Home / Featured / ලංකාවේ ආර්ථිකයට ලියුකේමියාව හැදිලා -මේ සිස්ටම් එක අවුල් ..වෙනසක් අවශ්‍යයි

ලංකාවේ ආර්ථිකයට ලියුකේමියාව හැදිලා -මේ සිස්ටම් එක අවුල් ..වෙනසක් අවශ්‍යයි

දැන් ලංකාවේ ආර්ථිකයට ලියුකේමියාව හැදිලා…. පිටින් ලේ දෙන්න ඕනෑ. …එකට දැන් ණය ගන්නවා. හැම පුරවැසියම ලක්ෂ පහකට වඩා ණයකාරයන් කරපු ණය කන්දක අපි ඉන්නේ. ලංකාවේ ණය කන්ද ජාතික ආදායමෙන් 80%ක් පමණ වෙනවා…යැයි ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ ජාතික ශිෂ්‍ය වීර දිනය සමරු උත්සවය අමතමින් මහා ලේකම්වරයා සදහන් කළේ නිදහස් අධ්‍යාපනය රකින්න පුළුවන් ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනගන්න අවශ්‍ය බවයි.

මේ අවස්ථාව වෙනකොට අපේ රට තිබෙන්නේ සමාජ, සංස්කෘතික සහ ආර්ථික අර්බුදයක. රාජ්‍ය විසින් නොමිලයේ ලබාදෙන අධ්‍යාපනය කප්පාදු කරන්න යම් යම් කි‍්‍රයාමාර්ග ආණ්ඩුව තිව‍්‍රර කරමින් ඉන්නවා. ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරය නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් සිදුකරන සටන් තිව‍්‍ර වෙමින් තිබෙනවා. මේ මොහොතේ ශිෂ්‍ය ව්‍යාපාරය, දෙමව්පියන්, සමාජ ව්‍යාපාර, දේශපාලන පක්ෂ සයිටම් හොර උපාධි කඩය වහන්න කියලා ලොකු සටනක් කරනවා. සිසු දරු දැරියෝ දවස් 500කට වැඩි කාලයක් අඛණ්ඩ උපවාසයක් කරනවා. දින 150ක් තිස්සේ පංති වර්ජනයක් කරනවා. ආණ්ඩුව අධිකරණ වාරණ ගනිමින්, කඳුළු ගෑස් කුළු පොලූ හමුදාව සූදානම් කරමින් ශිෂ්‍ය අරගල මර්දනයට කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා අපිට දිනන්න සටනක් තිබෙනවා. අපි හමුවේ තිබෙන නිදහස් අධ්‍යාපනය නංගිට මල්ලිට, දුවට පුතාට උරුම කර දීමේ සටනක් තිබෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරය ඉතිහාසයේ සටන් ජයග‍්‍රණය කළා වගේම මේ සටනත් ජයග‍්‍රහණය කරන බව අපිට විශ්වාසයක් තිබෙනවා. සයිටම් මුදලාලිගේ කඩය වෙනුවෙන් පෙනී ඉන්න මේ හවුල් ආණ්ඩුවට අපි කෑ ගහලා කියනවා, නිදහස් අධ්‍යාපනයට අත නොතබනු කියලා. ඒ වගේම සයිටම් හොර උපාධි කඩය වසා දමනු නැත්නම් ගෙදර යන්නට සූදානම් වෙනු කියලා අපි ආණ්ඩුවට කියනවා. ආණ්ඩුව සයිටම් කඩය වහන්නේ නැත්නම් සයිටම් කඩයත් එක්කම ආණ්ඩුව ගෙදර යවලා නිදහස් අධ්‍යාපනය රකින්න පුළුවන් ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනගන්න ජනතාව සූදානම් වෙන්න ඕනෑ. ශිෂ්‍ය ව්‍යාපාරය ඒ වෙනුවෙන් ගමනකට සූදානම් වෙන්න ඕනෑ.

