ඇත්ත නැත්ත…කියාගෙන ඇවිත් පච හලනවා…..උමාඔය සටන්කාමීන් නොමඟ යැවීමේ කුමන්ත්‍රණයක්

0

රට නොමඟ යවමින් ජනතාව මුලා කරමින් විනාශයට එරෙහි වන්නන් බිදවැට්ටවීමට කුමන්ත්‍රණය කරමින් කරන කටයුතු පසෙකලා වගකිව යුතු පාලකයින් ලෙස මෙම විනාශය වැලැක්වීමට වහා කටයුතු කරන ලෙසත්, පීඩාවටපත් ජනතාවට ජීවත්වීමට ඇති අයිතියට ගරු කරමින් සහන සලසන ලෙසත්, පසුගිය ජුනී 30 වන දින අතිගරු ජනාධිපතිතුමාගේ අතට පත්කළ අපගේ යෝජනා හා ඉල්ලීම් ඇතුළත් දීර්ග ලියවිල්ල අධ්‍යයනය කොට අවශ්‍ය කටයුතු කිරීමට නොපමාව කටයුතු කරන ලෙසත්, පාලකයින්ට මේ මොහොතේත් දැඩි ලෙස අවධාරනය කොට දන්වා සිටීන බව උමාඔය බහු විනාශකාරි ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ, මාධ්‍යයට නිවේදනයක් නිකුත් කර තිබේ.

උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියෙන් සිදුවූ සහ සිදුවන විනාශයන් වැලැක්වීම හා පීඩාවටපත් ජනතාවට සහන ලබානොදී ජනතාව නොමඟ යැවීමේ කුමන්ත්‍රණය පිළිබඳ දැණුම් දීම

මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුමට උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් මිල කළ නොහැකි, ගණනය කළ නොහැකි විනාශයක් සිදුවී ඇත. අප සංවිධානයට වාර්තා වී ඇති තොරතුරු අනුව අප ප්‍රදේශයේ නිවාස, පන්සල්, පාසල්, පල්ලි, ව්‍යාපාරික ස්ථාන ඉරිතලා, පුපුරා, විනාශවී ඇති ප්‍රමාණය 7037 කි. සිඳීගිය ළිං, උල්පත්, දිය කඳුරු, ඔයවල්, කුඩාවැව් ගණන 3112 කි. වගා කළ නොහැකිව අත්හැරදැමූ කුඹුරු හා ගොඩ ඉඩම් අක්කර දහස් ගණනකි. ස්වයං රැකියා, කුඩා පරිමාන, මධ්‍ය පරිමාන, මහා පරිමාන ව්‍යාපාරික ස්ථානද විශාල ගැටළු ගණනාවකට මුහුණදී සිටී. බණ්ඩාරවෙල නගරයද විනාශයට ගොදුරුව පවතින නගරයකි. මේ අපගේ ඇසට පෙනෙන විනාශයන් පමණි. මධ්‍යම කදුකරයේ භූ අභ්‍යන්තරයේ සිදුව ඇති විනාශය මෙතෙක් ඔබ අප කවුරුත් නිසි අයුරින් නොදනිමු.

මේ සියළු විනාශයන්ට එරෙහිව අප 2007 වර්ෂයේ සිට සටනක නිරතවේ. මේ වනවිට විනාශය උග්‍රවී ඇත. ජනතාවද පීඩාවෙන් ගිණියම්වී ඇත. ඒ හේතුවෙන් 2017.06.28 දින බණ්ඩාරවෙල නගරයේ පැවැති මහා හර්තාලයට දස දහස් ගණනින් ජනතාව එක්විය. ඒ සමඟම විනාශයට වග උත්තරකරුවෝ බෙහෙවින්ම කලබලයට පත්වී ඇත. ඒ කලබලවීමත් සමඟ පීඩාවටපත් ජනතාවට සහන ලබාදීමත්, විනාශය වැලැක්වීමත් පසෙකලා කඩාකප්පල්කාරී හා කුමන්ත්‍රණකාරී සිදුවීම් දාමයක් සිදුවෙමින් තිබේ. එය ජනතාව ගැඹුරින් තේරුම් ගනු ඇතැයි විශ්වාස කරමු.

2017.07.03 වන දින විනාශයටපත් ප්‍රදේශ පරීක්ෂාවට පැමිණි මහින්ද අමරවීර අමාත්‍යවරයා රටට හා ජනතාවට සිදුකරන නොමඟ යවන සුළු ප්‍රකාශ පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමි. එදින සැබැවින්ම සිදුවූයේ පීඩාවටපත් ගම්වාසීන් හා අප එක්වී මේ විනාශය නවතන ලෙසටත්, පීඩාවටපත් ජනතාවට සහන ලබාදීම ක්‍රමවත්ව හා කඩිනම් කරන ලෙසටත්, කළ බලපෑමක් පමණි. මහින්ද අමරවීර අමාත්‍යවරයා නිවාස අඩස්සියේ තබා ගැනීමට අපට අවශ්‍ය වූයේ නම් එය අපට සංවිධානාත්මකව කළ හැකිව තිබුණි. නමුත් මේ මොහොතේ එවැන්නක් මෙම ගැටළුවට පිළිතුරක් නොවන බව අපද දනිමු.

