සයිටම් රජයට පවරා ගන්නේ නෑ -වෛද්‍ය ආඥා පනතට අනුව සභාපතිවරයා පත් කිරීමේ බලය ඇත්තේ මටයි

0

සයිටම් හෙවත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා නොගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

මහනුවර මහ රෝහලේ පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ලබන සඳුදා (17) සිදු කරන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිත අතර  නවීන වෛද්‍ය තාක්ෂණ උපකරණවලින් යුත් මාළබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අක්කර 05 ක භූමිභාගයක හරිත සංකල්පයක් අනුව ගොඩනගා තිබේ. වර්ග අඩි 180,600 කින් යුක්ත මහල් 04 කින් යුත් ගොඩනැගිල්ලක් සහ මහල් 08 ක ගොඩනැගිලි දෙකකින් රෝහල සමන්විත වෙයි. ශික්ෂණ රෝහලක තිබිය යුතු අතිනවීනතම වෛද්‍ය සේවා සහ සායනික පහසුකම්වලින් මෙම රෝහල පරිපූර්ණය. රජයට බාරදෙන මෙම රෝහල සෘඡුවම කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මෙන්ම දකුණු පළාතේ ජනතාවට සෞඛ්‍ය සේවා සපයන මධ්‍යස්ථානයක් බවට ද පත්වනු ඇත.

මේ අතර මෙම මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාව පිළිබඳ තොරතුරු ද හෙළි කළේය.

‘හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීම මත අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවට කැමැත්ත පළ කර තිබුනා. එහිදී අග්‍රාමාත්‍යවරයා කොන්දේසි දෙකක් ඉදිරිපත් කළා. මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කැමැත්ත සහ සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිවීම අනිවාර්යවීම එම කොන්දේසි දෙකයි. ඊට එකඟත්වය පළ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාකච්ඡාවට සහභාගි වුනා.

එහි සභාපතිවරයා සහ ලේකම්වරයා ඊට එක්ව සිටි අතර, අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සයිටම් සිද්ධිය මුල්කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෞද්ගලිකව පහරදීම වැරදි බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ තීන්දු තීරණ තමයි ක්‍රියාත්මක කරන්නේ. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ද ගැසට් කිරීමට කටයුතු කර තිබෙනවා. එම නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගන්න යැයි අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට ප්‍රකාශ කළා. මෙම සාකච්ඡාව සුහදව පැවැත්වුනා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධූරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුනා. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපතිධූරය සඳහා නම් දෙකක් ඉදිරිපත් කළා.

හිටපු සභාපතිවරයෙක් සහ පෞද්ගලික රෝහලක සභාපතිවරයෙකු ඊට ඇතුළත්. මේ පිළිබඳව සොයාබලා නව සභාපතිවරයා පත් කිරීමට කටයුතු කරනවා. වෛද්‍ය ආඥා පනතට අනුව සභාපතිවරයා පත් කිරීමේ බලය ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාටයි.’