Home / දවසේ පුවත / නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තීරණය කළ යුතුව ඇති අවතැන්වුවන්ගේ භුමිකාව

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තීරණය කළ යුතුව ඇති අවතැන්වුවන්ගේ භුමිකාව

මෙරට ජනතාවගේ ජීවත්වීමේ අයිතිය හා පරිසරය සුරැකීමේ අයිතිය ව්‍යවස්ථානුකුලව පිළිගත්තොත් ‘අවතැන්වීම’ තාවකාලික දෙයක් වේවි. පුරවැසියන්ගේ ගරුත්වය හා අයිතිය සුරැකේවී. පරිසරය ආරක්‍ෂාවී රට සංවර්ධනය වනවා පමණකුත් නොවෙයි රටක් විධියට අභිමානයකුත් ගොඩනැගේවී. අවතැන්වීම සහ පරිසර විනාශය යන වචනය මුලිනුපුටා දමමින් තවදුරටත් රටේ පුරවැසියන් ජිවත් කරවනවා ද නැතහොත් මරා දමනවා ද යන්න තීරණය කරනු ලබන්නේ මේ දිනවල සකස්වෙමින් පවතින නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයිි.

ජීවිත කාලයක් පුරාවට තමන් හුස්මගත් පරිසරය, හැදුණු වැඩුණු , දුව පැන ඇවිදපු ගේ බිම, රැකියාව කළ බිම් කැබැල්ල කුමන හෝ හේතුවක් මත තමන්ට අහිමි වන්නේ නම්? තවදුරටත් එසේ නොවන්නට සහ එකි අහිමිවීමට විසඳුමක් ලබාදීමට සර්වජන ඡුන්ද බලයෙන් රටකරවන්නට පත්වු ආණ්ඩුවක ප‍්‍රධාන වගකීමක් වියයුතු බවත් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සනාථ විය යුතු බවත් අවතැන්වීමට ගොඳුරුවුවන් සහ ඒ සම්බන්ධයෙන් කථා කරන සියලූ දෙනා අවධාරණය කරති.

“අවතැන්වීම” පිළිබඳ කථාකිරීම, අතීතයේ සිදුනොවු ආකාරයෙන් වර්ථමානයේදි ශ‍්‍රි ලංකාව තුළ භාවිතයේ යෙදෙයි. මන්දයත්, “අවතැන්වීමේ ශාපයට” වර්ථමානයේදි මුහුණ දී සිටින්නේ දශක තුනක කුරිරු යුද්දයෙන් බැට කා අනාථවු උතුරු නැගෙනහිර පුරවැසියන් හා ජලගැලීම් ද නායයෑම් ද කුණු කඳු කඩාවැටීම් ද , ආණ්ඩු විසින් ක‍්‍රියාත්මක කරනු ලබන අවිධිමත් සංවර්ධනය ද හේතුවෙන් ගම් පිටින්ම විනාශවී ගොස් උන්හිටි තැන් අහිමිවු රටවටා ජීවත්වන ජනතාව යැයි සමාජ ක‍්‍රියාධරියන් මෙන් ම පරිසරවේදිහු ද පෙන්වා දෙති. යුද්දය නිමවී වසර 08ක් ගෙවී ගොස් ඇති’මුත් , නායගොස් කඳුකඩා වැටී දැවැන්ත ඛේදවාචකයන් හටගෙන වසර ගණනක් ගෙවී ගොස් ඇති’මුත් ඒ ඛේදවාචකයන් හමුවේ අවතැන්වු පුරවැසියන්ගේ ප‍්‍රශ්නය පැවති සහ පවතින ආණ්ඩුව විසින් නිවරැුදි ලෙසට ආමන්ත‍්‍රණයකර නොමැත.