එසේ තිබියදී අමාත්‍යවරයා සාකච්ඡාව නොපවත්වමින් පලාගියේ ජනතාවට පැහැදිලි පිළිතුරක්, සහනයක් ලබාදීමට ඔවුන් සූදානම්ව නොපැමිණීම හේතුවෙනි. ඔවුන් සැබැවින්ම සූදානම්ව පැමිණියේ සිදුව ඇති විනශය ඔවුන් සොයා බැලූ බවටත්, හොර රහසේම වාරිමාර්ග කාර්යාලයේ සාකච්ඡාවක් පවත්වා එහිදි මාධ්‍යයට කරුණු ප්‍රකාශකර නිල ලෙස ලබාදුන් බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රැස්වීම මඟහැර යාමට ඔවුන් පූර්ව සැලසුම්කොට තිබූ බවත් අපි අවධාරනය කොට පෙන්වා දෙමු.

සැබැවින්ම ඔවුන්ට පිළිතුරු තිබුණේ නම් 2017.07.03 වන දින බණ්ඩාරවෙල, උඩපේරුවේදී ඇතිවූ බලපෑම් කිරීමේ සිදුවීම පසෙකලා ඔවුන් ජනතාව පැත්තෙන් කල්පනා කරන අමාත්‍යවරයෙකු නම් ඔවුන් ජනතාවට විනාශය වැලැක්වීමට ගන්නා පියවරයන්, පීඩාවටපත් ජනතාවට ලබාදෙන සහන එදින ප්‍රකාශයට පත්කළ යුතුව තිබුණි.

සුළු සිදුවීමක් මහා සිදුවීමක් බවට හුවා දක්වමින් මහා විපතක් හා මහා පීඩාවකටපත් ජනතාවට පිළිතුරු ලබානොදී පලා යාම කුමන අතකින්වත් සාධාරණය කළ නොහැකි බව අපගේ හැගීමය. ඔවුන් බණ්ඩාරවෙල, උඩපේරුවේ හානියටපත් නිවසේදී එහි අවදානම දැක මරණ බියට පත්වීදැයි නොදනිමි. ඔහු ඇතුළු පැමිණි බලධාරීන් හා නොපැමිණි අය තේරුම් ගත යුතු කරුණ වන්නේ එවැනි දැඩි අවදානමකට ලක්වූ ජනතාව තවමත් යන එන මඟක් නොමැතිව එම උගුල් වැනි නිවාස තුළ දරුවන් සමඟ වාසය කරන බවය.

2017.07.03 වන දින රාත්‍රියේ ජාතික රූපවාහිනියේ ඇත්ත නැත්ත වැඩසටහනේදීආණ්ඩුවේ පාර්ශවය නියෝජන කරමින් පැමිණි විජිත් විජමුණි සොයිසා අමාත්‍යවරයාගෙන් ජනතාවට ලබාදීමට නියමිත සහන මොනවාදැයි ප්‍රශ්න කළ විට ඔහු ලබාදුන් පිළිතුර වූයේ, අප පසුගිය ජුනි 30 දින ගරු ජනාධිපතිතුමාට යොමු කළ යෝජනා ඇතුළත් ලිපියේ කොටසක් කියවීම පමණි. ඔහුගේ ඉදිරිපත් කිරීමේදී ලබාදෙන සහන නිශ්චිතව ප්‍රකාශ නොවුනි, දින වකවානු නොකියවුනි. 2017.07.04 දින දීද, ස්වාධින රූපවාහිනියේ පැවැති කවුද ඇත්ත කියන්නේ වැඩසටහනට මහින්ද අමරවීර අමාත්‍යවරයා ඇතුළු පාර්ශවය පමණක් ගෙන්වා රටට කීවේ ඇත්ත නොවන බව කාරුණිකව පෙන්වා දෙමි. එම සාකච්ඡාවේදීද අප දීර්ග ලිපියකින් ඉල්ලූ ඉල්ලීම්වලට සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණ බව පෙන්වා දෙමු. එහෙත් විනාශකාරී ව්‍යාපෘතිය ඉදිරියටත් නොනවත්වා කිරීමට සූදානමෙන් සිටින බව ප්‍රකාශ වුණි.

රට නොමඟ යවමින් ජනතාව මුලා කරමින් විනාශයට එරෙහි වන්නන් බිදවැට්ටවීමට කුමන්ත්‍රණය කරමින් කරන කටයුතු පසෙකලා වගකිව යුතු පාලකයින් ලෙස මෙම විනාශය වැලැක්වීමට වහා කටයුතු කරන ලෙසත්, පීඩාවටපත් ජනතාවට ජීවත්වීමට ඇති අයිතියට ගරු කරමින් සහන සලසන ලෙසත්, පසුගිය ජුනී 30 වන දින අතිගරු ජනාධිපතිතුමාගේ අතට පත්කළ අපගේ යෝජනා හා ඉල්ලීම් ඇතුළත් දීර්ග ලියවිල්ල අධ්‍යයනය කොට අවශ්‍ය කටයුතු කිරීමට නොපමාව කටයුතු කරන ලෙසත්, පාලකයින්ට මේ මොහොතේත් දැඩි ලෙස අවධාරනය කොට දන්වා සිටීමට කැමැත්තෙමු.

මේ රටේ ජාතික වගකීමකින් කටයුතු කරන මාධ්‍ය ආයතනයක් වන ඔබ ආයතනය විසින් ඉහත කරුණු සම්බන්ධයෙන් මහජනතාවගේ දැන ගැනීම පිණිස ඉඩකඩ සලස්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙහිදී ඔබ ආයතනයෙන් ලැබෙන සහයෝගය ඉතා අගය කොට සලකමු.

ස්තූතියි,

මෙයට හිතෛෂී

 

සමන්ත විද්‍යාරත්න,

කැඳවුම්කරු,

උමාඔය බහු විනාශකාරි ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ,

Protest againts Uma Oya development project.