ජනපති සිරිසේන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව දන්නේ නෑ…ජනපතිගේ 113 කතාව ව්‍යවස්ථාවට පටහැනි ප්‍රකාශයක්

0

පාර්ලිමේන්තුවේ ආසන 113 ක්‌ හදා ගත්තත් තම කැමැත්ත සහ ආශිර්වාදය නැතිව ආණ්‌ඩුවක්‌ පිහිටුවිය නොහැකි බවට ජනාධිපතිවරයා කර තිබෙන ප්‍රකාශය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳව වැටහීමකින් තොරව කළ ප්‍රකාශයක්‌ පමණක්‌ නොව ජනාධිපතිවරයා රටට දී තිබෙන ප්‍රතිඥව පවා උල්ලංඝනය කිරීමක්‌ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්‌ පවසයි.

පසුගියිදා පැවැති ඒකාබද්ධ විපක්‌ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවක දී මහාචාර්ය ජී.එල්. පීරිස්‌ සදහන් කළේ මෙරට විධායක ජනාධිපතිධුරයේ නිර්මාතෘ ඡේ.ආර්. ජයවර්ධන ඇතුළු හිටපු ජනාධිපතිවරුන් කිසිවකු මෙවැනි ප්‍රකාශයක්‌ කිසිදාක කර නැති බවත් වත්මන් ජනාධිපතිවරයා මේ කරන ප්‍රකාශය පුදුම සහගත බවත් මෙය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අ” ආ” යන්නටත් පටහැනි ප්‍රකාශයක්‌ බවත් ය.

විධායක ජනාධිපතිධුරයේ ඒකාධිපති ස්‌වරූපය ඉවත්කර පාර්ලිමේන්තුව බලාත්මක කරන බව මුල සිටම කියා සිටි වත්මන් ජනාධිපතිවරයා එදා ඒ කළ ප්‍රකාශයත් අද කරන මේ ප්‍රකාශයත් අතර ඇත්තේ අහසයි පොළවයි වගේ වෙනසක්‌ යෑයිද පෙන්වා දුන් ජී.එල්. පීරිස්‌ ජනතා නියෝජිතයන්ගේ මතයට පටහැනිව විධායක ජනාධිපති ධුරය හොබවන කිසිම කෙනෙකුට ආණ්‌ඩුවක්‌ ගෙන යා නොහැකි බවත් සදහන් කළා.

මන්ත්‍රීවරු 113 ක්‌ වත්මන් රජයට කැමැති නැහැ කියා ප්‍රකාශ කරන්නේ නම් ජනාධිපතිවරයා ඊට කෙතරම් විරුද්ධ වුණත් රජයක්‌ පවත්වා ගෙන යැමට නොහැකි බවත් මන්ත්‍රීවරුන් බහුතරයක්‌ ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති අනුමත නොකරන්නේනම් රජයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සඳහා ඉදිරිපත් කරන අයවැය පරාජය වී රජයක්‌ පවත්වාගෙන යැමට නොහැකි වනු ඇති බවත් ජී.එල්. පීරිස්‌ පෙන්වා දුන්නේ.

ජනපතිගේ හිගුරක්ගොඩ ප්‍රකාශය

“හවසට මාධ්‍ය බැලුවම අන්තර්ජාලයේ ෆේස්බුක් ඔක්කෝම තියෙන්නේ ඝෝෂාකාරී සද්දේ. රටේ ඇතම් ජනතාව වැරදි විදියට අවබෝධ කරගෙන සිටිනවා ආණ්ඩුවේ කටයුතු. නමුත් මම ඉතාම පැහැදිළිව කියන්න කැමැතියි අවුරුදු දෙකාමාරක කාලය තුළ අපිට තිබිච්ච බාධාවන් ඔක්කෝම ඉවත් කරගෙන ආණ්ඩුවක් විදියට අපි ඉස්සරහට යනකොට ඇහෙන්නේ පුහු ඝෝෂාකාරී ශබ්ද විතරයි. මම දැක්කා විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් කියලා තියනවා ඔහු හිටපු ඇමතිවරයෙක් ජාතික පුවත්පතක පිටුවක් පුරවලා ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක් තිබුණා. ඒකේ කියලා තියනවා විපක්ෂයට ඕන ආසන 113ක් හදාගන්නයි, ඒ 113 හදාගත්තට පස්සේ ජනාධිපතිත් ඉවරයි අගමැතිත් ඉවරයි කියලා. මම හිතන්නේ එයා ඔලුවෙන් හිටගෙන තමයි ගණන් හදලා තියෙන්නේ. 113 ක් හදාගත්තත් ඒ 113 අරගෙන මං ගාවට තමයි එන්න ඕන ඒ ඇවිත් තමයි ආණ්ඩුවක් හදන්න ඕන. එහෙම තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඒනිසා 113 හදන්නත් බැහැ. 113 හැදුවත් ආණ්ඩුව වෙනස් කරන්න නම් මගේ සහයෝගයත් ඕන,”

G. L. Peiris