙකුටම එනම් දුප්පත් සහ පොහොසත් බේදයක් නොමැතිව, බලවත් සහ දුබල බේදයක් නො මැතිව හැකියාවක් ඇත. ඒ අනුව තීරණය කළ හැක්කේ ලංකාවේ පාර්ලිමේන්තුව ශිෂ්ට ලෙසත්, පිළිගත් නිර්ණායක අනුවත්, රටට හිතවත් ලෙසත්, නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ යන මූලධර්මය මත පිහිටා නීති පැනවීම සිදු කරන බවයි. ඒසේ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ගේ නොසැළකිල්ල හේතුවෙන් ඉහත විධිවිධාන 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ 27.iii වගන්තියේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ විධාන සම්බන්ධයෙන් අදාල නොවූ අතර එකී ජාත්‍යන්තර සම්මුතිය සිංහල, දෙමළසහ ඉංග්‍රීසි භාෂා වලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නො තිබුණි. එය කවරක් වුවත් පාර්ලිමේන්තුව පනවන නීති (පනත්) සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් පනවනු ලබයි.

එසේ වුවත් ලංකාවේ නීති සාදන අනෙක් ආයතනවන අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය නීති සාදන්නේ ලොව දියුණු රටවල පිළිගත් නිර්ණායකවලට අනුවද යන්න 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4. ඇ ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව සුපරීක්ෂාකාරී විය යුතුය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4. ඇ ව්‍යවස්ථාව මෙසේ ය. නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය…… ලෙස දක්වා ඇති හෙයින් අධිකරණයක් පිළිගත් නීති නිර්ණායක නොතකා නීති සාදන්නේ නම් එය පාලනය කිරීම පාර්ලිමේන්තුවට ජනතා පරමාධිපත්‍ය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් හිමි කර දී ඇති හෙයිනි.

යටත් විජිත සමයේ සිටම අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය නීති සාදන්නේ සීමිත පිරිසකට එනම් පොහොසතුන්ට සහ බලවතුන්ට දැනගත හැකි ආකාරයට ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බව පැහැදිලිවම පෙනෙන්ට තිබේ. අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු ලබා දුන්නද රටේ සියලුම ජනතාවට එම තීන්දු වලින් බන්ධනයක් ඇති කරයි. කිසිවකුට එකී නඩුවට තමා පාර්ශවයක් නොවූ බව පවසා එකී තීන්දුවෙන් බැහැරවීමට අයිතියක් හිමි නොවේ. එනම් ඉංග්‍රීසි භාෂාව නොදන්නා අයට තමන් ඉංග්‍රීසි නොදන්නේ යැයි පවසා එකී අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු වලින් බැහැර වී යාමට හැකියවක් හෝ අයිතියක් නැත. මෙහිදී ශිෂ්ට ලෙසත්, පිළිගත් නිර්ණායක අනුවත්, රටට හිතවත් ලෙසත්, නීතිය නො දැනීම සමාවට කරුණක් නොවේ යන මූලධර්මය මතත් පිහිටා විමසීමට ලක්කිරීමේදී නීතියේ පාලනයෙන් බැහැර කරුණු රැසක් දක්නට ලැබෙන බව පැහැදිලිය.

සමාප්තිය

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු ලබා දෙන ක්‍රමවේදය පිළිගත් නීතියේ පාලනය ඇති රටක තත්ත්වය නොවන බවට විවාදයක් තිබිය නො හැකිය. මන්ද නීති පැනවීමේදී ජනතාවගෙන් සගවා නීති පැනවීමක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අනුමත නොකරන හෙයිනි. නමුත් එම දෝශය දිගටම සිදුවන හෙයින් කළ යුත්තේ බ්‍රිතාන්‍යයන් රජුට එරෙහිව වර්ෂ 1215 දී ගෙන එන ලද මැග්නා කාර්ටා මෙන් නිල ලියවිල්ලක් ජනතාව විසින් සිය පරමාධිපත්‍ය බලය යටතේ කෙටුම්පත් කිරීමට පියවර ගැනීමයි.

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බහුතර ජනතාවගේ නො වන භාෂාවකින් නඩු තීන්දු ලබා දෙන ක්‍රමය වෙනස් කිරීම අධිකරණ අමාත්‍යංශය යටතේ සිදු කළ යුතු නෛතික වගකීමක්ද වෙයි. ජනතාවට හිමි නීතියට ඇති සාධාරණ ප්‍රවේශය තහවුරු කරගත හැක්කේ ඒසේ ය.

ලංකාවේ නීතියේ පාලනය තිබේද යන්න ගැන වාදයක් හෝ අදහසක් හෝ ඇති කළ හැක්කේ නීතියේ පාලනයට අනුව නීති පැනවීම තහවුරු කර ගත් විටය. මේ දක්වා තීතියේ පාලනය ආරක්ෂා කිරීමට අවශ්‍ය මූලික පියවර වන ජනතාවට දැනගත හැකි ආකාරයට නීති පැනවීමක්ද ලංකාවේ සිදු නොවේ.අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය නීති පනවන්නේ බහුතරයක් වූ ජනතාවට දැන ගත හැකි ආකාරයට නො ව සුළු පිරිසකට පමණක් දැනගත හැකි ආකාරයට ය.

 ලොකු දේ කිරීමට පෙර අහිමි කර ඇති සුළු දේවත් ලබා ගැනීමට උත්සාහ නොකර රටේ නිදහසක් ගැන කථා කිරීම ඵලක් නැත. දණ ගෑමටවත් නො හැකි දරුවාට ඇවිදීමට කියා දීම ඵල දායක නොවේ.

නීතීඥ අරුණ ලක්සිරි  උණවටුන B.Sc(Col),PGDC(Col)

arunaunawatuna@gmail.com

2017.06.08

Check Also

නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට” ඇති අයිතිය බහුතරයක් වූ සිංහල ජනතාවට වලංගු නො වේ.

“නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” (Ignorantiajuris non excusat)යන්න නීතියේ පිළිගත් නීති සිද්ධාන්තයකි. එය ...

One comment