“අපි මොන පාප කර්මයක් කලාටද අපේ දේපොල උදුරගෙන අපේ ජීවීත මේ විධියට මහපාරට ඇදලා දාලා තියෙන්නේ? මේ පොළොව අපෙයි. අපේ ඉඩමේ අපේ ජීවිත් වීමේ අයිතිය වෙන කවුරුත් අයිතිකරගන්නේ කොහොමද ? දැන්වත් මේ ආණ්ඩුව අසාධාරණ විධියට අවතැන්වෙලා ඉන්න අපි ගැන නිත්‍යාණුකුල තීන්දු තීරණ අරගන්න ඕනේ. ජීවත්වීමේ අයිතිය කියන එක අලූතින් හදන ව්‍යවස්ථාවට ඇතුලත් වෙන්න ඕනේ. කටින් කියපු පොරොන්දු විශ්වාසකරල තමා අපි තාමත් අවතැන්වෙලා ඉන්නේ.” යැයි මුලතිව් නව ආරක්‍ෂක හමුදා මුලස්ථානය ඉඳිකර ඇති මුලතිව්, කේපාපිලව් ගමෙ හි, ගමට ඇතුළුවන දොරකොඩ සිට මේ වසරේ පෙබරවාරි මාසයේ සිට උද්ඝෝෂණයක නිරතවෙමින් සිය උරුමය ඉල්ලා සිටින කේපාපිලව් අවතැන්වු ජනතාව ප‍්‍රකාශ කළහ.

මුලතිව් කේපාපිලවු ගමෙහි පවුල් 138 මුල් පදිංචිකරුවන් වු අතර වර්ථමානය වන විට එය 182 දක්වා අනුපවුල් ද සහිතව වර්ධනය වී ඇත. මෙම පවුල් 182 ම අද අවතැන්වී සිටිති. පරම්පරා ගණනාවක් තිස්සේ, සිය මුතුන් මිත්තන්ගේ සිට, ජීවිත ජීවත්කළ සිය ගම තුළ ඇති දේ තමන්ගේ නිධානයන් බවට ඔව්හු ස්මරණය කළේ මෙසේය.

“අපේ ගෙවල් දොරවල්වලට අමතරව මේ ගම ඇතුලේ අපි උදේ හවා වැඳපු, යාඤ්ඤා කරපු පල්ලි 2ක් කෝවිල් 03ක් තියෙනවා, මේ දරුවෝ අකුරු කරපු ස්කෝලේ තියෙනවා. අපි සාකච්ඡුා මීටින් පවත්වපු ප‍්‍රජා ශාලව තියෙනවා, පුස්තකාලේ, කෝපරේටිව් එක, අපි රැකියාව කරගෙන ජීවත්වෙච්ච මහ පොළොව තියෙනවා. මේ ඔක්කොම අමතක කරලා දාලා මොන හය්යකින් ද අපේ ගම ඇතුලේ හමුදා මුලස්ථානයක් අලූතෙන් හැදුවේ? අපේ ජීවිත එහෙමපිටින් ම විනාශකරදාලා නැද්ද? කෝ අපේ පුරවැසිබවට ලබාදෙන්න ඕනේ ආරක්‍ෂාව? අපි පත්කරගත්ත මේ ආණ්ඩුව දැන්වත් මේ අවතැන්විමේ ශාපය නවත්වන්න නිත්‍යාණුකුල කි‍්‍රයාමාර්ග ගන්න ඕනේ. අලූතින් හදන ව්‍යවස්ථාවට අවතැන්වෙච්ච මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ලබාදෙන්න කියන වගන්තියක් ඇතුල්කරන්න ඕනෙ. විනාශය මෙතෙකින් නැවතෙන්න ඕනේ. ” යැයි ගමේ කෝවිලේ පුජකතුමා වන ආරුමුගම් වේලායුධපිල්ෙලෙයි අවධාරණයකර කිවේය.

පොල් , කොස් , අඹ, කෙසෙල් සහ වෙනත් සුළු වගාවන් සහිත අක්කර දෙකහාමාරක සරුසරා ඉඩමක් අයිතිව සිටි විවේකානන්දන් ඉන්ද්‍රානි, ඒ පලදාවත් ඉඩමත් නිවෙසත් කිසිවක් අහිමිව සිය දරුපවුල සමඟ අද මහ මගට වැටී අනුන්ගෙන් ලැබෙන දේ භුක්ති විඳිමින් අරගලයෙහි යෙදෙති. ඉන්දානි මෙන්ම එස් අධියකලා, මහේෂ්වරන් ජයශීලි සහ ඒ සරසාදේවි සිය අවතැන්වීම ගැන දුක මුසුවුණු කේන්තිය මෙසේ පිට කළේ අවතැන්වීමේ කටුකත්වය දරාගත නොහැකිව හඬමිනි.

