ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු තර්ජනයක් නෑ….තර්ජනයක් ඇත්නම් පියවර ගන්න පැකිළෙන්නේ නෑ

0

රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු තර්ජනයක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන පවසයි.

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන ඊයේ (24) ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහ නාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමි අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන යන හිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ඇති නම් ඒ සියල්ල සඳහා අවශ්‍ය පියවර ගැනීමට ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා කටයුතු කරනු ඇති බවයි.

දැනට සිටින ආරක්ෂක ප්‍රධානීන් මේ රටේ යුද්ධයක් කර එය සාර්ථකව අවසන් කළ අය නිසා ජාතික ආරක්ෂාව පිළිබඳව ඒ අයට මනා වැටහීමක් සහ අවබෝධයක් ඇති බවද ඔහු අවධාරණය කළා. ජාතික ආරක්ෂාවට යම් තර්ජනයක් ඇත්නම් ඒ සඳහා පියවර ගැනීමට ආරක්ෂක අංශ කිසිසේත් පැකිළෙන්නේ නැති බවද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

Ravindra Wijegunaratne