මේ සටන සරල සටනක් නෙවෙයි. මහපොළ, නේවාසික ප‍්‍රශ්න විසඳගන්න කරන සරල සටනක් නෙවෙයි දැන් අපි හමුවේ තිබෙන්නේ. මෙ ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය සමඟ සටනක් තමයි දැන් තිබෙන්නේ. වත්මන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය තමයි, අධ්‍යාපනයෙන් ආණ්ඩුව ක‍්‍රමයෙන් ඉවත් වීම. ආණ්ඩුව කරන වියදම අඩු කිරීම. මුදලට අධ්‍යාපනය විකිණීමේ තත්වයකට පත්කිරීම. ඒ නිසා තමයි සයිටම් කඩය වෙනුවෙන් ආණ්ඩුව දැන්වීම් දාන්නේ. තවත් වෛද්‍ය විද්‍යාල දාන්න බලාගෙන ඉන්න විදේශීය සමාගම්වලට ආණ්ඩුව ඉඩ හදනවා. ඒ නිසා ඔබේ සටන තිබෙන්නේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් එක්කයි. ඒ සටන කොයිතරම් අමාරු වුණත් ඒ සටන ජයග‍්‍රහණය කරන්න පුළුවන් කියලා අපිට විශ්වාසයි. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය උරුමකම් කියන්නේ සටන්කාමී ඉතිහාසයකට. එවැනි කීර්තිමත්, ගෞරවනීය ඉතිහාසයක් තිබෙන, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුදපු වීරයින් සිටි ශිෂ්‍ය ව්‍යාපාරයට මේ සටන් ජයග‍්‍රහණය කිරීම අපහසු නැහැ. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයට ලොකු ඉතිහාසයක් තිබෙනවා. නමුත් සටන්කාමී ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ වන්නේ 1976දී. එම වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වීරසූරිය ශිෂ්‍යයා ඝාතනය කළා. එම සිදුවීම ශිෂ්‍ය ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂයක්. ඒ වනවිට ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන්නු කොමියුනිස්ට් පක්ෂය ආණ්ඩුවේ සාමාජිකයෙක්. තවදුරටත් කොමියුනිස්ට් පක්ෂයට ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙන්න බැරිවෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවේ විප්ලවවාදී ව්‍යාපාරය අතට, සමාජවාදී ශිෂ්‍ය සංගමය අතට ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය හිමි වෙනවා. ඉන් පසු ඉතිහාසය කියන්නේ දැවැන්ත ශිෂ්‍ය නායකයින් හදපු, සටන් කරපු, සටන් දිනපු ඉතිහාසයක්. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවිපුදපු ඉතිහාසයකට උරුමකම් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයයි.

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ආරම්භක නායකයා ශාන්ත බණ්ඩාර සහෝදරයා. ඔහුගේ සිට දැවැන්ත නායකයින් පිරිසක් සමාජවාදී ශිෂ්‍ය සංගමය තුළින් බිහි කරලා තිබෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරය අධ්‍යාපනයේ අයිතීන් වෙනුවෙන් සටන් කළා. ඒ විතරක් නෙවෙයි පොදු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පවා ශිෂ්‍ය ව්‍යාපාරය සටන් කළා. 78න් පසුව ඒ සම්ප‍්‍රදාය හැදුවේ සමාජවාදී ශිෂ්‍ය සංගමයයි. 78, 79 වර්ෂවල එවකට එජාප ආණ්ඩුව ජනතාවගේ හාල්පොත කැපුවා. ඊට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් සටනක් දියත් කළා. අටදෙනෙකුගේ පංති තහනම් කළා. ඉන් එක් අයෙක් තමයි ශාන්ත බණ්ඩාර සහෝදරයා. එදා ඉඳලා අධ්‍යාපනය කැප කරලා ශිෂ්‍ය ව්‍යාපාරයේ පූර්ණකාලීනව වැඩකළා. සමාජවාදය විශ්වාස කරලා දේශපාලනය කළා. 1990 ගණන්වලදී හමුදාව අතින් ඝාතනයට ලක්වුණා. ඝාතනය කරන වෙලාවේ සොල්දාදුවට කිව්වා ‘පක්ෂෙට කියන්න වචනයක්වත් නොකියා මැරුණා කියලා’. එවැනි අධිෂ්ඨානශීලී නායකයින් නිර්මාණය කරන්න සමාජවාදී ශිෂ්‍ය සංගමයට පුළුවන් වුණා.

