Home / Featured / රවීට හිමි වන්නේ ඉතිහාසයේ කුණු බක්කියයි…..මහජන දේපොළ හොකරම් කරපු හොරුන්ට පිරිත් නූල් බඳිනවා…ඇඳ සිටි රෙදි ගලවා දමා වෙනත් ඇඳුමක් ඇන්ද පමණින් නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ

රවීට හිමි වන්නේ ඉතිහාසයේ කුණු බක්කියයි…..මහජන දේපොළ හොකරම් කරපු හොරුන්ට පිරිත් නූල් බඳිනවා…ඇඳ සිටි රෙදි ගලවා දමා වෙනත් ඇඳුමක් ඇන්ද පමණින් නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ

කුමන හෝ අපරාධකරුවෙක් අපරාධයක් සිදුකරන අවස්ථාවේදී ඇඳ සිටි රෙදි ගලවා දමා වෙනත් ඇඳුමක් ඇන්ද පමණින් නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ. රවී කරුණානායක වංචනික ක්‍රියාවලියකට හවුල් වෙන මොහොතේ ඔහු දැරූ මුදල් ඇමතිධුරය ඉවත් කොට විදෙස් ඇමතිධුරය ලබාදුන් පමණින් ඔහු නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ. විදෙස් ඇමති ඇඳුම ඇන්දවීමෙන් හෝ එම ඇඳුම උණා දැමීමෙන් ඔහුට නිවැරදිකරුවෙක් වෙන්න බැහැ. රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම ඔහු සිදුකළ වංචාවට දඬුවමක් නොවේ.

ඔහුට එරෙහිව චෝදනා කිහිපයක් එල්ල කළ හැකි කරුණු ජනාධිපති කොමිසමේදී අනාවරණය වුණා. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සිදුවූ 2015 පෙබ. 27 වනවිට ඔහු මුදුල් ඇමතිවරයායි. එම ප‍්‍රශ්නසහගත ගනුදෙනුව නිසා අගමැතිවරයා නීතිඥ කණ්ඩායමක් පත්කොට ඒ පිළිබඳ විමර්ශනයක් කෙරෙමින් තිබුණා. එමෙන්ම 2015 අගෝස්තු වනවිට කෝප් කමිටුවේ විමර්ශනය ආරම්භ කෙරුණා. එම ආන්දෝලනාත්මක ගනුදෙනුවට අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ බවත් එම ගනුදෙනුවෙන් ඔහුගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස් අයථා මුදල් ඉපයූ බවටත් චෝදනා එල්ල වුණා. එසේ චෝදනාවට ලක්වූවන්ගෙන් රවී කරුණානායක මුදල් ඇමතිවරයා ලෙස මසකට රු. ලක්‍ෂ 14.5 බැගින් ගෙවල් කුලිය ලබාගෙන තිබෙනවා. එය අල්ලස් ගැනීමක්.

එමෙන්ම ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වුණා, අර්ජුන මහේන්ද්‍රන් වෙත රවී කරුණානායක මුදල් ඇමතිවරයා ලෙස දින රහිත ලිපියකින් මුදල් අවශ්‍ය බව දන්වා තිබු බව. එම ලිපිය තිබුණේ අර්ජුන මහේන්ද්‍රන් ළඟ පමණයි. රවී කරුණානායක සිය ඇමතිධුරය අර්ජුන් ඇලෝසියස් බේරා ගැනීම වෙනුවෙන් උපයෝගී කරගත් බවට එය සාක්‍ෂියක්. ඒ වගේම රවී කරුණානායක ඔහු සිටි කුලී නිවස රු. ලක්‍ෂ 1650ක් දී මිලට ගත්තා. ඒ සඳහා ලබාගත් මුදල කිසිදු ලියකියවිල්ලකින් තොරව බැංකුවේ ආරක්‍ෂක සේප්පුවක තැන්පත් කරලා තිබුණා. අඩුම තරමේ සේප්පුවක තැන්පත් කළ බවට රිසිට් පතක් නැහැ. එනිසා එම මුදල කළු සල්ලි බවට සැකයක් තිබෙනවා. එනිසා රවී කරුණානායකට එරෙහිව අල්ලස් පනත යටතේත් අපරාධ පනත යටතේත් මුදල් විශුද්ධිකරණය යටතේත් නඩු පැවරිය හැකියි.

එනිසා අපි ආණ්ඩුවට කියනවා වහාම ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. නමුත් රවී කරුණානායක ඉල්ලා අස්වූ පසුව ආණ්ඩුවේ ඇමතිවරුන් සිදුකළ කථා අනුව එවැනි කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට සහතිකයක් දී තිබෙනවා. ආණ්ඩුවේ අය කිව්වා රවීගේ මෙම ක්‍රියාව ආදර්ශයට ගන්න කියලා. අපි මේ රටේ දරුවන්ට, මහජනතාවට කියනවා රවී කරුණානායක ආදර්ශයට ගන්න එපා කියලා. හොරකම් කරලා ජනතා විරෝධය හමුවේ, විශ්වාසභංග යෝජනා ගෙන ඒමට උත්සාහ දරපු මොහොතේ, බිත්තියට හේත්තු වූ පසුව ඉල්ලා අස්වීමට සිදුවීම යහපත් ආණ්ඩුකරණයක ලක්‍ෂණයක් නොවෙයි.