“යුද්දෙට කලින් හරියට අපි පේමන්ට් එකේ, කැලෑවල්වල ජීවත්වෙච්ච මිනිස්සුවගෙයි ආණ්ඩුවෙන් අපිට දැන් සළකන්නේ. නිදහසේ ජීවත්වෙච්ච අපි, අද අපේ ගමට ඇතුල්වෙන මේ මහා පාර අයිනේ ඉඳගෙන අව්ව වැස්ස පින්න දුවිල්ල තමයි කන්නේ බොන්නේ. අපි නොවිඳිනා දුක්විඳිමින් අපේ ගෙවල් දොරවල් ඉඩම් , රස්සාව කරපු අපේ භුමිය දෙන්න කියලා කන්නලව් කරනවා. කාලයක්, යුද්දේ නිසා ජීවිතවලින් වන්දි ගෙව්වා, ජීවිතයෙන් භාගයක් දුක්වින්දා. දැන් යුද්දෙ ඉවරවෙලත් අපිට සැනසීමෙන් ජීවත්වෙන්න විධියක් නැහැ, හමුදාවෙන් බලෙන් අල්ලගෙන ඉන්න අපේ ගම, අපේ ඉඩම්, අපේ ගෙවල් දොරවල් බේරගන්න දැන් සටන් කරන්න සිද්දවෙලා! අපි ආණ්ඩුවෙන් අහන්නේ ඇයි අපිට මෙහෙම විනාශයක් කරන්නේ? ව්‍යවස්ථාව හදන ලොකු මහත්තුරුන්ගෙන් ඉල්ලා සිටිනවා අහිසංක අපේ ජීවත්විමේ අයිතිය ආරක්‍ෂාකරල දෙන්න කියලා. මේ විධියට ගියොත් අපේ දරුවන්ටත් අනාගතයක්, ජීවිතයක් නැති වෙනවා. අපේ නිවාස අපේ රැකියාව වගේම අපේ හුස්ම තියෙන්නෙත් මේ ගම ඇතුලේ.” යැයි ඔව්හු කිහ.

“ජනාධිපතිතුමාව , අලුත් ආණ්ඩුව අපි පත්කරගත්තේ සැනසීමක් නිදහසක් ලබන්න. යුද්දයක් නිසා අවතැන්වෙච්ච දෙමළ අපේ ජිවත් වීමේ අයිතිය නැවත ලබාදෙයි කියන විශ්වාසයටයි. ඒ විශ්වාසය තහවුරුකරන්න කියලා අපි ඉල්ලා සිටිනවා, අපේ විතරක් නෙවෙයි සියලූම අවතැන්වෙලා ඉන්න මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය මේ හදන අලූත් ව්‍යවස්ථාවෙන් තහවුරුකරන්න කියලා ඉල්ලා සිටිනවා.” යැයි පසුගියදා ජීනිවා හි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දි පවා ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් කථාකළ කේපාපිලව් හි මහේෂ්වරන් ජයශීලී කීවේය.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ (නැෆ්සො) උතුරු දකුණු සාමය සඳහා වන සංවාධයේ සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් ට අනුව, සිවිල් යුද්දය නිසා උතුරු නැගෙනහිර පළාත්වල දැවැන්ත විධියට හමුදාවන් විසින් අත්පත්කරගනු ලැබු ඉඩම් අක්කර 6800න් නිසි ආකාරයෙන් මුදාහැර තිබෙන්නේ අක්කර 2000ක් පමණි. යාපනයේ පමණක් අවතැන් පවුල් 8000ක් සිටිති. තවත් 100,000 ආසන්න අවතැන්වු ජනගහනයක් ඉන්දියාවේ ජීවත් වෙති. ඔවුන් සියලූදෙනාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු විය යුතුය.