1987 ජයවර්ධන ආණ්ඩුව ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා ඉන්දියන් හමුදාවම ලංකාවට ගෙනල්ලා රට ඉන්දියාවේ කොලනියක් බවට පත්කරපු වෙලාවේ රට බේරාගැනීමේ දේශපේ‍්‍රමී අරගලයට උරදුන්නේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකත්වය යටතේ ශිෂ්‍ය ව්‍යාපාරයයි. අපි අද සමරන ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයින් විශාල ප‍්‍රමාණයක් දිවි පිදුවේ ඒ අරගලය ඇතුළේ. අනෙක් අරගලයන්ට මඟ පෙන්නුවේ ශිෂ්‍ය ව්‍යාපාරය. ඒ නිසා සයිටම් සටන දිනන්න පුළුවන්. ලංකාවේ නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීම සඳහා පළවෙනි ප‍්‍රයත්නය දැරුවේ 1981දී. එවකට එජාප ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති රනිල් වික‍්‍රමසිංහ. ධවල පත‍්‍රිකාව හරහා පළමු පියවර තිබ්බා. මෙයට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය දැවැන්ත අරගලයක් කළා. එයට සමාජවාදී ශිෂ්‍ය සංගමය නායකත්වය දුන්නා. ධවල පත‍්‍රිකාව ආපසු හරවන්න ශිෂ්‍ය ව්‍යාපාරය සමත් වුණා. ජයවර්ධන මහත්තයගේ ආණ්ඩුවේ පළමු පරාජය එයයි. අද අගමැතිකම කරන රනිල් වික‍්‍රමසිංහ දැනුත් ගේන්නේ ධවල පත‍්‍රිකාවේ කරුණු. ඒ වගේම ඒ කාලය තුළ ගෙනාපු රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආණ්ඩුවට පවරා ගන්න ශිෂ්‍ය ව්‍යාපාරය දැවැන්ත සටනක් කළා. ශිෂ්‍ය ව්‍යාපාරයේ සටනෙන් පුළුවන් වුණා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරලා උතුරු කොළඹ වෛද්‍ය පීඨය බවට පත්කරන්න. ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන්නා සමාජවාදී ශිෂ්‍ය සංගමය. සමාජවාදී ශිෂ්‍ය සංගමයට නායකත්වය දුන්නා ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා සටන් දින්නන පුළුවන් වුණා. ශිෂ්‍ය ව්‍යාපාරයට ඒ නායකත්වය මගපෙන්වීම නැවත ඕනෑ. පුහු කතාවලින් කයිවාරුවලින් සටන් දිනන්න බැහැ. සටනක් දිනන්න නම් එයට එකඟ සියලූ බලවේග එකතු කරන්න ඕනෑ.

අපේ රටේ අධ්‍යාපනයේ දැවැන්ත අර්බුදයක් තිබෙනවා. සයිටම් කියන්නේ ඒකේ ප‍්‍රකාශනයක්. අධ්‍යාපනයේ අර්බුදය ධනවාදයේ අර්බුදයේ ප‍්‍රකාශනයක්.

