රාජපක්ෂවරුන්ට සැපයිය යුතු හොදම ඔත්තුව මිස් වුන හැටි -රණවක ඇමතිගේ චර පුරුෂයා මෙන්න

0

තමන් රාජපක්ෂ වරුන්ට ඔත්තු බැලුවා නම් රාජපක්ෂවරුන්ට සැපයිය යුතු හොදම ඔත්තුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ  පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල අනාවරණය කළා.

මෛත්‍රී ජනපති අපේක්ෂක බව කලින් දැන සිටියා

රණවක ඇමතිතුමාගේ ගෝල බාලයෝ මට චර පුරුෂයෙකු කියලා තිබුණානෙ.  ඒ නිසා තවත් රහස් දෙකක් එළියට දාන්න මට සිදු වෙනවා.  1998 දී බුද්ධි අංශ නිලධාරියෙකු ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරයට බැඳුනා.  එයා රණවක ඇමතිතුමාට ඉතාම සමීප වෙලා පක්ෂයේ මධ්‍යම කාරක සභාවට මෙන්ම ඇමතිතුමාගේ කාර්ය මණ්ඩලයේ ඉහළම තනතුරකට ද පත් වුණා. 1998 දි තමන් ලගට එන මේ පුද්ගලයා 2015 වසර වන තුරු බුද්ධි නිලධාරියෙකු බව හඳුනා ගන්න ඇමතිතුමාට බැරි වුණා.  ආණ්ඩුවේ නිල චර පුරුෂයෙකු ඇමතිතුමාගේ ලඟම ඉන්නා විට මම මොකට ද ඔත්තු බලන්නේ?

සියල්ලටම වඩා වැදගත් රහසක් මම හෙලි කරන්නම්.  මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමන් ජනාධිපති අපේක්ෂක බව ප්‍රකාශ කලේ 2014 නොවැම්බර් 22 දා.  නමුත් නොවැම්බර් 12 දා, ඒ කියන්නේ ඊට දින දහයකට කලින් මා ඒ බව දැන ගත්තා.  නොවැම්බර් 12 දා උදෑසන මගේ කාර්යාලයට වැඩිය රතන හාමුදුරුවෝ සිරිසේන මැතිතුමා ජනාධිපති අපේක්ෂක වෙන්න එකඟ වුණ බව පැවසුවා.  උන් වහන්සේත් මමත් සමීප මිත්‍රයින් නිසා උන් වහන්සේගේ පිවිතුරු හෙටක් ව්‍යාපාරයට මගේ සහය බලාපොරොත්තු වුණු නිසා ඒක කිව්වේ.  අපේක්ෂකත්වයේ රහස කාටවත් නොකියන බවට උන් වහන්සේට පොරොන්දු වුණු නිසා කාටවත්ම කිව්වේ නෑ.  මම රාජපක්ෂ වරුන්ට ඔත්තු බැලුවා නම් රාජපක්ෂවරුන්ට සැපයිය යුතු හොදම ඔත්තුව මේක නෙවෙයිද? අතුරලියේ රතන හිමිගෙන් ඇහුවනම් මේ කාරණයේ ඇත්ත නැත්ත මේක නෙවෙයිද?

එදා මාධ්‍ය හමුව පැවැත්වූ ගෝල බාලයින් මේ රහස් දෙකම දැන ගන්නේ අද රෑ විද්‍යුත් මාධ්‍ය වලින්.එතෙක් ඒ අය දන්නේ නැහැ.පක්ෂයේ වැදගත් සාකච්ඡා වලට කිසිම දිනක සහභාගි නොවුණු ගෝල බාලයින්ට මා පිලිතුරු දෙන්න අකැමැති ඔවුන් පක්ෂය ගැන දන්නේ නැති නිසා. නමුත් ගරු රණවක ඇමතිතුමන් සංවාදයකට එනවානම් මේ ඕනෑම කාරණයක් පිළිබදව අපි ලෑස්ති කතා කරන්න.

ඒ වගේම මට පිළිතුරු දෙන බව කියමින් මේ මාධ්‍ය හමුව පැවැත්තුවාට 2004 පසු රණවක ඇමතිතුමන් ඥාණසාර හිමියන් සමග කිසිදු සම්බන්ධයක් තිබ්බේ නෑ කියන ප්‍රකාශයට මම පිලිතුරු දෙමින් අවස්ථා පහක් හෙළි කරා චම්පික අමාත්‍යතුමන් ඥාණසාර හිමියන් සමග සමීප සබදතා පවත්වපු. නමුත් ඒ එකක්වත් ප්‍රතික්ෂේප කිරීමක් ඒ මාධ්‍ය හමුවේදී සිදුවුනේ නෑ. මා හෙළි කළ කරුණු නිහඩවම පිළිගැනීම ගැන මා ජාතික හෙළ උරුමයේ ගෝල බාලයන්ට මගේ ප්‍රණාමය පිරිනමනවා.

ඇමති රණවක පාච කියනවාට කැමතියි

පසුගිය දා මාධ්‍ය හමුවක් පැවැත්වූ පා ච රණවක ඇමතිතුමාගේ අඳ බාල ගෝල බාලයින් දෙදෙනෙකු පාඨලි සහ චම්පික කියන්නේ බෝ ගස් දෙකක්.ඒ නිසා පා ච රණවක කියනවාට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණා.  පාඨලි සහ චම්පික කියන්නේ බෝ ගස් දෙකක නම් තමයි.  නමුත් ඒ නම් දෙකේ මුල් අකුරු එක්කලාම පාච වෙන එකත් ඇත්තයි. වෙනත් වචනයක් ගමුකෝ.  බිහි කියන්නේ ආරම්භය නැතිනම් ඇතුළුවීම කියන අරුත.  සුණු කියන්නේ හුණු වලට.  නමුත් ඒ දෙක එකතු වුණාම භයානක කියන අර්ථය දෙන බිහිසුණු හැදෙනවා.මේකත් ඒ වගේ තමා.

ගෝලයෝ විරුද්ධ වුණාට රණවක ඇමතිතුමාට නම් පාච කියනවාට එතුමා විරුද්ධ නෑ.  එතුමාට විරුද්ධ වෙන්නත් බෑ.  සිංහලකම ගැන දීර්ඝ කාලයක් කතා කරපු කෙනෙකු විධියට තමන්ගේ නම සිංහලෙන් කියනවාට විරුද්ධ වෙන්නේ කොහොමද? දිමු ජයරත්න විජමු ලොකු බණ්ඩාර  රැ තෙන්නකෝන් දමු දසනායක රමු රත්නායක  වගේ පාඨලී චම්පික රණවක ඇමතිතුමාගේ නම සිංහලෙන් කියන්නේ පාච රණවක කියලා තමයි.  එතුමන් තමන්ගේ නම සිංහලෙන් කියනවට විරුද්ධයි කියලා අපට ඉංග්‍රිසියෙන් කියන්නත් බෑනේ.  එතකොට එන්නේ පීසී රණවක.  කොස්තාපල් රණවක.  හරියට කොස්තාපල් පුඤ්ඤසෝම වගේ.  එතුමන්ට එහෙම කියන්න දෙන්න බෑ . එතුමන් ඉංජිනේරු විභාගය කරපු කෙනෙක්.  ඒ නිසා අපි, එතුමත් කැමති සිංහල කමට බර පාච රණවක ඇමතිතුමන් විදිහටයි හදුන්වන්නේ.

මම පාවිච්චි කරන්නේ එතුමාගේ උප්පැන්නේ තිබෙන නමනෙ.  ඒකට ආසා නැති නම් කරන්න තිබෙන්නේ පුවත්පත් දැන්වීමකින් උතුම් වූ ලංකා ණ්ඩුවටත් ලක්වැසි සැමටත් දැනුම් දීලා නම මාරු කරන එකයි.

රාජිත ඇමතිතුමනි ඩෙංගු දියුණුවේ ලක්ෂණයක් නොවේ

සෞඛ්‍ය ඇමතිතුමා කියනවා ඩෙංගු රෝගය පැතිරෙන්නේ දැන් අපේ රට දියුණු නිසාලු.  ඩෙංගු දියුණුවේ ලක්ෂණයක්ලු.  දියුණුව නිසා මැරෙන්න වෙනවා නම් දියුණුව නිසා රෝහල් පිරී ඉතිරී ගිහිල්ලා රෝහලේ පඩිය උඩ නිදා ගන්න වෙනවා නම් ඒ දියුණුව අපිට නැතිවාට කමක් නෑ.

සෞඛ්‍ය ඇමතිතුමා දියුණු රටවල ඩෙංගු තිබෙන බව කියන්න උදාහරණයකට ගන්නේ මැලේසියාව.  අපේ සෞඛ්‍ය ඇමතිතුමා විහිළු කරනවා කියලා මෙහෙමත් විහිළු කරනවා ද?  මැලේසියාවේ ඩෙංගු රෝගීන් 2015 දී 121,000ක් ද 2016 දී 99,000ක් ද 2017 මුල් මාස පහේ දී 37,000ක් ද වාර්තා වෙනවා. 2016 මුල් මාස පහට සාපේක්ෂව 2017 මුල් මාස පහේ  ඩෙංගු රෝගීන් ගණන 35%ක පහත වැටීමක් පෙන්වනවා.  ලංකාවේ ජනගහනය මිලියන 21යි. මැලේසියාවේ මිලියන 32යි.  මැලේසියාවේ එන්න එන්නම ඩෙංගු රෝගීන් වගේම ඩෙංගු මරණ අඩු වෙන විට ලංකාවේ 2015, 2016, 2017 එන්න එන්නම රෝගී තත්වය වැඩි වෙනවා.  ඉතින් මැලේසියාවේ ඩෙංගු රෝගීන් පෙන්නලා ඇඟ බේරා ගන්න අපේ සෞඛ්‍ය ඇමතිට පුළුවන් ද?

මෙතරම් දැවැන්ත ව්‍යසනයක් වී තිබිය දී ඇමතිතුමා වෛද්‍යවරුන් සමග ගැටෙන්න යනවා. එතුමට අවශ්‍ය වෛද්‍ය වරුන් ලවා වැඩ වර්ජනය කරව ගන්න.වෛද්‍ය වරුන් සයිටම් කියන ජාතික ව්‍යයසනයේදී ආණ්ඩුවට බලපෑම් කිරීම සදහා වැඩ වර්ජනයක් පටන්ගත්තත් ඩෙංගු වසංගතය පිළිබඳ සලකා වෛද්‍යවරු වර්ජනය නතර කළාම ඇමතිතුමා ඔවුන්ට සරදම් කරනවා.  මොකද්ද මේ ඇමතිතුමා කියන්නේ?  ආයෙත් වර්ජනය කරපල්ලා කියන එක නොවේ ද?  ඇමතිතුමාට මේ රටේ දොස්තරලා වර්ජනය කළා කියලා ප්‍රශ්නයක් නෑ.  එතුමා ප්‍රතිකාර ගන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ.  අගමැතිතුමා නම් ප්‍රතිකාර ගන්නේ ලෝකයේම සුපිරි රෝහලක් ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් වල පිහිටි ජෝන් හොප්කින්ස් රෝහලේ. අගමැතිතුමන් නම් ඇමරිකාවේ සිට ලංකාවට පැමිණිගමන්ම කිව්වේ අනිකුත් ඇමතිවරුන්ටත් ජෝන් හොප්කින්ස් රෝහලේම බෙහෙත් ගන්න අවස්ථාව සලසා දෙනවා කියලා.  එහෙමනම් වෛද්‍ය වැඩ වර්ජනයෙන් පීඩාවට පත්වෙන්නේ අපි තමුන්නාසේලා වගේ සාමාන්‍ය ජනතාවයි.  අපට වගේම අහිංසක ජනතාවට තිබෙන්නේ ලංකාවේ රෝහල් විතරයි.  මේ නිසා ලංකාවේ රෝහල් වලින් බෙහෙත් ගන්න සෞඛ්‍ය ඇමති කෙනෙකු පත් වන තුරු සෞඛ්‍ය ගැටළු විසඳන්න බෑ. මා ගෞරවයක් විදිහට සිහිපත් කරන්නට ඕන මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන් සෞඛ්‍ය ඇමතිධුරය දරණ සමයේ තමන් අසනීප උනාම ජාතික රෝහලේ නතර වුනා මිස විදේශ රටවලට ගියෙත් නෑ. අඩුම තරමේ පෞද්ගලික රෝහලකට ගියෙත් නෑ. සතුරු පාර්ෂවයක උනත් හොදක් දැක්කම ඒක අපි අගය කිරීමට තරම් නිහතමානී විය යුතුයි.

Udaya Gammanpila