40 සමරන්න ගිහින් වැඩේ අනාගනී…පොදු දේපල යොදාගෙනිම යහපාලනට අහිතකරයි…ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් අවුලක

0

පෞද්ගලික හෝ දේශපාලන වාසි ලබා ගැනීමට පොදු දේපල භාවිතය යහපාලන රජයේ ප්‍රතිපත්ති සමඟ නොගැලපෙන බැවින් අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දිවියේ 40 වසර සැමරීම සඳහා පොදු දේපල යොදා ගැනීම අවඥාසහගත බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව යොමු කළ ලිපියකින්  අගෝස්තු 03 වෙනිදා සිට උත්සව රාශියක් අගමැතිගේ දේශපාලන දිවියේ 40 වසර සැමරීම සඳහා පවත්වන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

මෙම නියෝගය එම ආයතනයේ ප්‍රමුඛ කාර්යය වන මහජනයාට සේවය කිරීමේ පරමාර්ථයට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් එම ආයතනය පෙන්වා දේ.

ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පොදු ජන සේවයේ වසර 40ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් අගෝස්තු 3 වන දින සිට උත්සව රාශියක් පවත්වන ලෙස දන්වමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ජුලි 27 වන දින සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යොමු කර ඇති බවට සඳහන් වන වාර්තා පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය දැඩි කනස්සල්ලට පත්ව ඇත.

එම ලිපියේ අඩංගු උපදෙස් පිළිපැදීමට නම් පොදු ආයතනයන්හි සම්පත් රාශියක් ඒ සඳහා වැය කළ යුතුවේ. ලිපියේ සඳහන් කර ඇති පරිදි දිවයින පුරා බෝධි පුජා 1300 කට අධික ප්‍රමාණයක් පැවැත්වීමට අමතරව සියලු ආගම් නියෝජනය වන පරිදි තවත් උත්සව රාශියක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් විසින් සංවිධානය කළ යුතුව තිබේ. මෙය මෙම ආයතනයන්හි ප්‍රමුඛ කාර්යභාර්ය වන මහජන සේවයට පටහැනි වියදමක් බව අමතක නොකළ යුතුය.

පොදු ජන සේවය අගය කළ යුතු නමුත්, සංවිධානය කර ඇති උත්සවයන්හි පරිමාණය සලකා බලා එම උත්සව නැවත්වීමට පියවර ගන්නා ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා ගෙන් TISL ආයතනය කාරුණිකව ඉල්ලා සිටියි. විකල්පයක් ලෙස එම උත්සව මානව හා භෞතික යන දෙයාකාරයේම පොදු සම්පත් භාවිතයෙන් තොරව පැවැත්විය යුතුය.

පෞද්ගලික හෝ දේශපාලනමය වාසි ලබා ගැනීම සඳහා පොදු සම්පත් භාවිතා කිරීම දුෂිත ක්‍රියාමාර්ගයක් වන බවත්, එය යහපාලනයේ මුලධර්මයන්ට සපුරා පටහැනි බවත් අදාළ බලධාරීන් නැවත සිහි කර ගත යුතුය.

Transparency International Sri Lanka