අපි මේ අර්බුදය හරියට තේරුම් ගන්න ඕනෑ. නිදහස් අධ්‍යාපනය අහිමි කිරීම තමයි අපිට අර්බුදය හැටියට පෙන්නේ. නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්නේ ඇයි? අධ්‍යාපනය සඳහා මුදල් වෙන්කරන්න ආණ්ඩුවට බැහැ. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ විශ්වවිද්‍යාල ආචාර්යවරු දින 100ක අරගලයක් කළා අධ්‍යාපනයට ද.ජා.නි. 6%ක් ඕනෑ කියලා. මැතිවරණ කාලේ මෛත‍්‍රී එකඟ වුණා. රනිල් වික‍්‍රමසිංහ එකඟ වුණා. ලැබුණද? නැහැ. තිබුණ එකත් කැපුවා. සල්ලි නැහැ. වාහන ගන්න ගොඩනැගිලි ගන්න සල්ලි තියෙනවා. සයිටම් වෙනුවෙන් ඇඞ් දාන්න සල්ලි තියෙනවා. නමුත් අධ්‍යාපනයට කරන වෙන්කිරීම් අඩු කරනවා. මොකද ධනවාදය අර්බුදයක තියෙන්නේ. ධනපති ආණ්ඩුව තමන්ගේ වියදමට ඕන ආදායම හොයාගන්න අසමත් වෙලා. නිෂ්පාදන මාර්ග ඵලදායී නැහැ. වත්කම් උපයන්නේ නැහැ. ලබන ආදායමත් හොරකම් කරනවා. නාස්ති කරනවා. එවිට අධ්‍යෘපනයට මුදල් වෙන්කරන්නේ නැහැ. මිනිස්සුන්ට හැදෙනවා ලියුකේමියාව කියලා රෝගයක්. ඒක හැදුණට පස්සේ ශරීරයට ඕනෑ කරන රතු රුධිරාණු නිපදවන්නේ නැහැ. එහෙම රෝගියෙකුට පිටින් ලේ දෙන්න ඕනෑ. දැන් ලංකාවේ ආර්ථිකයට ලියුකේමියාව හැදිලා. පිටින් ලේ දෙන්න ඕනෑ. එකට දැන් ණය ගන්නවා. හැම පුරවැසියම ලක්ෂ පහකට වඩා ණයකාරයන් කරපු ණය කන්දක අපි ඉන්නේ. ලංකාවේ ණය කන්ද ජාතික ආදායමෙන් 80%ක් පමණ වෙනවා. ඛේදවාචකයක මේ රට තියෙන්නේ. ඇයි? මේ පාලකයෝ ආදායමට වඩා වියදම් කරනවා. අධ්‍යාපනයට වියදම් කරන්නේ නැහැ. ඒ නිසා මෙය ධනවාදයේ අර්බුදයක් හැටියට තේරුම් ගන්න ඕනෑ. මේක කාගෙවත් පුද්ගලික ප‍්‍රශ්නයක් නෙවෙයි. ඒගොල්ලෝ ප‍්‍රතිපත්තිය හදන්නේ මේ අර්බුදය නිසයි. ඒ නිසා ධනවාදය අහෝසි කොට නව සමාජයක් ගොඩනැගීමත් මේ සටන සමග ගැටගැහිලා තියෙනවා. ධනවාදය තිබෙනකල් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා වෙන්නේ නැහැ. ධනවාදය යටතේ දරුවන් අධ්‍යාපනයෙන් පිටමන් කරනවා.

