Home / දවසේ පුවත / සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්යනන්තර සම්මුතිය පනත- අවභාවිතයෙන් බුදු දහමට සහ සංඝ සමාජයට වන බලපෑම.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්යනන්තර සම්මුතිය පනත- අවභාවිතයෙන් බුදු දහමට සහ සංඝ සමාජයට වන බලපෑම.

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය පනතේ 3 වැනි වගන්තිය ඇතැම් ආගම් ප්‍රවර්ධනය කිරීම සදහා විවිධ කණ්ඩායම් විසින් අවභාවිතා කිරීමට යන බවට සමාජයේ කතාකාවක් ඇති වී ඇති වකවානුවක එකී පනත මගින් බුදු දහමට සහ සංඝ සමාජයට වන බලපෑම නීතිමය සහ සමාජමය දෘෂ්ඨියෙන් විමසා බැලීම මෙම ලිපියෙන් අරමුණු කර ඇත.

සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) ව්‍යවස්ථාමය පියවර මගින් පිළිගැනීමක් ලබා දී නැති මානව හිමිකම්වලට අදාළ ඇතැම් ව්‍යවස්ථා බලාත්මක කිරීම සහ එයට සම්බන්ධ ආනුශංගික කරුණු සදහා විධිවිධාන සැළසීම සදහා පාර්ලිමේන්තුව විසින් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය පනත පනවා ඇත. එකී පනත 2007 නොවැම්බර් මස 16 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ ii කොටසේ අතිරේකයක් ලෙස පළ කර ඇත. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව පනවන පනත් www.documents.gov.lk වෙබ් අඩවියෙන් දැනගත හැකි වුවත් මෙම ලිපිය මගින් සාකච්ඡා කරණ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය පනත එකී වෙබ් අඩවියට ඇතුල් නොකර සගවා ඇති බවද ලිපිය ආරම්භයේ දී සටහන් කළ යුතුය.

එකී පනතේ විධිවිධාන සැළකීමේදී යම් තැනැත්තෙකු බරපතල වැඩ ඇතිව සිර දඩුවමකට යටත් කළ හැකි වගන්තියක් හදුනාගත හැකිය. ඒ පනතේ 3 වැනි වගන්තියයි.

එකී වගන්තිය මෙසේය.

පනතේ 3 වැනි වගන්තිය උපවගන්ති 6කට කොටස් කර ඇති අතර වරද, වරදට අදාලව ඇප නියම කිරීම, දඩුවම, දණ්ඩ නීති සංග්‍රහයේ අදාලත්වය දක්වා ඇත.

පනතේ 3. 2 වගන්තිය යටතේ වරදක් යන්නට වරද කිරීමට තැත් කරන හෝ ආධාර හෝ අනුබල දෙන හෝ සිදු කරන බවට තර්ජනය කරන අයද වරදකරුවන බව දක්වා ඇත.

අනුබල දීම යන්න තේරුම්ගත හැක්කේ දණ්ඩ නීති සංග්‍රහයේ 100 වගන්තිය අධ්‍යයනය කිරීමෙනි.

දණ්ඩ නීති සංග්‍රහයේ 100 වගන්තිය මෙසේ ය.

එමෙන්ම මෙම පනතේ අනෙක් වගන්ති මගින් වරදක් සිදු කළ බවට චෝදනා ලැබ ඇති තැනැත්තකුගේ අයිතිවාසිකම්, ළමයකුගේ අයිතිවාසිකම් සහ පනතේ පද සම්බන්ධයෙන් අර්ථ නිරෑපණයන්ද දක්වා ඇත.

එනම් මෙම පනත මගින් චෝදනා ලබා ඇති තැනැත්තන්ගේ අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම් සම්බන්ධ විධිවිධාන අන්තර්ගත කර ඇති අතර එකී විධිවිධාන විධායක හෝ පරිපාන ක්‍රියාවක් මගින් උල්ලංඝණය කිරීම සම්බන්ධව එකී අයිතිවාසිකම කඩ වූ තැනැත්තා විසින් පෙත්සමක් මගින් මහාධිකරණයේ නඩු පවරා සහන ලබා ගත යුතුය.

මෙම පනතේ රජය විසින් මැදිහත් වී නඩු පවරනු ලබන වරද හදුන්වා දී ඇත්තේ ඉහත දක්වා ඇති 3 වැනි වගන්තියේ ප්‍රතිපාදන යටතේ ය.