අපි කොමිසමේ නිලධාරීන්ට කියනවා, ආණ්ඩුවේ මෙම ප‍්‍රයත්නය පසෙකලා නිර්භීතව කටයුතු කොට චූදිතයින් හෙළිදරව් කිරීමට කටයුතු කරන්න කියලා. ආණ්ඩුව කියන විදිහට නීතිපති දෙපාර්තමේන්තුව අනෙකුත් වංචා-දූෂණ සම්බන්ධයෙන් නිද්‍රාශීලී නම් කළ යුත්තේ ඔවුන් ක්‍රියාශීලීව කටයුතු කිරීමයි. ඒ වෙනුවට ජනාධිපති කොමිසමේ නිලධාරීන් නිද්‍රාශීලී කිරීම නෙවෙයි කළ යුත්තේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, ජනාධිපති කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කොට නිද්‍රාශීලී කිරීමට දරන උත්සාහය නතර කළ යුතුයි කියලා.

ඒවගේම මේ ආණ්ඩුව පත්වීමත් සමඟ පහුගිය ආණ්ඩුවේ ඇවන්ගාඞ් ගනුදෙනුව විශාල ආන්දෝලනයකට ලක්වුණා. එම ගනුදෙනුව ආරක්‍ෂා කිරීමට මේ ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙක්ම කටයුතු කළා. එවකට පොලීසිය භාර ඇමතිවරයා වූ තිලක් මාරපන පොලිස් නිලධාරීන්ගේ පැත්ත ගන්නවා වෙනුවට ඇවන්ගාඞ් වංචාකරුවන් ආරක්‍ෂා කළා. ඒ නිසාම තිලක් මාරපනට ඇමතිධුරය දාල යන්න සිදුවුණා. පසුව කාලයත් සමඟ ආණ්ඩුව ඔහුට සංවර්ධන කටයුතු ඇමතිධුරයක් ලබාදුන්නා. දැන් රවී කරුණානායකගේ පුරප්පාඩුවට ඔහු විදේශ ඇමති කරන්න උත්සාහයක් තිබෙනවා. ඇවන්ගාඞ් ගනුදෙනුවේ ආරක්‍ෂකයා, බැඳුම්කර ගනුදෙනුවේ ආරක්‍ෂකයා වෙනුවට පත්කරන එක යහපත් ආණ්ඩුකරණයක්ද? ඇත්තටම ආණ්ඩුව අර්බුදයක ඉන්නවා හොරෙක් නොවන ඇමතිවරයෙක් පත් කරන්නේ කොහොමද කියලා.

නාමල් රාජපක්‍ෂ හිරෙන් නිදහස් වී එළියට එන විට එන්නේ කැබ් රථයක වහලට නැගී රැජිනි කාන්ත් චිත‍්‍රපටයක රඟපානවා වගේ. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු බන්ධනාගාරයට ගෙනයන විට මිනිස්සු ගිහින් බන්ධනාගාර බස් රථය වට කරනවා. වංචාවක් කරලා බිත්තියට හේත්තු වූ පසු ඉල්ලා අස්වීමට සිදුවූ රවි කරුණානායකට සූත‍්‍ර පිටකයේ වැකි දේශනා කරන හාමුදරුවරු ඉන්නවා. බදාගෙන සිප වැළඳගන්නා ජනතාවක් ඉන්නවා. අපි තේරුම් ගත යුතුව තිබෙනවා අපේ රට මොන තරම් ගැඹුරු ආගාධයක ගිළිලා තිබෙනවාද කියන එක. මහජන දේපොළ හොකරම් කරලා සිරගත වන හොරුන්ට පිරිත් නූල් බඳින, හොරකම් කරලා රෝහල්ගත වනවිට කිරි වීදුරු පොවන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපේ රට කොයි තරම් ගැඹුරු සමාජ අර්බුදයක් ගිලී තිබෙනවාද? මේ විදිහට හැසිරෙන ජනතාව දැක්කාම අපේ රටේ දරුවන්ට හිතෙන්නේ මොනවද? ඔවුන් අනාගතයේ තමන්ගේ වෘත්තීය ලෙස හොරකම් කිරීම තෝරා ගත්තොත් එය පුදුමයක් නෙවෙයි නේද?.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද සඳහන් කළේය.

රවී කරුණානායක කියනවා නම් ඉතිහාසය විසින් ඔහු නිවැරදි කරයි කියලා එසේ සිදුවන්නේ අපේ රටේ ජනතාව වහල්ලූ පිරිසක් බවට පත්වුණොත් පමණයි. එසේ නොමැතිව අනාගතයේ අපේ රටේ පුරවැසියන් බිහි වෙනවා නම් රවී කරුණානායකට හිමි වන්නේ ඉතිහාසයේ කුණු බක්කියයි. අද වගේම රවී කරුණානායක සිප වැළඳ ගන්න, මුහුණ සිඹීන, අත සිඹින වහලූන් පිරිසක් බිහි වුවහොත් රවී කරුණානායක නිවැරදි වේවි.

Anura Kumara Dissanayaka

Check Also

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ වහාම මහනායක හිමියන්ට දෙනවා

ව්‍යවස්ථාව පිළිබඳ අනු කමිටුව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථාදායක සභාව සඳහා පමණක් බවත් එය සභාවේ ...