Home / Featured / අවාරයේ ශ්‍රීපාද විදේශීය සංචාරකයන් පහතට….සංචාරක කර්මාන්තය බිඳ වැටේ -ශ්‍රීපාදස්ථානයට එල්ල වූ විවිධ බලපෑම් ගැන ජනපති අවධානයෙන්

අවාරයේ ශ්‍රීපාද විදේශීය සංචාරකයන් පහතට….සංචාරක කර්මාන්තය බිඳ වැටේ -ශ්‍රීපාදස්ථානයට එල්ල වූ විවිධ බලපෑම් ගැන ජනපති අවධානයෙන්

මෙවර ශ්‍රීපාද අවාර සමයේ ශ්‍රීපාදස්ථානය බලා පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ අඩුවක් පැවතීම නිසා සංචාරක කර්මාන්තය බිඳ වැටී ඇති බවට නල්ලතන්නිය නිවාඩු නිකේතන හිමියන් පවසන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පවසයි.

ශ්‍රී දළදා වහන්සේ හා ජයශ්‍රීමා බෝධීන්වහන්සේ වගේම ශ්‍රීපාදස්ථානයද  සමස්ථ බෞද්ධයන් විසින් වන්දනාමාන කරන, පුද පූජා පවත්නවන දැවැන්ත වූ පූජනීය ස්ථානයක් බවත්, පවතින මූලික හරයෙන් එහාට නොගොස් ශ්‍රීපාදස්ථානයේ පූජනීයත්වය ආරක්ෂා කර ගනිමින් එම සිද්ධස්ථානය වැඳපුදා ගතයුතු බවත් ඉකුත් (07) දා නල්ලතන්නිය නඟරයේදී ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළා.

නල්ලතන්නිය නගරයේ සංචාරක නිවාඩු නිකේතන හිමියන්ගේ සංගමය, නල්ලතන්නිය වෙළඳ සංගමය හා ප්‍රදේශවාසීන්ගේ පවතින ගැටළු සම්බන්ධව ඉකුත් (06) දා රාත්‍රී නල්ලතන්නිය “ගෝල්” නිවාඩු නිකේතනයේදී  පැවති සාකච්ඡාවකින් අනතුරුව,මෙවර ශ්‍රීපාද අවාර සමයේ ශ්‍රීපාදස්ථානය බලා පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ අඩුවක් පැවතීම නිසා සංචාරක කර්මාන්තය බිඳ වැටී ඇති බවට නල්ලතන්නිය නිවාඩු නිකේතන හිමියන් පවසන බවත්, පසුගිය කාලයේ ශ්‍රීපාදස්ථානය බලා පැමිණි ඇතැම් පිරිසකගේ හැසිරීම් සම්බන්ධයෙන් සීමාවන් පැනවිය යුතු බවට ගොඩනැගුනු කථිකාවත හා මෙය නැවත නගා සිටුවීම පිළිබඳව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දරණ අදහස ගැන මාධ්‍ය මගින් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ  පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් ඒකනායක ප්‍රධාන අමාත්‍යවරයා මෙසේද කීය.

“ මෑත ඉතිහාසයේ අපි දැකපු දෙයක් තමයි ශ්‍රීපාදස්ථානය සංචාරක වැඩසටහන් වලට අයත්වෙලා තිබෙනවා. විවිධ රටවල්වල අය වාරේ-අවාරේ, රෑ දවල් නැතිව විදුලි පහසුකම් තියනවද නැද්ද කියල බලන්නේ නැතිව ඒ අය සංචාරය කරනවා. විවිධ ආගමිකයින්, විවිධ ජාතීන් සංචාරයේ යෙදෙන එක ඇත්ත, නමුත් අපට අර මූලික හරයෙන් එහාට යන්න අපට අයිතියක් නෑ. ඒ සංචාරය කිරීමෙන් යම් කිසි හානියක් සිදු වෙනවානම් එසේත් නැතිනම් මේ පුද බිමේදී විවිධ අයගේ විවිධ ක්‍රියාකාරකම් වලදී අගෞරවයක් සිදුවෙනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාවගේ ජනජීවිතය පිළිබඳවත් අපට අවධානය යොමු කරන්න සිදු වෙනවා. එම නිසා සංචාරක ව්‍යාපාරය අපි දියුණු කරන විට අපේ තිබුණ පැරණි සම්ප්‍රදායන් වලට කිසිම හානියක් නොවන ආකාරයෙන් ප්‍රදේශයේ ජනතාවටත් එයින් හානියක් නොවන ආකාරයටත් කටයුතු කළයුතු වෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කරමින්ම  ඒ තුළින් ලබා ගන්නා ආර්ථික වාසිය පමණක් නොව මේ පුද බිමට ආරක්ෂාවත් ලබා දෙමින් අපි කටයුතු කළ යුතුයි.”

නිවාඩු නිකේතන හිමියන් හා වෙළඳ සංගමයේ නියෝජින් සමග ප්‍රදේශවාසීන් වෙන් වෙන්ව ඉදිරිපත් කළ ගැටළු වලට සවන්දීමෙන් අනතුරුව ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

පසුගිය කාළයේ ශ්‍රීපාදස්ථානයට එල්ල වූ විවිධ පලපෑම් සම්බන්ධව ජනාධිපතිවරයාගේ අවධානයට ලක්ව ඇති බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා, ශ්‍රීපාද නායක හිමියන්ගේ අනුශාසනා ඇතිව පූජා භූමි වැඩ සටහන හා නඟර සංවර්ධනය ක්‍රියාත්මක කරන බවද කීය. නැවතී තිබුණ එම වැඩසටහන්ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ජනාධිපතිවරයාට ඇති බවත් සඳහන් කළේය.

නල්ලතන්නිය නගරයේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු වසර 100 කට ආසන්න කාලයක් ස්ථිරව පදිංචිව සිටින ප්‍රදේශයේ ජනතාවට තමන්ගේ පදිංචි ඉඩම් සඳහා හිමිකම් ඔප්පු ලබා ගැනීම, පානීය ජල ප්‍රශ්නය, විදුලිබල පහසුකම් හා මාර්ග පහසුකම් ලබා ගැනිම සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මෙහිදී ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා නල්ලතන්නිය පදේශයේ ජනතාවගේ ගැටළු හමුවේ  වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,  නල්ලතන්නිය නගරයේ සංචාරක කටයුතු එදා තිබුණ තත්වයට වඩා අද වෙනස් බවත්, ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයන් මාස 06 කට සීමා කරන්න බැරි බවත්, ජනතාවගේ යටිතල පහසුකම් සම්බන්ධව මූලික අවධානය යොමු කළ යුතු බවත්ය. හැටන් -නල්ලතන්නිය ප්‍රධාන මාර්ගය නවීකරණය කිරීම සඳහා මේ වන විට සැළසුම් සකස්කර ඇති බවත්, දියගල-නෝටන්බ්‍රීජ් හරහා නල්ලතන්නිය දක්වා දිවෙන මාර්ගය නවීකරණය කිරීම සඳහා මේවන විට මැණුම් කටයුතු සිදුකරන බවත් කී ප්‍රධාන අමාත්‍යවරයා, පානීය ජල ප්‍රශ්නය මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශ වල ඇති බවත් කීය. මුලු රටටම ජලය දෙන මේ ප්‍රදේශයෙත් ජල ගැටළුව තිබෙන බවත්, මිනිසුන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් ජල මූලාශ්‍ර බොහෝ ප්‍රමාණයක් අද වන විට සිඳී ගොස් ඇති බවත් පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා, ඒ ගැන විශ්වාසයක් තැබිය නොහැකි නිසා ප්‍රධාන ජල ව්‍යාපෘතියකට යා යුතු බවත් කීය. ප්‍රධාන ප්‍රශ්නයක් වන ඉඩම් ගැටළුවට විසඳුමක් ලබා දීම සඳහා මෙම ඉඩම් කාටද අයත් කියා හඳුනාගතයුතු බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා ඉඩම් මැනීම සම්බන්ධව වර්තමාණයේ  මිනිස්දෝරුවන්ගේ ප්‍රශ්නයක් ඇති බවත් කීය. එය මධ්‍යම රජයේත් ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, රජයේ ඉඩම් සඳහා ඔප්පු ලබා දීමේදී මැණුම් කටයුතු අවසන්වීමෙන් පසුව පළාත් ඉඩම් ඇති විදිහට තමන්ගේ අනුමැතිය ලබා ගතයුතු බවත්  එය කඩිනමින් සිදු කරන බවත්ය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්  සම්බන්ධව වෙනත් වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට මධ්‍යම පළාතේ පාසල් ඉඩම් සම්බන්ධව ඔප්පු ලබා දීමට කටයුතු කර ඇති බවත් කීය. මධ්‍යම පළාතේ පාසල් 1500 න් දැනට පාසල් 700 කපමණ ඉඩම් මැන ඔප්පු ලබා දී අවසන් කර ඇති බවත් කීය.

 

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

Adam’s Peak

Check Also

පොලිස්‌පති නීතිය තාම නවනවා…..නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්වලා ඇමැතිවරු මන්ත්‍රීවරු උපදෙස් දෙනවා… මේක “මූසල දෙවසර” ක්

පොලිස්‌පතිවරයා පොලිසියේ අහිංසක නිලධාරීන්ට කනට ගහන තත්ත්වයට පත්වෙලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ පවසයි.ආණ්‌ඩුවට ...