පනතේ 3.3 වගන්තිය යටතේ යුද්ධය පැතිරවීම, වෙනස් ලෙස සැළකීම, එදිරිවාදිකම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීමට අදාලව ජාතික, වාර්ගික, හෝ ආගමික වෛරය සදහා පෙළඹවීම සහ එය සිදු කිරීමට තැත් කරන, ආධාර කරන හෝ අනුබල දෙන හෝ සිදු කරන බවට තර්ජනය කරන සෑම තැනැත්තෙක් ම මහාධිකරණය විසින් වරදකරු කිරීමේදී වසර 10කට වැඩි නොවන කාලයක් සදහා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කරන දඩුවමකට ලක් කළ හැකිය.

පනතේ 3.3 වගන්තිය අනුව මහාධිකරණයේ පමණක් මෙම නඩුව පැවරිය යුතු බව නොදැක්වේ. දැක්වෙන්නේ මහාධිකරණය විසින් වරදකරු කළ හොත් වසර 10කට වැඩි නොවන කාලයකට බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කළ යුතු බවයි. එහිදී මහාධිකරණයට අවශ්‍යනම් වසර 1ක් වුවත් බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කළ හැකි වෙයි.

එනම් මහේස්ත්‍රාත් අධිකරණයේ ද මෙම චෝදනාව සම්බන්ධව නඩු පැවරිය හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ 100 වගන්තිය , 102 වගන්තිය සහ අපරාධ නඩු විධන සංග්‍රහයේ 11 වැනි වගන්තිය සහ අපරාධ නඩු විධන සංග්‍රහයේ පළවන උපලේඛනයේ සැළකීමේදී  පෙනී යයි.  නීතිපතිවරයාට වසර 2කට අඩු සිරදඩුවම් නියම කිරීම සදහා මහේස්ත්‍රාත් අධිකරණයේද වසර 10ට වැඩි නැති බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමක් සදහා මහාධිකරණයේද නඩු පැවරිය හැකිය. ඒ බව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය  7.1 වැනි වගන්තිය අනුවද පැහැදිලි වෙයි.

පනතේ 3 වගන්තිය යටතේ වන නඩු පැවරීමකදී එකී සැකකරුට හෝ චෝදනා ලබා සිටින තැනැත්තාට ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයෙන් බවත්, ඒ විශේෂ අවස්ථානුගත තත්ත්වයන් යටතේ බවත් පනතේ 3.4 වගන්තියේ දැක් වේ.

ඉහත නෛතික තත්ත්වය යටතේ නීතිමය වශයෙන් බලවත් කණ්ඩායමකට හෝ ආගමකට2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය පනතේ ප්‍රතිපාදන යම් අගමක පැවැත්ම අස්ථාවර කිරීම සදහාද යොදා ගත හැකිය. ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් ව තිබූ රටක් බවත්, පවතින්නේ ඔවුන් හදුන්වා දුන් අධ්‍යාපන සහ නීති පද්ධති බවත් අමතක කළ යුතු නො වේ.

බුදු දහමට සහ සංඝ සමාජයට වන බලපෑම

ලොව විවිධ ආගම් පවතින්නේ විවිධ ආගමික දර්ශන ඇති හෙයිනි. කතෝලික දහම, ඉස්ලාම් දහම, බුදු දහම, හින්දු දහම, යුදෙව් දහම, සික් දහම වැනි ආගම් විශාල සංඛ්‍යාවක් ලෝකයේ ඇත.

මෙකී ආගම් අතර සත්ව ඝාතනය අනුමත කරන ආගම්, සත්ව ඝාතනය අනුමත නොකරන ආගම්, පිළිම වන්දනාව අනුමත කරන ආගම්, පිළිම වන්දනාව අනුමත නො කරන ආගම්, පුනරැත්පත්තිය (reincarnation) පිළිගන්නා ආගම්, පුනරුත්පත්තිය (reincarnation) නො පිළිගන්නා ආගම්, ආදී ලෙස ඉහත ආගම් අතර බොහෝ වෙනස්කම් තිබේ. එකී වෙනස්කම් නොවන්නට ආගමික විවිධත්වයක් ලෝකයේ නැත. ඒ ඒ ආගමික පූජකවරුන් සිය ධර්ම දේශනා මගින් ආගමික හර පද්ධති වර්තමාන පරම්පරාවන්ටත්, ඊළග පරම්පරාවන්ටත් උරුම කර දෙති. ඒ සමගව ආගමික සංස්කෘතීන් ආරක්ෂා කිරීමද ආගමික පූජකවරුන්ගේ වගකීමකි. සිය ආගමික මත දේශනා කිරීම සිදු කරන පූජකවරුන් හෝ භික්ෂූන් වහන්සේලා සිය ආගමික ශාස්තෘවරුන්ගේ මාර්ගයේ ගමන් කරති. එසේ සිදු කිරීම කිසිසේත් අපරාධ වරදක් නොවේ.

පසුගිය දිනවල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බෞද්ධ සිද්ධස්ථාන සහ බෞද්ධ පුරාවස්තු විනාශ කරන බවටත් පුරාවස්තු ආඥාපනතට අදාල නීතියබෞද්ධ පුරාවස්තු සහිත සිද්ධස්ථාන සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොකරණ බවටත්,  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව මගින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ රජයේ වගකීම ඉටු නොවන බවටත් භික්ෂූන් වහන්සේලා විසින් රජයට දෝෂා‍රෝපණය කර තිබුණි. ඒ සම්බන්ධව ඇතැම් භික්ෂූන් වහන්සේලා පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇති බවත් වාර්තා විය.

එවන් තත්ත්වයක් යටතේ භික්ෂූන් වහන්සේලා විසින් බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කරන ඉල්ලීම් පාලනය කිරීම සහ මැඩපැවැත්වීම සදහා 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය පනෙතේ 3 වැනි වගන්තිය වහා ක්‍රියාත්මක කර සමාජයේ පවතින නොසන්සුන්තාවය සමනය කිරීම සිදු කිරීමට රජය උත්සුක වන බවද භික්ෂූන් වහන්සේලා අතර අදසහසක් ඇති වී තිබේ.

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය පනෙතේ 3 වැනි වගන්තිය ඇතැම් ආගම් ප්‍රවර්ධනය කිරීම සදහා කණ්ඩායම් විසින් අවභාවිතා කිරීමට යන බවට සමාජයේ කතාකාවක් පවතින අවස්ථාවක එකී පනත මගින් ආගමික වෛරය, ආගමික ගැටුම් අවම කිරීම සදහා පැහැදිලිව නීතිය පනවා තිබේද යන්න විමසිය යුතුය.

පනතේ 3.1 වගන්තියේ ආගමික වෛරය යන්න දැක්වේ. මෙය අර්ථ නිරෑපණය කරන්නේ කෙසේද යන්න සම්බන්ධව පනත නිහඩය. එනම් මෙම පනතේ වචනවල අර්ථනිරෑපණ දක්වා ඇති වගන්තිය වන්නේ 10 වැනි වගන්තියයි.

10 වැනි වගන්තිය මෙසේ ය.

එනම් මෙම පනතේ ආගමික වෛරය සම්බන්ධව අර්ථය කුමක්ද යන්න සම්බන්ධයෙන් පනත නිහඩය. මේ පනත යටතේ නඩු පවරන අවස්ථාවකදී අදාල විනිසුරුවරයාගේ ආගමික මතය අනුව ආගමික වෛරය යන්න සම්බන්ධව වෙනත් ආගමකට එරෙහිව යෙදවීමට ඇති අවස්ථාව ගැනද පාර්ලිමේන්තුව නැවත සමාලෝචනය කළ යුතුය.

එනම් මෙම පනත ක්‍රියාත්මක කිරීමට යාමේදී සමාජයේ නොමැති ආගමික වෛරයක් සමාජයේ ඇති වුවහොත් අදාල බලධාරීන් එයට වගකිව යුතු වන අතර නීතිය මගින් පාලනය නොකළ යුතු සමාජ පද්ධතීන් නීතීයට යටත් කිරීමට යාමේදී සිදුවන ව්‍යසනයන් ගැනද මනා බුද්ධියෙන් විමසීමට පාලකයන් ක්‍රියා කළ යුතුය.

එසේ නොවුන හොත් එකක් කඩතොලු වහන්නට ගොස් සියක් කඩතොලු හදා ගත් ඉදුරුවේ ආචාරීට වූ නස්පැත්තිය රජයේ බලධාරීන්ටත්, රටේ ජනතාවටත් අත්වනු ඇත. එය සෑම ආගමකටම හිත සුව පිණිස නො වනු ඇත.

ආගමික හර පද්ධතීන්හී ඇති සීමාවන් හදුනාගැනීමත් එකී සීමා ඉක්මවා නො යාමටත් සෑම ආගමික නායකයෙකු ම සිහි තබා ගැනීමත්,  පෙරදිග බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කිරීමට කැප වීමත් බෞද්ධයන්ගේ වගකීමයි.

නීතීඥ අරුණ ලක්සිරි  උණවටුන 

B.Sc(Col),PGDC(Col)

arunaunawatuna@gmail.com

2017.06.11

Check Also

සිංහල – මුස්ලිම් උණුසුම එක්වරම ඉවැන්ජලිකල් – කතෝලික තෙරපුමක් දක්වා පරිවර්තනය වුයේ ඇයි?

පසුගිය සතියේ දක්නට ලැබුණ ආගම් නීතිය සහ දේශපාලනය හා බැදී උණුසුම සහ ඒවා හාස්කමකින් මෙන් ...