“යුද්දයක් පවතිනකොට මිනිස්සුන්ට අවතැන්වෙන්න සිද්දවෙනවා, එක්කෝ ආරක්‍ෂක අංශ තමන්ගේ සටන් සැළසුම්වලට අනුව ජනතාව ඉවත්කරනවා. නැතිනම් ත‍්‍රස්තවාදි කණ්ඩායම් තමන්ගේ ආරක්‍ෂාව තහවුරුකරගන්නට ජනතාව පලවාහැරලා ඒ ඉඩම් නිවාස තමන් භාරයට ගැනීමක් සිදුවී තිබෙනවා. මේ කවර ආකාරයෙන් ඉඩම් අත්පත්කර ගත්තත්, යුද්දය කවුරු කළත් යුද්දයකින් පස්සේ පුරවැසියන්ගේ නැවත පදිංචිය වෙනුවෙන් ඕනෑම රටක ජනතාවට වගකිව යුතු, වගවිය යුතු ආයාතනය වෙන්නේ ඒ රටේ පවතින ආණ්ඩුවයි. ඒ ආණ්ඩුව විසින් මේ අවතැන්වුවන් වෙත යුක්තිය සාධාරණය ඉටුකරන්නට බැඳී සිටිනවා.” යැයි ඇන්තනී ජේසුදාසන් අවධාරණය කළේය.

“ආණ්ඩුවේ පළමු වගකීම වෙන්න ඕනේ, යුද්දය අවසන් වුනාට පසුව, අවශ්‍ය මුලික පියවරයන් යටතේ ඒ මිනිස්සුන්ව නැවත ඔවුන් ජීවත්වෙලා සිටි ස්ථානවල ම පදිංචි කරවීමයි. දෙමළ සන්නද්ධ කල්ලියක් නිසයි මේ මිනිස්සු අවතැන්වුණේ, වෙනත් සටන් කල්ලියක් නිසයි මේ මිනිස්සු අවතැන් වුණේ කියලා, අවතැන්වුණු මිනිස්සුන්ට ඉටුවිය යුතු වගකීමෙන් බැහැර වෙන්නට ආණ්ඩුවට අයිතියක් නැහැ. හැබැයි, නැවත පදිංචි කරනවා කියා ඔවුන්ගේ නොවන, වෙනත් ප‍්‍රදේශයක, වෙනත් ඉඩමක, ජීවනෝපායන් කරගන්නට නොහැකි වෙන ආකාරයෙන් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙන ආකාරයෙන් අවතැන්වුවන් පදිංචි කරවන්නටත් ආණ්ඩුවට අයිතියක් නැහැ.” යැයි පැහැදිළි කළ ඇන්තනි ජේසුදාසන්, අවතැන්වුවන් කෙරෙහි නිසි යුක්තිය ඉටුවිය යුතුයැයි ජාත්‍යන්තර සම්මුතින්වල මෙන්ම සංක‍්‍රාන්්ති යුක්තිය පිළිබඳ වාර්තාවලත් නිවරැදිව සඳහන් වුවත් එවැනි යුක්ති සාධාරණයක් තවමත් නිසි ලෙස ඉටුනොවන බව කීහ.

එැවැනි පසුබිමක දී, සියලූ ආකාරයේ අවතැන්වෙන මිනිසුන් විෂයකොට පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සම්මත කළයුතු බවත් එසේ කිරීම මගින් අවතැන්වීම යන්න තාවකාලික සිදුවිමක් බවට පරිවර්ථනය විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

