LTTE පරණ විදියටම එන්න බලනවා..පොලිස් නිලධාරියෙකු මැරුව කියලා අපි පලිගන්න යන්නේ නෑ…විවිධ අන්තවාදී කොටස් අසත්‍ය පතුරුවනවා

0

LTTE සංවිධානය මුලින් ආපු විදිහක් තිබුණ බවත් අද නැවත යාපනය ත්‍රස්තවාදයක් මතු වෙන්න මාන බලන්නෙත් ඒ විදිහටම බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි.ඊයේ (01) යාපනය පොලිස් ශ්‍රවණාගාරයේ දී සිවිල් සහ ආගමික නායකයන් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස්පතිවරයා සදහන් කළේ යුද්ධය අවසන් වුවද ත්‍රස්තවාදය අවසන් වුණා කියලා කාටවත්ම කියන්නට නොහැකි බවයි.

“ත්‍රස්තවාදී යම් බීජයක් තිබුණත් ඒක නැවත මුතුවෙන්න පුළුවන්. සියල්ලටම කලින් අපි ඒ ගැන වටහාගත යුතුයි”

“ත්‍රස්තවාදීන් ලක්ෂ ගණනින් ආයුධ භාර දුන්නා තමයි, නමුත් සියළු අවි ආයුධ භාර දී ඉවරයි කියන්න බැහැ. අනික් කරුණ ඒ අයගේ යුද පුහුණුව සමඟ එක්වූ ජීවන රටාවත් එක්ක පැවැති ආකල්ප වෙනස්වෙලා නැහැ. පහුගියදවස් වල සිද්ධියක් වුණා; දෙකක් වුණා; අපේ නිලධාරීන්ගෙත් වැරදි තිබුණා. නමුත් මේක මේ විදිහට යන්න දෙන්න බැහැ. මේක නවත්තන්නම වෙනවා. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා දැන් ආරක්ෂාව තහවුරු කරලා තිබුණත් අපිට මහජනතාවගේ සහයත් අවශ්‍යයි.”

“පොලිස් නිලධාරියෙකු මැරුවයි කියලා පොලිසිය ඒ අයගෙන් පළිගන්න යන්නේ නැහැ. අපි බොහොම ඉවසීමෙන්, සංයමයෙන් ඒ සිද්ධි දිහා බලලා අදාල පුද්ගලයන් ගැන බුද්ධි අංශ වාර්තා වලිනුත් තොරතුරු අරන් සාකච්ඡා කරලා තමයි අත්අඩංවට ගන්නේ. කෝපායි සිද්ධිය සම්බන්ධයෙන් අපි දැනටමත් එවැනි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ අය පුනරුප්තානය නොවුණු එල්.ටී.ටී.ඊ සංවිධානයකට අයත් අය බව මේ වන විට තහවුරු වී අවසන්. ඒ අනුව අපි මේ සමස්ථ ප්‍රශ්නය දෙසම ඉවසිලිවන්ත සහ සංයමශීලී ආකල්පයකින් කටයුතු කරනවා. “

“විවිධ අන්තවාදී කොටස්, විවිධ සංවිධාන වල පුද්ගලයන්, සාමය හා ජන ජීවිතය අඩාල වන විදිහට දේශීය හා විදේශීය වශයෙන් වැරදි ප්‍රචාරයක් පතුරවනවා. අපි ඒ ගැනකත් සොයා බැලිය යුතුයි.”