SAITM වෙනුවෙන් දුන් අභියාචනාධිකරණ තින්දුව දෝෂ සහිතයි…උපාධි ප‍්‍රධාන ආයතනයක් සේ පිළිගැනීමට තරම් කිසිදු ප‍්‍රමිතියක් නෑ..උසස් අධ්‍යාපන ඇමති නීතිවිරෝධී ක‍්‍රියාවක

0

සයිටම් ආයතනයට අදාළව ඉකුත් ජනවාරි 31 අභියාචනාධිකරණ විසින් ලබා දුන් තීන්දුව දෝෂ සහිත එකක් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (අගෝස්තු 04)පෙන්වා දුන්නා. ඒ අනුව නීතීඥ ගාමිණී මාරපන අධිකරණය හමුවේ කියා සිටියේ උපාධි ප‍්‍රධාන ආයතනයක් සේ පිළිගැනීමට තරම් කිසිදු ප‍්‍රමිතියක් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ( SAITM) තුළ නොමැති බවත් අදාළ තීන්දුව ඉවත් කරන ලෙසට ඉල්ලා සිටින බවයි.

ඒ අනුව සයිටම් (SAITM)ආයතනයෙන් උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සලකා බැලීම ලබන 10 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය.

අගෝස්තු 3 වැනිදා

සයිටම් ආයතනය උපාධි ප‍්‍රදාන ආයතනයක් ලෙස පිළිගැනීමට තරම් අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන් අතර

එසේම විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන පනතෙහි 25 වැනි වගන්තිය අනුව උපාධි ප‍්‍රදාන ආයතන සම්බන්ධයෙන් බලයලත් නිලධාරියෙකු විසින් නිර්දේශ ලබා ගත යුතු බවත් , එම පනතෙහි 70 වැනි වගන්තිය අනුව එම බලයලත් නිලධාරීන් නම් කර ඇති බවද ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා සදහන් කළා.

අදාළ වගන්තිය මඟින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත එම බලතල පවරා ඇති නමුත් සයිටම් ආයතනය සම්බන්ධයෙන් එවැනි නිර්දේශයක් හෝ අනුමැතියක් ලබා දී නැති බව පසුගිය වාර්තා පිරික්සීමේදී තහවුරු වන අතර සයිටම් ආයතනය උපාධි ප‍්‍රදාන ආයතනයක් ලෙස ප‍්‍රකාශ කිරීම නීතීවිරෝධී බවත් ,උසස් අධ්‍යාපන ඇමතිවරයා එසේ ප‍්‍රකාශ කිරීම හරහා නීතිවිරෝධී ක‍්‍රියාවක් සිදු කර ඇති බවද නීතීඥ මනෝහාර ද සිල්වා පෙන්වා දුන්නා.

ජනවාරි 31

මාලඹේ සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ අයිතිය ඇති බව අභියාචනාධිකරණය තින්දු කරමින් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව ජනවාරි 31 වැනිදා ප්‍රකාශයට පත්වුනා.

ඒ, සයිටම් ආයතනය නීතිගත කිරීමේ අභිලාෂය ඇතිව එහි ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින්.

සයිටම් ආයතනයෙන් උපාධියක් ලබා ගත් තමන් වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචි කිරීම වෛද්‍ය සභාව විසින් ප‍්‍රතික්ෂේප කරන බවද සිසුන් දෙදෙනා මෙම පෙත්සම ගොනු කර තිබුණා.

මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ එහි ලේකම්වරයායි.

මේ අතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිගත කිරීමට එරෙහිව අළුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රියාකාරී කමිටුව අද නිහඬ විරෝධතාවකද නිරත වුණා.