මුලතිව් දිස්ත‍්‍රික්කයේ නව ආරක්‍ෂක හමුදා මුලස්ථානය හේතුවෙන් කේපාපිලව් ගමේ මිනිස්්සු ද නාවික හමුදාව අල්ලාගත් මන්නාරම පල්ලිමුනෛයි මිනිස්සු ද, අලූතින් සෑදු නාවික හමුදා කඳවුර හේතුවෙන් මන්නාරම මුල්ලිකුලම් ගමේ මිනිස්සු ද, යුධහමුදාව සහ නාවික හමුදාව අල්ලාගත් යාපනය වලිකාමම් උතුරේ මිනිස්සු ද, නාවික හමුදාව අල්ලාගත් කිළිනොච්චි ඉරණතිව් දුපතේ මිනිස්සු ද යුධහමුදාව අල්ලාගත් අම්පාර අෂ්රොෆ් නගර් හා පොන්නම්වෙලි හි මිනිස්සු ද පහුගිය ආණ්ඩුවේ බලහත්කාරය විසින් අත්පත්කරගත් පානම ගම් 4ක ජනතාව ද අද අවතැන්වී සිය ජීවත්වීමේ අයිතිය ඉල්ලා සටන් කරති.

ස්වභාවික ව්‍යසනවල ප‍්‍රතිඵල ලෙසට නම්කළ 2014 ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී හටගත් මීරියබැද්ද, කොස්ලන්ද ආපදාවේ සිට පසුගිය මාසේදි සබරගමුව, දකුණ සහ බස්නාහිර යනාදි දිස්ත‍්‍රික්ක කිහිපයක්ම තර්ජනයට ලක්කරමින් හටගත් ආපදාවෙන් ද මේ වසරේ (2017) අප‍්‍රියෙල් මාසේ දී සිදුවුණු මීතොටමුල්ල කුණු කන්ද නාය යැමෙන් අවතැන්වුවන් හට ද ආණ්ඩුව නිසිලෙස වගවු බව කිව නොහැක. මන්ද තවමත් මෙකි විපත්වල පීඩිතයින් අවතැන්වී සිටින නිසාය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව නිවාස 145ක් සම්පුර්ණයෙන්ම විනාශවී පුද්ගලයින් 625 දෙනෙක් අවතැන් වුහ. එමෙන්ම, සාලාව යුධහමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා (හැරීම) යෑම තුළ අවතැන්වු පිරිස තවමත් සිය අයිතිවාසිකම් ඉල්ලා සිටිමේ සටනක යෙදෙති. රට පුරා දිස්ත‍්‍රික්්ක කිහිපයකම කුමන හෝ හේතුවක් මත අවතැන්වු පුරවැසියන් අඛණ්ඩ උද්ඝෝෂණ මාලාවන්වල යෙදී සිටිති. ඒ, ජීවත්වීමේ අයිතිය මේ රටේ තවමත් අයිතියක් ව නොපවතින නිසාය.

රජය විසින් සිදුකරන සංවර්ධනය මනා සැළසුම් සහගත නමුත් ඒ සැළසුම් සියල්ලක් ගොඩනැගී තිබෙන්නේ ගෝලිය ආර්ථීක උවමනාවන් පදනම් කරගනිමින් පමණක් නිසාවෙන් මෙතෙක් සිදුවු සියලූම සංවර්ධන ව්‍යාපෘති රටේ ජනතාවගේ අවශ්‍යතාවන් වගේම පරිසර සංරක්‍ෂණය ගැන සිතනවාට වඩා ගෝලීය ආර්ථීක උවමනාවන් ඉටුකරන ව්‍යාපෘතිය ලෙසට පරිසරවේදි ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් හඳුන්වා දෙයි.

නමුත් අපේ රටට අවශ්‍ය කරන්නේ රටේ ජනතාවගේ අවශ්‍යතා මූලික කරගන්නාවු සංවර්ධනයක් බවත් එම සංවර්ධනයේදි පරිසර සම්පත් සංරක්‍ෂණය කිරීම මුලීකව ම පිළිගත යුතු බවත් පැවසු ඔහු ,

“අපේ රටේ මෙතෙක් සිදුවී තිබෙන අවතැන්වීමේ හේතු දිහා බලන කොට, ස්වභාවික විපත් නිසා සිදුව ඇති අවතැන්වීම් සියයට 35ක් වැනි සුළු ප‍්‍රමාණයක් තමයි අපි දකින්නේ. අනෙක් ප‍්‍රථිශතය යුද්ධය නිසා , කුණුකඳු ගොඩගැසීම නිසා , අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති නිසා සිදුවුණු අවතැන්වීම්.” යැයි කීහ.