ආර්ථික කටයුතු අමාත්‍යංශය සමීක්ෂණයක් කරලා තියෙනවා ළමා කි‍්‍රයාකාරකම් පිළිබඳව. අපේ රටේ දරුවන් අවු. පහත් දාහතත් අතර ළමුන් 452661ක් පාසල් යන්නේ නැහැ කියලා. ඒකෙන් 51249ක් පාසල් ගිහින්ම නැහැ. මේක හොඳයිද? මේ අධ්‍යාපනය හදලා තියෙන්නේ දරුවන් හළලා යන්න. සා.පෙළින් හළලා උසස් පෙළින් හළලා විශ්වවිද්‍යාලයට ගන්න 25000ත් හළන්න තමයි මේ උත්සහ කරමින් ඉන්නේ. ප‍්‍රශ්නය බරපතලයි. ආණ්ඩුවේ කප්පාදුව නිසා අධ්‍යාපනයේ බර දවසින් දවස දෙමාපියන් මත පැටවෙනවා. මොන්ටිසෝරියේ ඉඳලා දෙමාපියන් දැවැන්ත මුදලක් වියදම් කරනවා. ටියුෂන් යන්නේ නැතිව කාටවත් විභාග පාස් කරන්න බැරි කරලා තියෙනවා. ලංකාවේ අධ්‍යාපනය ගැන කණගාටුයි. මේ අධ්‍යාපනය හදලා තියෙන්නේ හොඳ මිනිහෙක් හදන්න නෙවෙයි. රේස් එකේ දුවන අධ්‍යාපනයක් හදලා තියෙන්නේ. මොන්ටිසෝරි දරුවන්ටත් කරගන්න බැරි තරමට තරෙඟට හෝම්වර්ක් දෙනවා. අම්මටයි තාත්තටයි දැන් හෝම්වර්ක් කරන්න සිදුවෙලා. කොයිතරම්ද කියනවානම් දැන් හෝම්වර්ක් කරදෙන ආයතනත් හැදිලා. අධ්‍යාපන විශේෂඥයෝ කියන්නේ දරුවන් 3, 4 වසරට යනතෙක් හෝ නිදහසේ තියන්න ඕනෑ කියලා. එහෙම උගන්වලත් දරුවන් තුළ ආත්ම ශක්තියක් තියෙනවද? රට ගැන හැඟීමක් තියෙනවද? තමන් ගැන විශ්වාදයක් තියෙනවද? සමාජයට ආදරය කරනවද? රසවින්දනයක් තියෙනවද? නැහැ. රොබෝවරු වගේ ළමයි හදලා තියෙන්නේ. ඒ නිසා සියදිවි නසාගැනීම් වැඩිවෙලා. විභාගය ෆේල් වුනාම විතරක් නෙවෙයි ඒ නමය ගන්න බැරිවුණා කියලත් දිවි නසාගන්නවා. උපාධි ගත්ත ළමයි කෝච්චියට බෙල්ල තියනවා. අපිට අධ්‍යාපනය ඕනෑ ජයග‍්‍රහණ වගේම පරාජයන් දරාගන්න පුළුවන් මිනිස්සු හදන්න. ඒ නිසා අපේ අධ්‍යාපනය අරමුණෙන් ගත්තත් ඛේදවාචකයක තියෙන්නේ. ඒ නිසා මේ සිස්ටම් එකේ අවුලක් තියෙනවා. ඒ ඛේදවාචකයෙන් අනාගත පරපුර බේරගන්න නම් සමාජ වෙනසක් කරන්නම වෙනවා.

