Home / Featured / බෞද්ධකම ගැන කියවන අය එදා ඉඩම් අල්ල ගන්න බෝධියට ගිනි තිබ්බා-රාජපක්ෂලා රකින ඇමතිවරු දෙන්නේක් ඉන්නවා

බෞද්ධකම ගැන කියවන අය එදා ඉඩම් අල්ල ගන්න බෝධියට ගිනි තිබ්බා-රාජපක්ෂලා රකින ඇමතිවරු දෙන්නේක් ඉන්නවා

නීතිය හා සාමය භාර අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමේ උත්සාහයක යෙදෙන බවත් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය වහාම යොමු විය යුතු බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි. සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී වමේ කේන්ද්‍රය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් චමීර පෙරේරා අවධාරණය කළේ නීතිය සහ සාමය භාර අමාත්‍යවරයාගේ සහ අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය ප්‍රශ්න සහගත බවයි.

“ගෝඨාභය රාජපක්ෂගේ බෞද්ධකම මොකක්ද කියලා අපි හොඳට දන්නවා. ගෝඨාභය රාජපක්ෂ පානම ඉඩම් ටික අල්ල ගන්න පානම පන්සල කඩලා දාලා ඒ පන්සලේ තිබුණු බෝධියට ගිනි තිබ්බා. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂගේ තිබුණු බෞද්ධකම. ඒ ප්‍රදේශයේ මිනිසුන්ව පන්නලා දාලා තමයි ඔහු ඒ ඉඩම් අල්ල ගත්තේ. ඒ මිනිසුන්ට තවමත් යුක්තිය ඉටුවෙලා නැහැ. අපි රජයෙන් ඉල්ලනවා ඒ ජනතාවගේ යුක්තිය ඉටු කිරීමේ කාර්යය වඩ වඩාත් සාර්ථකව ඉටු කරන්න කියලා.”

“ගෝඨාභය රාජපක්ෂ එෆ්. සී. අයි. ඩී. එකට ඇවිත් යන වෙලාවෙදී ඔහු මාධ්‍ය හමුවේ කාරණා කිහිපයක් ප්‍රකාශ කළා. එතැනදී ඔහු මතු කරපු කාරණාව තමයි මේක ඩයස්පෝරාවේ වැඩක්. මේක ජිනීවාවල වැඩක්, මේ වීරයන්ට එරෙහිව ගෙනියන කුමන්ත්‍රණයක් කියලා තමයි ඔහු මතු කරපු අදහස වුණේ.ගෝඨාභය රාජපක්ෂ කාලේදි සිද්ධ වුණු ඝාතනයන්, පැහැරගැනීම්, පහරදීම් සහ මහා දැවැන්ත මුදල් මංකොල්ලයන් මේ කිසිවක් යුද්ධය හා සම්බන්ධ කාරණා නෙවෙයි. ඔහුව කැඳවලා තිබුණේ මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න.”

“ලසන්ත වික්‍රමතුංග, එක්නැලිගොඩ වගේ මාධ්‍යවේදීන්ගේ ඝාතන ගැන ප්‍රශ්න කරන්න එෆ්. සී. අයි. ඩී. එකට, රහස් පොලිසියට කැඳෙව්වහම ඒක ඩයස් පෝරාවේ ඉල්ලීමක් නෙවෙයි. ඒක මේ රටේ ත්‍රස්තවාදයට සම්බන්ධ නැති, මේ රටේ සිවිල් පුරවැසියන්ට, මාධ්‍යවේදීන්ට, තමන්ගේ ජලය ආරක්ෂා කර ගැනීමට පාරට බැහැපු රතුපස්වල ජනතාවට වෙඩි තැබීම සම්බන්ධයෙන් ඒ වැරැදිකරුවන් සෙවීමට අදාළ ක්‍රියාදාමයන් ඩයස්පෝරාවේ වැඩ නෙවෙයි. ගෝඨාභය, මහින්ද ඇතුළු පාර්ශ්වය හැමදාම තමන්ගේ පරාජය ගැන හිතන්නෙ ඩයස්පෝරාවේ වැඩ කියලා. ඒක එහෙම නැහැ. ඒක කළේ මේ රටේ මහජනතාව. මේ රටේ ලක්ෂ 62ක් ජනතාව ඔහුව පරාජයට පත් කරලා ඉල්ලුවෙ සාධාරණත්වය. අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් පහරදීම් සම්බන්ධයෙන් මේ රටේ ජනතාව ඉල්ලුවේ යුක්තිය. ඒ යුක්තිය ඉටු කරන්න හදන හැම අවස්ථාවකම මහින්ද සහ ගෝඨාභය ජාතියයි, ආගමයි, රණබිමයි ඉස්සරහට දානව.

“ඒ වගේම තමයි අපි එදා ඉඳලාම කිව්වා බොදුබල සේනාව කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කෙමනක් කියලා. මහින්දගේ පාලන තන්ත්‍රයේ ගෝඨාභයගේ කෙමනක් විදියට තමයි බොදුබල සේනාව ක්‍රියා කළේ. ඔවුන්ට එදා රාජ්‍ය අනුග්‍රහය තිබුණා. අපිට දැන් තියෙන ගැටලුව තමයි බොදුබල සේනාවේ ප්‍රධානියාට කොහොමද හැංගිලා ඉන්න පුළුවන් වුණේ කියලා. මේ වෙනකොට මුස්ලිම් දේවස්ථානවලට, කඩවලට, ගෙවල්වලට පහර දෙනවා. එවැනි තත්ත්වයක් තවම තියෙනවා. එවැනි තත්ත්වයකට සෘජුවම පෙනී සිටින ඥානසාර හිමියන්ට වරෙන්තු දෙකක් තිබියදීත් ඔහුව තවම උසාවියට ඉදිරිපත් කරන්න බැරිවෙලා තියෙනවා. අපි අහනවා මේක වෙන්නෙ කොහොමද කියලා. අපිට දැන් පිළිගන්න බැහැ ගෝඨාභය සහ මහින්ද දැන් මේක පිටුපස්සෙ ඉන්නවා කියලා. දැන් මේකට වගකියන්න ඕනෑ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුවේ ප්‍රධානියෙක් හෝ දෙදෙනෙක් මේ කල්ලිය පිටිපස්සෙ ඉන්නවා. ඔවුන්ට අනුග්‍රහය දක්වනවා. මේක පිටුපස පසුගිය ආණ්ඩුව ඉන්නවා කියලා මේ ආණ්ඩුව කියන්න හදනව නම් ඒක සම්පූර්ණ අසත්‍යයක් මේකට සම්පූර්ණයෙන්ම ආණ්ඩුව වගකිව යුතුයි.”

Check Also

අගමැතිකම ලැබුනේ පිනට…පිනට ලැබුන දෙයින් සේවාවක් කරන්න ඕන කියලා හිතන්නේ නෑ

වත්මන් අගමැතිවරයාට පිනට ලැබුණු ධූරයෙන් පවා රටට යහපතක් කිරීමට නොසිතන බව ගැටඹේ රාජෝපවනාරමයේ විහාරාධිපති පූජ්‍ය ...