“මේ රටේ නීතියෙන් මුලික අවශ්‍යතා පිළිඅරගෙන තිබුණත් ජීවත්වීමේ අයිතිය කිසිම නීතියකින් පිළිඅරගෙන නැහැ. වසර ගණනාවක් තිස්සේ මේ රටේ පුරවැසියෝ තමන්ගේ ඡුන්දය භාවිතා කරන්නේ පාලකයින් ජීවත් කරවීමට මිසක් තමන්ගේ ජීවත්වීමේ අයිතිය දිනාගැනීමට නොවෙයි, ඒ නිසා තමන්ගේ මුලික අවශ්‍යතාවන් දිනා ගැනීමට නම්, පළමුවෙන් ජනතාව සිය ජීවත්වීමේ අයිතිය තහවුරු කරන ලෙසට රජයට බලකර සිටිය යුතුයි. ඒ සඳහා හොඳම අවස්ථාව, මේ අලූතින් සම්පාදනය කරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව.” යැයි ආචාර්ය රවින්ද්‍ර පැවසීය.

විපත්තිවලින් ජනතාව ආරක්‍ෂාකිරීමේ වගකීම රජය සතුවුනත් අපේ රටේ බොහෝ විපත්ති ගෙනෙන්නේ ආණ්ඩුව බව පෙන්වාදුන් ඔහු, ”දැන්වත් මේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, රටේ ජනතාවත් පරිසරයත් සුරකින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බවට පත්විය යුතුයි. ඒ තුළින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරැකෙන නිසා රටේ අභ්‍යන්තර ප‍්‍රශ්න රාශියකට පිළිතුරු ලැබෙනවා. එය රටටත් ජනතාවටත් ඉදිරි පරම්පරාවටත් යහපතක් වෙනවා” යැයි ප‍්‍රකාශ කළේය.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා හඳපානාගල ජලාශය නවීකරණය කිරීම හේතුවෙන් පසුගිය වසරේ අප‍්‍රියෙල් මාසයේ සිට හඳපානාගල ධීවර පවුල් 120ක් මෙන් ම ප‍්‍රධාන වශයෙන් ගොවි පවුල් 57කට රැුකියාවල් අහිමි වී ඇත. ඔවුන්ගේ එම අවතැන්වීමේදි එකී සියලූ පවුල් ඉතාම දුක්ඛිත තත්ත්වයකට මුහුණ දී සිටින බවත් අහිමිවුණු ධිවර රැුකියාවල් වෙනුවෙන් මාසයක් ඇතුලත වන්දි මුදලක් ලබා දීමට පොරොන්දු වී තිබුණ ද මේ වන විට වසරකුත් මාස දෙකක් ගෙවි ගොස් ඇතිමුත් කිසිඳු ධිවරයෙකු හට එක රුපියලක් ලබාදුන්නේ නැතැයි යන්න උමා ඔය ව්‍යාපෘතියෙන් අවතැන්වන මිනිසුන්ගේ අඳෝනාවයි.

“පහුගිය කාලේ නියං ආධාර විධියට ගොවිපවුලකට රු. 48000/- කුයි ධිවර පවුලකට රු. 12000/- ඉඳලා රු. 60000/- වෙනකම් සහනාධාරයක් ලැබුණා මාස 06කට එච්චරයි. උමා ඔයෙං අනාත වෙනවට තාම කිසිම වන්දියක් දුන්නෙ නැහැ. අපි සියලූ දෙනාම රස්සාවල් නැතිව නොවිදිනා දුක් විදිමින් තමයි ජීවත් වෙන්නෙ. ගොවි පවුල් 57කට සෘජුව ම රැකියාව වගේම උන්හිටි තැන් අහිමිවෙනවා. අපි යන්නේ කොහෙද ? කරන්නේ මොනවාද කියල තාම දන්නේ නැහැ? ව්‍යවස්ථා සංශෝධන කොමිසම ඉදිරියෙත් යෝජනා ඉදිරිපත් කෙරුවා අවතැන්වෙන අපිට සාධාරණය ඉටුවිය යුතුයි කියලා. නැවත නැවතත් අපි කියන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් ම අපේ ජීවත්වීමේ අයිතිය මේ පරිසරය ආරක්‍ෂාවීමේ අයිතිය තහවුරුකරන්න කියලයි.”