මේ වගේ ඛේදවාචයක් ඇතුළේ ආණ්ඩුව මොකද කරන්නේ. ඒ අයගේ ප‍්‍රතිපත්තිය තමයි අධ්‍යාපනය විනාශ කරන එක. මානසික වහල්ලූ හදන අධ්‍යාපනයක් ඇති කරන එක. අපේ පංතියට අධ්‍යාපනය ලබාගැනීම සීමා කරන්න අධ්‍යාපනය කප්පාදු කරනවා. විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීම සීමා කරනවා. සබරගමුවවට වෛද්‍ය පීඨයක් හදන්න යෝජනාවක් ආවා. නමුත් ඒක කළේ නැහැ. වෛද්‍ය පීඨයක් හදන්න ආපු යෝජනාව හමස් පෙට්ටියේ දාපු ආණ්ඩුව සයිටම් මුදලාලි වෙනුවෙන් කඬේ යනවා. කෘෂිකර්ම බිල්ඩිමට නිකන් ගෙවන සල්ලි ටික තිබුණා නම් ඒ වැඬේ කරන්න තිබුණා. අධ්‍යාපනය මුදලට විකුණන එකක් බවට පත්කරන්න ආණ්ඩුව උත්සහ කරනවා. අධ්‍යාපනය විකුණන එක වැරදියි. මානව සමාජය උපයාගත්තු අත්දැකීම් තමයි අධ්‍යාපනය. ඒක ඉදිරි පරම්පරාවට උරුම කර දිය යුතුයි. ඒක අයිතියක්. විකුණන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ අයිතිය උදුරාගන්න එනවානම් සටනක් තියෙනවා ඒක රකින්න. ඒ සටනේ එකක් තමයි සයිටම් අරගලය. සියලූ බලවේග එකතු කරලා දැවැන්ත සටනක් දියත් කළ යුතුයි සයිටම් හකුළා ගන්න තුරු. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ කළ යුතු දේ කරනවා. කාට දෙගිඩියාවක් තිබුණත් අපිට නැහැ. එය ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් එක්ක සටනක් නිසා සෘජුවම ආණ්ඩුවට එරෙහි සටනක් වෙනවා. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරය ශක්තිමත් කරලා අරගලය මෙහෙයවන්න ඕනෑ. කවුරුත් එකතු වෙලා වැඩ කරන්න ඕනෑ. ශිෂ්‍ය ව්‍යාපාරය ඉස්සරහ අභියෝගයක් තිබෙනවා. ඉතිහාසයේ විරුවන් රැක දුන් අධ්‍යාපනයේ අයිතිය ඉදිරි පරම්පරාවට උරුම කර දෙන්න අපිට වගකීමක් තියෙනවා.

එතනින් එහාට ගිහින් ධනවාදය පරාජය කරලා සමාජවාදය දිනාගන්න ඕනෑ. අපි කොයිතරම් දේවල් ජයග‍්‍රහණය කළත් මේ ආණ්ඩු නැවත අපෙන් ඒක උදුර ගන්නවා ධනවාදයට නිදහස් අධ්‍යාපනය දෙන්න බැරි නිසා. ධනවාදයට හැමෝටම නොමිලයේ අධ්‍යාපනය දෙන්න බැරි නිසා. ධනවාදය හැමෝටම අයිතිවාසිකම් දෙන්නේ නැති නිසා. ලෝක ජනගහනය බිලියන 7යි. බිලියන එකක් පාසල් යන්නේ නැහැ. ධනවාදය සමත් නැහැ දරුවන්ට උගන්වන්න. ධනවාදය සමත් නැහැ ඉගෙන ගත් කෙනාට රැකියාවක් දෙන්න. පාරිභෝගික භාණ්ඩ ටික නොමිලයේ ජනතාවට ලබාදෙන්න බැහැ. ධනවාදය සමත් නැහැ අපිට නිදහසේ ජීවත් වෙන්න වටපිටාවක් හදලා දෙන්න. සමගිය හදන්න සමත් නැහැ. ජාතිවාදය පතුරනවා. ජනතාවට යහපත් ජීවිතයක් ලබාදෙන්න බැහැ කියලා ධනවාදය ඔප්පු කරලා තිබෙනවා. ඒ නිසා ලොකුම සටන තිබෙන්නේ ධනවාදය පරාජයට පත්කිරීම සඳහායි.

සමාජවාදය ලබාගන්න දැවැන්ත කැපකිරීමක් ඕනෑ. දැවැන්ත සටනක් ඕනෑ. පරිත්‍යාගයන් ඕනෑ. නැතුව කිසිදු සටනක් දිනන්න බැහැ. දැවැන්ත ජනතා බලයක් හදන්න ඕනෑ. ශිෂ්‍යයෝ විප්ලවයේ ගිණිසිළුව කියලා මාක්ස් කිව්වා. පෙරමුණේ සටන් කරන බුද්ධිමය බලවේගය ශිෂ්‍යන් සහ තරුණයින්. ශිෂ්‍ය ව්‍යාපාරය අත්දැකීම් ගොඩක් එකතු කරලා තිබෙනවා. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය තරම් සටන්කාමී එකක් තවත් නැති තරම්. දිවි පි¥ අය සමරන්නේ ඇයි? ඔවුන්ගේ අත්දැකීම් අපිට ලබාගෙන සටන් කරන්නයි. සිසුන්ගේ අයිතීන් සහ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරපු විරුවන් සමරන්න අපි එකතු වුණා. කීර්තිමත් නායකයෙක් වුණු ශාන්ත බණ්ඩාර සෙහෝදරයා රට වෙනුවෙන් දිවි පිදුවා. එච්.බී. හේරත් සහෝදරයා අමරසිරි සහෝදරයා දැවැන්ත කාර්යභාරයක් කළා. රංජිතම් ගුණරත්න, නිශ්මිලා, බාලෙලා, වෙනුර, ත‍්‍රීමා, ඉඩමේගම වගේ සහෝදරවරු ගණනාවක් තමන්ගේ ජීවිත පරිත්‍යාග කළා වද වේදනා මැද. අධ්‍යාපනය වෙනුවෙන් රට වෙනුවෙන් සටන් කර දිවි පුදන්න පුළුවන් අය නිර්මාණය කළේ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකත්වයෙන්. ඒක තමයි වෙනස. පරාර්ථකාමී මිනිස්සු හැදුවේ අපි.

අපි ඉගෙන ගන්න ඕනෑ. සටන් කරන්න ඕනෑ. සටන් කරමින් ඉගෙන ගන්න ඕනෑ. ශිෂ්‍ය ව්‍යාපාරය ධනවාදයේ කප්පාදුව පරද්දලා අයිතිය රැකගන්න සටන් කරන්න ඕනෑ. ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරය සමාජ පරිවර්තනයකට නායකත්ව දෙන දැවැන්ත බලවේගයක් බවට පත්කර ගත යුතුව තිබෙනවා. හැකි නම් කරමු නොහැකි නම් කෙසේ හෝ කරමු කියන ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාගේ සටන් පාඨය අපි අනුගමනය කරමු. ශිෂ්‍ය ව්‍යාපාරය සමග සමාජවාදී ශිෂ්‍ය සංගමය ඉන්නවා. සමාජවාදී ශිෂ්‍ය සංගමය සමඟ ජනතා විමුක්ති පෙරමුණ කියන දැවැන්ත දේශපාලන පක්ෂයේ නායකත්වය තිබෙනවා. සටනේ ජයග‍්‍රහණය තෙක් අපි ඉන්නවා. විශ්වවිද්‍යා ආචාර්යවරු, වෛද්‍යවරු, දෙමාපියන්, කලාකරුවන් එකතු කරගන්න ඕනෑ. ජයග‍්‍රහණය තෙක් පසුබසින්නේ නැහැ කියන අධිෂ්ඨානය අපිට තිබුණොත් පරාජය වෙන්නේ නැහැ. ඔවුන් ඔසවා ගත් ධජය අපි ඔසවාගෙන ජයග‍්‍රහණය තෙක් පෙරට යනවා කියන ප‍්‍රතිඥාව අපි දෙනවා. දණින් වැටී ජීවත් වෙනවාද සටන් කරනවාද කියන තෝරාගැනීම අපි හමුවේ තිබෙනවා. ආත්මාර්ථකාමියෙක් වෙලා හුදකලා ජීවිතයක් ගත කරනවාද නැත්නම් අපේ තරුණ ජීවිතය, දැනුම, හැකියාව අනාගත පරපුරට යහපත් සමාජයක් උදාරකන්න යොදාගන්නවාද? කියන තීන්දුව දැන් අපි ගත යුතුව තිබෙනවා.

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...