කාටවත් අපේ රණවිරුවන්ට අත තියන්න බෑ…-ආණ්ඩුව පෙරලන්න පහත් අන්දමේ කුමන්ත්‍රණ කරනවා

0

රට බෙදමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදු දහමට තිබෙන නිසි තැන අහිමි කරනවා යැයි පවසමින් රට බේරාගත් බව කියන මහා දේශපාලනඥයන් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමේ අරමුණින් විවිධ තැන්වල පහත් අන්දමේ කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

අරලියගහ මන්දිරයේදී ඊයේ (05) පැවැති දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් වෙනුවෙන් නිවාස ලබා දෙන ‘සැමට – සෙවණ විරුසුමිතුරු නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා සදහන් කළේ මාධ්‍යයට ලබා දුන් නිදහසත් ප්‍රයෝජනයට අරන් මේ රටේ මහා අවුලක් තිබෙන බව මාධ්‍යයෙන්ම පෙන්වනව බවයි.

“අපේ ආණ්ඩුවට මාධ්‍යයෙන් තමයි දිගට හරහට ගහන්නේ. ආණ්ඩුවේ අවුල් තියෙන බව, ආණ්ඩුව හෙට කඩා වැටෙන බව, රටේ මහා අවුලක් තිබෙන බව මාධ්‍යයෙන් තමයි පෙන්වන්නේ. අපි බලයට එන්න කලින් මේ රටේ මාධ්‍යවේදීන් කීදෙනක් ඝාතනය කළාද? මාධ්‍ය ආයතන කීයකට ගිනි තිබ්බද? මාධ්‍යවේදීන් අතුරුදන් කළාද? කී දෙනෙක් රට අතහැරල ගියාද? ඒ සියල්ල අපි අනෙක් පැත්තට කරකවල වෙනස් කළා. ඒ සියල්ල ඉටු කළ ආණ්ඩුවක් විදියට මාධ්‍යයට ලබා දුන් නිදහසත් ප්‍රයෝජනයට අරන් මේ රටේ මහා අවුලක් තිබෙන බව මාධ්‍යයෙන්ම පෙන්වනවා”.

සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් යන සියලු ජාතීන් සමාජය තුළ ශක්තිමත් වෙමින් ජීවත් වන විට දේශපාලන කුමන්ත්‍රණකරුවන් සහ අවස්ථාවාදී බල ලෝභීන් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට උත්සාහ දරන නමුත් නැවත බලයට ඒමේ අසාර්ථක ප්‍රයත්නයේ යෙදී සිටින ඊනියා දේශප්‍රේමීන්ගේ සිහින සැබෑ වීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

“අපේ රජයට ජනතා විවේචන, මාධ්‍යයේ විවේචන, දේශපාලන ප්‍රතිවාදීන්ගේ විවේචන තිබෙනවා. නමුත් අපි බලයට පත් නොවුණා නම් සම්බාධක යොදවල මේ රට හිඟමනට පත්වෙලයි තිබෙන්නේ. අපි ඒ තත්ත්වයෙන් රට ගොඩගත්තා. රණවිරුවන්ට ජාත්‍යන්තර යුද අධිකරණවලට යන්න තිබූ දේවල් අපි සම්පූර්ණයෙන් ඉවත් කළා. ලෝකයේ තවත් රටකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට අපේ රණවිරුවන්ට අත තියන්න බැරි තත්ත්වයට ජාත්‍යන්තර හොඳ හිත දිනා ගත්තා”

රණවිරුවන් දිනාගත් නිදහස ශක්තිමත් කරමින් රජයක් වශයෙන් කටයුතු කරන විට නොයෙකුත් අභියෝගවලට මුහුණ දීමට සිදුවන බව පැවැසූ ජනාධිපතිවරයා, අතීත අත්දැකීම් සමඟ ජාතියක් ලෙස ඉදිරියට යෑමට ආත්ම ධෛර්යයක් ආණ්ඩුවට තිබෙන බව විරුද්ධවාදීකම් සිදු කරන දේශපාලනඥයන්ට මතක් කර දෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

Maithripala Sirisena