එසේ පැවසුවේ උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ අනිසි බලපෑම්වලට මුහුණ දෙමින් අවතැන්වීමට නියම වී සිටින හඳපානාගල නිමල් බණ්ඩාර, කේ පී සෝමලතා, පද්මා ගලප්පත්ති සහ ආර්. එම්. අබේකෝන් ය.

අවතැන්වුවන් වෙත ආණ්ඩුවක වගවීම කුමක් විය යුතුදැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය සඳහා මහජන අදහස් විමසීම සඳහා වු කමිටුවේ සභාපති අධිනිතීඥ ලාල් විජේනායකගෙන් ඇසු විට ඔහු මෙසේ ප‍්‍රකාශ කළේය.

“රටක ව්‍යවස්ථාවක් නිර්මාණය වෙන්නට ඕනේ රටේ ජනතාවගේ අදහස් යෝජනාවලින්. මේ ආණ්ඩුවෙන් ඊට ඉඩක් ලැබුණා. ඒ අනුව මිනිස්සුන්ගේ යෝජනා ඉල්ලීම් වලට අනුව මහජන අදහස් විමසීමේ කමිටුව විධියට අපි, මහජනතාව ඉල්ලා සිටින අයීතින් පිළිබඳව ඉතාම පැහැදිළිව දිර්ඝ වශයෙන් නිර්දේශ ඉදිරපත්කරලා තියෙනවා. අප ලබාදුන් නිර්දේශ වාර්තාවත් තවත් විශේෂඥ වාර්තාත් ව්‍යවස්ථා සභාවෙන් පත්කරපු මෙහෙයුම් කාරක සභාව විසින් කළ වාර්තාවත් සියල්ල එකතුකර හදන අවසාන වාර්තාව මේ මාසේ ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනවා. එහිදීත් ඔවුන් අපව කැඳවා විමසා සිටියා අපේ නිර්දේශවලට හේතු. ඒවාත් අපි ඉතාම පැහැදිළිව පෙන්වාදුන්නා ඇයි මිනිස්සු ඒ විධියේ යෝජනා ගෙනාවේ කියලා. මහින්ද සමරසිංහ මැතිිතුමාගේ කමිටු වාර්තාවත් ඉතා හොඳ වාර්තාවක් වගේම 90% ක් වගේ අපේ කමිටු වාර්තාවෙ නිර්දේශ ඒ කමිටු වාර්තාවට අරගෙන තිබුණා. ඉතිං මේ වාර්තාව සම්මත උනොත් ලංකාවේ මුලික අයිතිවාසිකම් පරිච්ඡේදය ආසියාවේ තියෙන හොඳම මුලික අයිතිවාසිකම් පරිච්ඡේදය වෙයි.”

“දේපල අයිතිය මුලීක අයිතියක් ලෙසට අලූත් ව්‍යවස්ථාවට ඇතුලත් කරන්න කියලා අපි නිර්දේශකළා. පොදු අවශ්‍යතාවයකට පමණයි දේපලක් තවත් පාර්ශවයකින් අයිතිකරගන්නට පුළුවන්. ඒ අවශ්‍යතාවය නිමවුවාට පස්සෙ යළිත් මුල් අයිතිකරු වෙත ම භාරදිය යුතුයි. උතුරු- නැගෙනහිර දිස්ත‍්‍රික්කවල යුද්දෙන් අවතැන්වුනු ජනතාව කණ්ඩායම් වශයෙන් කමිටුව ඉදිරියට ඇවිත් ඔවුන්ගේ ගෙවල් දොරවල් රැකියාවන් අහිමිවී තිබිම ගැන අදෝනාවල් ඉදිරිපත් කළා. ඒ වගේම දකුණේ සංවර්ධන ව්‍යාපෘති නිසාත් ස්වභාවික ආපදා නිසාත් අවතැන්වෙලා ඉන්න ජනතාව ඇවිත් යෝජනා ඉදිරිපත් කළා. ඒවා හරිම මානුෂිකයි. සාධාරණයි. ඔවුන් ඉල්ලා සිටියේ සාධාරණ තින්දු තීරණ අරගෙන ඔවුන්ව නැවත ඔවුන්ගේ ගම්බිම් වල ම පදිංචිකරවන්න කියන ඉල්ලීම. ඔවුන් කීවා ඒ සඳහා ඔවුන්ට අයිතියක් තියෙනවා කියලා. නමුත් පවතින ව්‍යවස්ථාව තුළ එහෙම ඉඩක් නැහැ.”

“පහුගිය ආණ්ඩුව විසින් ගැසට් කිරීමකින්වත් තොරව බලහත්කාරය යොදාගෙන, හමුදාවන් යොදාගෙන තර්ජනය කිරීම් තුළින් පළවා හැරලා අද අවතැන්වෙලා ඉන්න ජනතාව, එනම් මහකැලේ සම්මන්ත‍්‍රණ ශාලාව නිසා, හම්බන්තොට වරාය, ගුවන්තොටුපොල, පාරවල් පළල් කිරීම ඒවගේ්ම උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය වැනි දේ නිසා අවතැන් වෙච්ච මිනිස්සු ඉල්ලා සිටියා දේපල අයිතිය වගේම පරිසරය ආරක්‍ෂා කිරීමත් මුලික අයිතියක් ලෙසට ව්‍යවස්ථාවට ඇතුල්කරන්න කියලා. පරිසරය ආරක්‍ෂාකිරිම ලෝකයේ බොහෝ රටවල අද මුලික අයිතියක් විධියට පිළිඅරගෙන තියෙනවා. ජාත්‍යන්තර සම්මුතීන්වලත් පැහැදිළිව අඩංගුවෙලා තිබෙනවා අවතැන්වුවන්ගේ නැවත පදිංචිය , දේපල අයිිතිය ලබාදීම පිළිබඳව. ඉතිං මහජනතාවට අවශ්‍ය ආකාරයට මෙවර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස්විය යුතුයි කියලා අපිත් නැවත නැවත් ප‍්‍රකාශ කරනවා.

එසේනම්, තවදුරටත් මිනිසුන් අවතැන්වන ආකාරයේ වැඩපිළිවෙලවල් සඳහා ප‍්‍රතිපත්ති සම්පාදනය නොකිරීමටත්, වළක්වාලිය නොහැකිසේ අවතැන්වීමකට මුල පිරෙන්නේ නම් එහිදි අවතැන්වන ජනතාව වෙනුවෙන් වගවන ආණ්ඩුවක් ලෙසට රට පාලනය කරන ඕනෑම ආණ්ඩුවක් විසින් ක‍්‍රියාත්මක විය යුතු නිවරැදි මෙන්ම සාධාරණ ක‍්‍රමවේදය අලූතින් නිමැවෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත විය යුතුය. ජිවත් විමේ අයිතිය සහ පරිසරය ආරක්‍ෂා කිරීමේ අයිතිය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් තහවුරු වී, තවදුරටත් අවතැන්වීමේ අසාධාරණයට පුරවැසියන් වන්දිගෙවිය නොයුතුවීමට කවර හෝ ආණ්ඩුුවක් වගබලා ගතයුතු වීමේ ප‍්‍රතිපත්ති සකස්විය යුතුම ය.

සංචාරක සටහන සහ ඡායාරූප – මෙලනි මානෙල් පෙරේරා

Check Also

නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට” ඇති අයිතිය බහුතරයක් වූ සිංහල ජනතාවට වලංගු නො වේ.

“නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” (Ignorantiajuris non excusat)යන්න නීතියේ පිළිගත් නීති සිද්ධාන්තයකි. එය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *